වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ලොව ජනප්‍රියම ළමා නළුවා අතුරුදහන් වෙයි

ලොව ජනප්‍රියම ළමා නළුවා අතුරුදහන් වෙයි

සුබීර් බැනර්ජි නම සහිත මිනිසා සොයා ලියුමක් අතැතිව කල්කටාවේ වීදි දිගේ සැරි සරන තරුණයෙකි.සත්‍යජිත් රායි සිනමා පදනමේ සිනමාව හදාරන මේ තරුණයා සොයා යන සුබීර් ගැන හෝ එවැන්නක් සිටිනා තැන කිසිවකු නොදනී.

එහෙත් ඔහුගේ වෑයම සඵල කර ගැන්මට තරුණයා සමත් වෙයි.පාළු වීදියක අඳුරු කුටියක දොර විවර නොවී ඔහුගෙන් ආ කාරණය ගෙතුළ සිටියෙකු විමසා සිටියි.ඔහු සුබීර් බැව් සැබැය.එහෙත් තරුණයා සොයන සුබීර් තමා නොවන බව පවසන්නේ අකාරුණිකවය.එහෙත් එයින් පසු බසින්නට සැරසෙන්නේ තරුණයා නොවේ. ඔහු මේ සොයා යන්නේ ලෝකයාට අමතකව ගිය පුද්ගලයෙකි.ඇත්තටම ඔහු ලෝකයට අමතකව ගියේද නැතහොත් ඔහු විසින් ම ලෝකයෙන් වසන් වූයේ ද අනතුරුව අප හමුවේ ඇති වන ගැටළුවයි.

ලෝක සිනමාවේ වඩාත්ම ආකර්ශණීය ළමා චරිතය කවරෙක්දැයි මෙයට දෙවසරකට පෙර ලොව පුරා සිනමා විචාරකයන් හරහා මත විමසුමක් කෙරිණ.ඒ සදහා මුල් තැන දිනන ළමා චරිතය පිළිබඳ බොහෝ දෙනා තම තමන්ගේ මත කලින් අනුමාන කළහ.චාලි චැප්ලින්ගේ කිඩ් ,ෆ්‍රාංශුවා ටෲ ෆෝ ගේ ෆෝ හන්ඩ්‍රඩ් බ්ලොවස්,විට්ටෝරියෝ ඩි සිකාගේ බයිසිකල් තීව්ස් වැනි චිත්‍රපට කිහිපයක ළමා චරිත මුලට එනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාශය විය. එහි මුල් තැනට පත් වූයේ වෙනත් කිසිවකු හෝ නොසිතන චරිතයකි.ඒ සත්‍යජිත් රායිගේ පතේර් පංචාලි චිත්‍රපටයේ එන ඕපූ ගේ චරිතයයි.මේ තරම් ආකර්ශණීය සහ මන බඳීන සුළු සිනමා ළමා චරිතයක් සිනමාවේ මෙතෙක් බිහිව නැතැයි බොහෝ දෙනාගේ මතය විය.

ඉන්දියාවේ ඈත එපිට පිටිසර ගම්මානයක මිනිසුන්ගේ සිතුවිලි මනා ලෙස සිනමාවට නැංවිමට මහා සිනමාවේදී සත්‍යජිත් රායි ට වඩාත් උපකාරයක් කරන ලද්දේ ඕපූ ලෙස රඟපෑ දරුවාය.එහෙත් එයින් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අසන්නට හෝ දකින්නට නොවීය.සිනමා කෘතියේ අගය සදාකාලික වුව ද එහි රඟපෑ වේ කවුරුන් ද යන්න අනතුරුව සියල්ලටම අමතක ව ගියා සේය.

ඕපූ ගේ ළමා වියේ චරිතය නිර්මාණය කළ දරුවා අභිබවා ඕපු සංසාර් චිත්‍රපටයේ එනම් එහි තුන් වැන්නේ රඟපෑ සෞමිත්‍ර චැටර්ජි රායි ගේ මහා නළුවා බවට පසු කලක පත් විය. ඕපු සංසාර් චිත්‍රපටයෙන් සිනමවාට හඳුන්වා දුන් ශර්මිලා තාගෝර් බෙංගාලි සිනමාවේ පමනක් නොව හින්දි සිනමාවේ ද අතිශය කීර්තිමත් නිළියක් වූවා පමනක් නොව වත්මන් සිනමාවේ වඩාත්ම ජනප්‍රිය නළුවෙකු වූ සයිෆ් අලි ඛාන්ට මව ද වූවාය.එහෙත් මුලින්ම ඕපු තිරයට ගෙනා නළුවාට සිදුවයේ කුමක්ද ?

ඔහු ජිවත් වන්නේ ද නැතහොත් මිය ගියේ ද යන්න විමසීමට පවා කිසිවකුට හෝ වුවමනාවක් නොවීය.කොටින්ම ඔහු ගැන සෙවීමට අමතකව ගියා සේය.සත්‍යජිත් රායි ගේ අභාවය අසා වැල නොකැඩී ඔහුට අවසන් ගෞරව කිරීමට බොහෝ දෙනා කල්කටාවේ පිහිටි නිවසට පැමිණියහ.ඒ මහ සෙනග අතර අතරමංව සිටි මැදි වියේ මිනිසෙකු හඳුනා ගත් අවමංගල උත්සවයේ සංවිධායකයකු ඔහු ළමා ඕපු නොවේ දැයි විමසා පෝලිමෙන් බැහැර කොට රායිට අවසන් ගෞරව දක්වන්නට ඉඩ සැළසූ හැටි එකල අපේ සරසවිය පුවත්පතේ ද පළ වින. එහෙත් එයින් පසු ඔහු යළිත් අතුරුදහන් විය.ඒ ඔහු පිළිබඳ ලත් එකම ආරංචිය විය.

කෙසේ වෙතත් ලොව පුරා සමීක්ෂණයකින් වඩාත්ම ජනප්‍රිය ළමා චරිතය ලෙස ඕපු තෝරා ගැනීමත් සමග ජර්මානු රජය මගින් මේ චරිතය රඟපෑ ළමා නළුවා සොයා සම්මානයක් පිරිනැමීමට තිරණය කළේය.පසුව ඔහු සොයා ගෙන ජර්මනිය වෙත ගෙන ඒමේ වගකීම කල්කටාවේ සත්‍යජිත් රායි සිනමා පදනමට පැවරිණ. මේ කටයුත්ත සිදු වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේය.එහෙත් ඕපූ ගේ ළමා විය සිනමාවට ගෙනා සුබීර් මුඛර්ජි සොයා ගැනීම පමනක් නොව ඔහු ඒ සඳහා කැමති කර ගැන්වීම පහසු කටයුත්තක් නොවීය.ඕපු සොයා ගිය මේ අපූරු පුවත පසුගියද තවත් බෙංගාලි සිනාමකරුවෙකු වන කෞශික් ගංගුලි විසින් ඔහුගේ නවතම සිනමා කෘතියට විෂය කොට ගත්තේය. ප්‍රෙක්ෂක ඇසට කඳුළක් උපයන මේ චිත්‍රපටය ඔහු නම් කර ඇත්තේ ඕපු පංචාලි යනුවෙනි.නැතහොත් ඕපු ගේ ගීතය යනවෙනි.

45 හැවිරිදි කෞශික් ජාවද්පූර් විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරා අනතුරුව සිනමාවට පිවිසෙනුයේ තිර නාටක රචකයකු හැටියටය.ජනප්‍රිය සහ ආන්දෝලානාත්මක ටෙලි වෘතාන්ත කිහිපයක් නිර්මාණය කළ කෞශික් ගේ මුල්ම සිනමා නිර්මාණය වනුයේ 2004 වසරේ නිර්මාණය කරන ලද වාරිශ් චිත්‍රපටයයි. ඔහු අනතුරුව සුන්යෝ ඊ බුකෝ,බ්‍රේක් ෆේල්,ජැක්පොට්,අරෙක්ති ප්‍රේමර් ගොල්පො,රංග් මිලන්ති,ලැප්ටොප් යන චිත්‍රපට නිර්මාණය කරන ලදී.මේ චිත්‍රපට සියල්ල බෙංගාලි බසින් නිර්මාණය කරන ලද ඒවා වෙයි.

ඔහු නිර්මාණය කරන ලද සියළු චිත්‍රපට අතරින් වඩාත් මානුෂීය හැඟීම් දනවන චිත්‍රපටය වනුයේ ඕපු පංචාලි චිත්‍රපටයයි.

අතුරුදහන් වන සුබීර් නැතහොත් ඕපු සොයායෑමේ වගකීම පැවරෙන තරුණයා තමා අත පැවරෙන වගකීම කිසිසෙත් පැහැර හරින්නේ නැත.නැතහොත් ඔහු සුබීර් ව ලෙහෙසියෙන් අත අරින්නේ නැත. ඔහු මග තොටේදී ද කඩ පිලේ ද වදයක් වන තරමට සුබීර් පසුපස යයි.අනතුරුව සුබීර්ට ඔහු ප්‍රතික්ෂප කළ නොහැකි මට්ටමට ගෙන එයි.ඔහු සුබීර් ව අමතන්නේ අන්කල් යනුවෙනි. එහෙත් සුබීර් තමා කිසි විටෙකත් ඕපුයැයි පිළිගන්නට අකමැති වෙයි.ඔහු ලෝකයෙන් සැඟවෙන්නට තැත් කරයි.එහෙත් තරුණයාගේ වෑයම කිසිසේත් අපතේ යන්නේ නැත.ඒ වන විටත් ජීවිතයේ අඳුරු අහුමුලු අතර තනිවෙමින් සැඟවෙන සුබීර්ගේ ජිවිතය විවර කර ගන්නා සේම ඔහු ජර්මනියට ගෙන යෑම දක්වා කටයුත්ත ඉෂ්ට කිරීමට තරුණයා සමත් වෙයි.

එහෙත් මේ නළුවානන්ගේ ජීවිතය සමග බැඳුණු දුක්ඛ දෝමනස්සයන් හරහා ඕපු නම් අපූරු සිනමා චරිතයේ සැබෑ පැති කඩ අපට හෙළි දරව් කිරීමට සිනමාකරු අනුගමනය කරනුයේ සිතා ගත නොහැකි රීතියකි. සුබීර් ගේ චරිතයේ වර්තමානය සහ අතීතය පමනක් නොව ඒ හා යාවෙන පතේර් පංචාලි,අපරාජිතෝ සහ ඔපු සංසාර් යන චිතපට ත්‍රිත්වයේ සිදුවීම් ද මනාව සංකලනය කරන්නට සිනමාකරු සමත් වන්නේය.මේ වෘතාන්තය සිනමාකරු අප හමුවේ දිග හරින්නේ එය සාමාන්‍යයෙන් ඉස්මතු විය යුතු වාර්තා ස්වරූපයකින් නොවේ.එය මිනිසෙකු පිළිබඳ අප්‍රමාණ සංවේදී බවකින් තිරයට ගෙන ඒමට ඔහු සමත් වෙයි.ජීවිතයෙන් උකහා ගෙන බිහි වන කලා කෘතියක් කෙතරම් ආශ්වාද ජනක වනන්නේද එලෙසම කෘතිය පෙරළා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට පරාරෝපණය වන කල එය කෙතරම් ඛේදජනක අත්දැකීමක් වන්නේ ද යන්න සිනමාකරු අපට පසක් කරයි.

පතේර් පංචාලි චිත්‍රපටයේ ඕපු ලෙස රඟපාන සුබීර් ඉමහත් කීර්තියට පත් වෙයි.එහෙත් චිත්‍රපටයේ එන ඕපු ඔහුට පරා වලල්ලක් වෙයි. චිත්‍රපටය රූප ගත කරනුයේ යහමින් මුදල් අතැතිව නොවේ.මුදල් ලැබෙන පරිදිය.වරින් වර ලියුම් කවරයක බහාලන මුදල් ප්‍රමාණයක් කාකා එනම් සත්‍යජිත් රායි විසින් සිය පියාට ලබා දුන්වග සුබීර් දනියි.ඒ ඔහු ට ලැබෙන මුදලය. අපරාජිතෝ චිත්‍රපටයට ඔහු තෝරා නොගැන්නේ එයට තරම් ඔහු නොවැඩීම නිසාය. අනතුරුව ඔහු කල්කටාවේ පාපන්දු ක්‍රීඩකයකු වෙයි.එහෙත් රැකියාවක් නැති කමින් ඔහු පීඩා විදියි.

රජයේ රැකියාවක නියුතු ඔහුගේ පියාත් මවත් සොයුරාත් ජීවත් වනුයේ අපරාජිතෝ චිත්‍රපටයේ කල්කටාවට පැමිණ ඕපු ඇතුළු පවුල ජීවත් වන ආකාරයේ නිවහනකය.සුබීර් ගේ පියා ගේ මරණයත් ඕපුගේ පියාගේ මරණයත් අතර වැඩි වෙනසක් නොවෙයි.ඕපු මෙන්ම ගමකින් යුවතියක් විවාහ කර ගන්නා සුබීර් ඇය සමග කල්කටාවේ කුඩා නිවහනක ජීවත් වෙයි.අපට සිහිපත් කරනුයේ ඔපු සිය අලුත විවාහ බිරිය අපර්ණා සමග නගරයේ ජීවත් වන ආකාරයයි.

කුඩා රැකියාවකින් එදිනෙදා වේල පිරි මසා ගන්නා නමුත් ඔවුහු සතුටින් ජීවත් වෙති.එහෙත් එය බිඳ වැටෙනුයේ චිත්‍රපටයේ මෙන්ම දරු ප්‍රසූතියට ගමට යන සුබීර් ගේ දරුවා උත්පත්තියන් ටික දිනකට පසු මිය යෑමත් සමගය.මුලින් නොමේරු ළදරු ඒකකයක රඳවා සිටින දරුවා බිරිඳගේ අතට පත් නොකරයි.යළි නගරයට එන බිරිය මානසික ව්‍යාධියකට ගොදුරුව දිවි නසා ගනියි.එතැන් පටන් සුබීර් වටහා ගනුයේ ඕපු ගේ චරිතයේ ඉරණම දිගින් දිගටම තම ජීවිතය වෙලා ගත් බවය. එතැන් පටන් ඔහු කිසි විටෙකත් තමා ඕපු ලෙස රඟපෑ වග වත් කිසිවකුට නොහඟවයි.ඇත්ත නම් චිත්‍රපටයේ ඕපු සහ සැබෑ ජීවිතයේ සුබීර් ගේ ඉරණම අතර කිසිදු වෙනසක් නොමැති බවය. මො ආගන්තුක තරුණයා ලවා සිනමාකරුවා අප හමුයේ එලි දක්වනුයේ එහි ඇත්ත කතාවය.

අවසානයේ ජර්මනියට ගොස් සම්මානය ලබා ගැන්මට සුබීර් එතඟ වනුයේ තමාට මාමා යනුවෙන් අමතන අලුත් තරුණයා එයට එක් වනුයේ නම් සහ ඔහුටත් ඒ සදහා ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්නේ නම් පමණී.ඔවුන් දෙදනා ගුවන් යානයට ගමන් කරද්දී තරුණයා සුබීර්ට ස්තූති වන්ත වනුයේ තමන්ට ජීවිතයේ මුල් වරට ව්‍යාපාරික පංතියේ ප්‍රවේශ පත්‍රයකින් ගුවන් ගමනක් ලබා දීම ගැනය. සුබීර් දිගු කලකට පසු ඔපු ට ස්තුති වන්ත වෙයි.ඒ අන් කිසිවක් නිසා නොව ජීවිතයේ මුල් වරට ගුවන් යානයක යන්නට අවස්ථාව ලැබීම වෙනුවෙනි. කීර්තිමත් චරිත රංගනයක් පිළිබඳ ශෝකය යළිත් වෙනස් කිරීමට සිනමාකරු අනතුරුව වග බලා ගනියි.

සිය බිරිඳ මිය යෑමෙන් පසු ඇයගේ ස්වර්ණාභරණ බාර දීමට සුබීර් ඇගේ ගමට යයි.ඒ වන විට බිරියගේ මව ද ශෝකයෙන් යුතුව මිය ගොසිනි.ඇගේ පියා ද ඔහුගේ මහළු මව ද ඒ ගම්මානයේ ශෝකයෙන් යුතුව ජීවත් ව සිටිති.මිත්තනියගේ ඉල්ලීම පරිදි ආපසු යන්නට පෙර ඔහු ළිඳට යන්නේ නාගන්නටය.හදිසියේ ඔහුගේ අත ගැටෙනුයේ කලකට ඉහත බිරිය විසින් සිය අත ගැට ගැසූ ආරක්ෂක සුරයයි.ඔහු එය ගලවා ළිඳට විසි කරයි. එය සැඟව ගන්නේ පාතේර් පංචාලි චිත්‍රපටයේ ඕපු සිය සොහොයුරිය දුර්ගා මිය ගිය පසු ඇය විසින් මහර්ඝ වස්තු ලෙස රැස් කළ පබළු ආදිය දියට විසි කළ පසු සැඟව ගත් ආකාරයටය.සැබැවින්ම එය මුල් චිත්‍රපටයෙන් උකහා ගත් දර්ශණයක් වුවද එය එයින් වෙන් කළ වගක් කිසිවකුට නොවැටහේ.විටෙක වර්ණයෙන් ද විකෙ කළු සුදු පැහැයෙන් ද තවත් විටෙක ඕපු ත්‍රිත්වයේ දර්ශණ ද එකිනෙකා සමාන්තරව සංස්කරණය කරමින් සිනමාකරු සිය කූටප්‍රාප්තියට සමීප වෙයි.

මේ අලුත් චිත්‍රපටය සදහා සැබෑ සුබීර් ගේ චරිතය නිරූපණය කර තිබුණේ බෙංගාලි නළුවකු වන අර්දේන්දු බැනර්ජිය.ඒ සුබීර් ඕපු පංචාලි සදහා එක්වීමට අකමැති වූ හෙයිනි.

මේ මාහැඟි චිත්‍රපටය 44 වැනි අන්තර් ජාතික ඉන්දියානු සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සියළු චිත්‍රපට අබිබවා ලබා ගත්තේය.එහෙත් එය පුදුමයක් නොවේ.ඕපු පංචාලි මා නෙතට ද කඳුළක් උපයා දුන් බැවිනි.