වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




කේන්දර නොගැලපුනත් අපි බැන්දා

කේන්දර නොගැලපුනත් අපි බැන්දා

රූපවාහිනි මහගෙදර සිට චලනි, පි‍්‍රයාල් නිවහනට යමු...

මිහිරි තෙපුලින් රටක් ආකර්ෂණය කළ හැකි වීම මහත් වාසනාවකි. ගැඹුරු හඬ පෞරුෂයකින් මුළු රටම පුබුදුවන්නට හැකි ප්‍රතිභාවය කෙතරම් අපූරු ද . . .? තමාට සහජයෙන් උරුම කටහඩින් මුළු රටම අමතන චලනි සිරිවර්ධන සහ ප්‍රියාල් වීරසිංහ සුසංයෝගය එවැන්නකි. රූපවාහිනී මහ ගෙදරට ඔවුන් දෙදෙනාගේ හඬ මුසුව සැබෑම ආලෝකයකි. සෑම ඉරිදාම හරිස්චන්ද්‍ර රස මැඳුරින් මිහිරි කෑමක රසය තවත් රසවත් කරන චලනි කාන්තා වැඩසටහන් සමඟින් නිරතුරුවම ඔබ හමුවන්නීය. ප්‍රියාල් වීරසිංහ කියූ පමණින්ම ඔවුන්ගේ රුව ඔබට මැවී පෙනෙන්නේ ක්‍රීඩාවේ උණුසුම ද මුසුවය. විටෙක එයින් ඔබ්බට ඔබව රැගෙන යන ඔහු සංවර්ධනයේ යෝධ අරුණැලි සජීවි ලෙසින් ඔබ නෙතු අගට කැඳවාගෙන එයි.

හඬ මුසුවේ ආශිර්වාදයෙන් දිවි මෙඟ් අත්වැල් පටලා ගැනීමේ වාසනාව ද හිමිකරගත් චලනිගේ හා ප්‍රියාල්ගේ සෙනෙහෙබර කැදැල්ලට අප ගොඩ වුණේ කාලයකට පසුවයි.

* ඉතින් නංගී . . . කියන්නකෝ ඔය දෙන්නගේ අලුත්ම තොරතුරු?

අපි ඉතින් බොහොම නිහඬව වැඩ කටයුතු කරගෙන යනවා. ඉස්සෙල්ලම අයියාගෙන් අහන්නකෝ . . . එයාගේ අලුත් වැඩ ගැන එයා කියයි.

නෑ . . . නෑ . . . සුදු ඔයාම කියන්න.

* කවුද අනේ මේ ඔයාලගේ සුදූ?

මම ඉතින් චලනිට ආදරේ කරන කාලේ ඉඳලම කියන්නේ සුදූ කියලා. ඉතින් අදත් හෙටත් සුදූම තමා.

* ඔය දෙන්නගේ ඒ හමුවීමත් හරිම රසවත් ඇති...

ප්‍රියාල් අයියා 2002 දී ස්වාධීන රූපවාහිනී සේවයට එන්නේ සහන නිවේදකයකු විදියට. මමත් අයි. ටී. එන්. එකේම නිවේදිකාවක් වෙනවා. ඉතින් එහිදී බොහෝ වැඩසටහන්වලදී අපි නිතර නිතරම හමු වුණා. ඔය හිතවත්කම දුර දිග ගිහින් තමයි ආදර සම්බන්ධය ඇති වුණේ. හැබැයි මේ ගැන ගෙදරට කිව්වාම හඳහන් ගැළපෙන්නේ නෑ කියලා විරුද්ධ වුණා. ඒත් අපේ සම්බන්ධය නම් නැවැත්තුවේ නෑ. අවුරුදු පහකට පස්සේ දෙපැත්තේම ආශිර්වාදය ලබාගෙන විවාහ වුණා.

* ප්‍රියාල් වීරසිංහ වැඩියෙන්ම ක්‍රීඩා විස්තර විචාරකයකු වගේම වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කරනවා නේද?

මෙහෙමයි, මම ඉසිපතන විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ පටන්ම විවාද කණ්ඩායමේ, මාධ්‍ය ඒකකයේ කටයුතු කළා. ඉස්කෝලෙන් ඉවත්වෙලා ඉන්න කාලේ තමයි යෞවන සම්මාන උළෙලේදී හොඳම නිවේදකයා සම්මානය ලැබුණේ. ඉන් පසුවයි ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ලෙස සේවය කරන්න එක් වුණේ. මේ කාලයේදී තමා, ඒ කියන්නේ 2002 කාලේ තමයි අයි ටී එන් එකේ ක්‍රීඩා අංශයට එක්වෙන්න අවස්ථාව උදා වුණේ. පසුව නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන්න ලැබුණා.

* ප්‍රියාල් මයික් එක අතට ගත්තම ඔයාගේ හඬ හරිම තේජාන්විතව ගලාගෙන යනවා. ඒත් සාමාන්‍ය ජීවිතයේදී හරිම නිහඬයි . . .

නැහැ . . . නැහැ . . . සාමාන්‍යයෙන් මම වැඩියෙන්ම කැමැති නිහඬව යමක් කරන්න. සින්දුවක් ලියන්න, කතාවක් ලියන්න, යමක් හිතන්න තමා වැඩියෙන්ම ආසා කරන්නේ. ඒ කියන්නේ මගේ නිවේදන කටයුතුත් එක්ක එවැනි පරිසරයක් නිර්මාණය කර ගැනීම නම් තරමක් අපහසුයි. ඒත් ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න හිතනවා.

* ඔබ නිවේදකයකු තරමට දැන් නිෂ්පාදකයකු ලෙසින් ද ජනප්‍රියයි.

ඒක තමා මම මුලින්ම කිව්වෙත්. වෙලාව තියනවා නම් නිර්මාණශීලි යමක් කරන්න පුළුවන්. රන් සමනලියෝ ටෙලි නාට්‍යයට පස්සේ අලුත්ම වැඩක් පටන් ගන්නයි මම හිතාගෙන ඉන්නේ. මේ දවස්වල හීන හතක්, යන් ඉන්වෙන්ටස් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව ක්‍රීඩා විස්තර ප්‍රචාරක කටයුතු, සංවර්ධන වැඩසටහන්, උත්සව, ප්‍රදර්ශනවල නිවේදන කටයුතුª කරනවා.

* ඔබ මේ ක්ෂේත්‍ර දෙකෙන් වඩාත්ම කැමැති . . .?

මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ ක්‍රීඩාවට. ලංකාවේ රගර් ක්‍රීඩාව සිංහලෙන් නිවේදනය කිරීම පටන් ගත්තේ මමයි ආනන්ද කස්තුරිආරච්චියි. ඒ වගේම මාල දිවයින, තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, ඉතාලිය වැනි රටවල් ගණනාවකම සංචාරය කිරීමට අවස්ථාව ලැබුණේ හැකියාව නිසයි.

* ඔබ දෙදෙනාම හරිම අවිවේකයි. ගෙදර වැඩ කටයුතු එහෙම කරන්නේ කොහොමද?

ඒ වැඩ ඉතින් වැඩිපුරම චලනිගේ අතින් තමයි වෙන්නේ.

* චලනි මොනවද ඔබේ අලුත්ම වැඩසටහන්?

මම අවුරුදු ගණනාවක්ම කරපු වැඩසටහන් තමයි ලස්සන ගෙදර, හරිස්චන්ද්‍ර රස මැඳුර, ඊට අමතරව චිත්‍රපට වැඩසටහන්. මේ වැඩවලට අමතරව ස්ටුඩියෝ එකේ වැඩයි, උත්සව, ප්‍රදර්ශන, වැඩමුළු සෑම දවසකම . . . අපේ චැනල් එකේ වැඩ සටහන්වලිනුත් අඩුවක් නැහැ.

* ඇත්තටම ඔය දෙන්නම එකම තැනක වැඩ කරන එක ගැටලුවක් එහෙම වෙලා නැද්ද?

අපෝ කවදාවත් නැහැ. මට වෙනත් ආයතනවලට එක්වෙන්න බොහෝ අවස්ථාව ලැබුණා. ඒත් මේ වගේ සුහදශීලි පරිසරයක් තවත් නැහැ කියලයි මම හිතන්නේ. මාධ්‍යවේදිනියක් විදිහට ආරක්ෂාව උපරිමයෙන් ලැබෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ සිටින අපේ ප්‍රවීණයෝ, ඒ කියන්නේ ඉඳුනිල් අක්කා, සුභාෂිණී අක්කා, දුලක්ෂි අක්කා අපට ගුරුහරුකම් ලබා දෙනවා. වචනයක් වැරැදුණත් ඒ අය අපට කියලා දෙනවා. මේ වගේ සහෝදර බැඳීමක් ඇති තැනක් නැහැයි කියලයි හිතන්නේ.

* ඔබ දෙදෙනාම හරිම අවිවේකියි. මේ අවිවේකය තුළ කොහොමද වැඩ කරන්නේ . . .?

අපි දෙන්නාගේම වැඩ ගැන අවබෝධයක් තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි ප්‍රියාල්ගෙයි අපේ පවුලේ අයගෙනුයි ලැබෙන්නේ විශාල සහයෝගයක්. ඒක නිසා අපේ රාජකාරි වැඩ පහසුවෙන්ම කරගෙන යන්න පුළුවන්.

* ඉතිං නංගි ඕගොල්ලන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ආසාවෙන් ඇති ඔය දෙන්නට කතා කරන්න. කියන්නකෝ ඔයාලගේ දුරකථන අංකය?

0716856224.