වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මට කවුරුත් නමින් කතා කරලා නැහැ

මට කවුරුත් නමින් කතා කරලා නැහැ

ලියෝනි කොතලාවල

ලියෝනි කොතලාවල අපට ඉන්න දක්ෂ නිළියක්. ඇය ගුවන් විදුලිය, වේදිකාව, සිනමාව, රූපවාහිනී යන මාධ්‍යවල නිරත ශිල්පිනියක්. මේ දිනවල ඇයගේ රංගනයන් අපට දකින්නට ලැබෙන්නේ මුතුපලස, ඉහිරුණු කිරි, උඩු සුළඟ ටෙලි නාට්‍යය තුළිනුයි.

අගිදහාමි, ඉඳිආප්ප අම්මා, මේරි නෝනා, නැනෝ අම්මා චරිත අපේ හිතේ ජීවත් කරන්න ඇය දැක් වූ ප්‍රතිභාව කොතරම් ද කියනවා නම් ලියෝනි කොතලාවල යන නම පවා අමතකව ගොස් ඒ චරිත අපේ සිතේ සදා අමරණීය වන්නට තරම් ප්‍රබලයි.

* මම මුලින්ම ඇයත් එක්ක යන්නේ අතීතයට.

මම නර්තනය හදාරලා මගේ හිතේ තිබුණේ නැටුම් ගුරවරියක් වෙන්න. නමුත් අම්මාගේ බලකිරීම නිසාම මම නර්තනය අතහැර රංගනයට යොමු වුණා.කලාවට සම්බන්ධ වෙන්න හුඟාක්ම උපකාරී වුණේ මා පාසලෙන් ලද ආභාෂයයි. පාසලේදී කෙටි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒවායේ ප්‍රතිඵලයක් හැටියට ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න අවකාශය ලැබුණා.

ඒ සඳහා මට මඟ පාද දුන්නේ ස්ටැන්ලි වීරසිංහ මගේ බාප්පා. එවක ළමා පිටියේ ගීත ගායනා කිරීම නිසා රඟපාන්න විහිළු තහළු වැඩ සටහන්වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව උදා වුණා. විවියන් ද සිල්වා බොරලැස්ස ගායනා කරපු ‘දුර පෙනෙන තැනිතලා’ ගීතය තමයි මම මුලින්ම ළමා උයනෙන් ගායනා කළේ.

මා මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ ජී. ඩී. එල්. පෙරේරාගේ මඟ පෙන්වීම අනුව අගනුවර කළා පෙළ සංගමයේ දෙවැනි නිෂ්පාදනය වූ ‘මනමාලකම’ නාට්‍යයෙන්. මෙය 60 දශකයේ වේදිකා ගත වුණා. ඉන් පසු ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන භූමිකාව කළා. මගේ පළමු සිනමා රංගනය ‘සාමා’ චිත්‍රපටය. ටෙලි රංගනය 1982 දී ලූෂන් බුලත්සිංහලගේ සෝමාගේ සිහිනය ඒකාංගික ටෙලි නාට්‍යය.

මට ලැබුණු පළමු සම්මානය 1962 දී මෙහෙව් ලෝකෙක නාට්‍ය රඟපෑම වෙනුවෙන්, හොඳම නිළියට හිමි සම්මානයත් පළමු ටෙලි සම්මානය ලැබුණේ 1988 දී. ඕ. සී. අයි. සී. සම්මාන උළෙලේදී කුමාරිහාමි ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන්, හොඳම නිළියට හිමි සම්මානයත් ලැබුණා. එදා මෙදාතුර ජනතා සම්මාන තමයි ලැබුණේ. ඒ කියන්නේ මගේ නමින් කවුරුත් කතා කරන්නේ නැහැ.

චරිතවල තිබුණු නමින් තමයි කතා කරන්නේ. එක කාලෙක පාරේ යන්න බැහැ ඉඳිආප්ප නැද්ද කියලා අහනවා. මට ඉතින් ඒ අතීතය හරිම සුන්දරයි.

1966 ජූනි 11 වැනිදා මම විවාහ වුණේ දවස පත්තරේ ඡායාරූප ශිල්පී තිස්ස කොතලාවල එක්ක. එයා ඊට පස්සේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප උපදේශක ලෙස කටයුතු කළා. 1996 දී ඔහු මිය ගියා.

මනමාලකම, සාමා, තොටුපොළ, මෙහෙව් ලෝකෙක, මඟුල් මතය, චක්කර වට්ටම, රතු රෝස ආදී නාට්‍ය බොහොමයකත්, වජිරා, සාමා, රජ දරුවෝ, පිපෙන කුමුදු, පුනරුත්පත්තිය, සරසවි දියණියෝ ඇතුළු චිත්‍රපට කිහිපයක් සඳහාත්, තාරා දේවී, කුමාරිහාමි, චාරුලතා, චරිත තුනක්, අරවින්ද සහ ඉන්දු, හිරුට මුවාවෙන්, අමා ඇතැම් තවත් බොහෝමයක් ටෙලි නාට්‍යය සඳහා ද දායක වුණා.

රංගන දිවියෙන් අමතක නොවන සිදුවීමක් වුණේ 1965 දී. පිපෙන කුමුදු චිත්‍රපටය රඟපාන්න මාව තෝර ගත්තා. මට රඟපාන්න තිබුණේ දඩබ්බර තරුණියකගේ චරිතයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ එදා නිළි රැජන රුක්මණී දේවී. මගේ පුංචි කාලේ ඉඳන්ම මගේ තිබුණු හීන ලෝකේ රැජණ වුණෙත් රුක්මණී දේවී මහත්මිය. එයත් එක්ක එකට රඟපාන්න ලැබුණා කිව්වහම මට ඇති වුණේ පුදුමාකාර සතුටක් වගේම බයක්. මොකද එතකොට ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මම රඟපාන්න ආපු අලුත. මෙයත් එක්ක කතාබහ කරන්න අවස්ථාව එනකන් මම හිටියේ ඇඟිලි ගැන ගැන. මට රඟපාන්න තිබුණේ රුක්මණී දේවි සමඟ වචන හුවමාරුවක් වෙනවා. එතනදී එයාව බිම පෙරලගෙන පස් කූඩෙකින් ඇයට ගහන්නයි මට තිබුණේ. මම කිව්වා මට නම් බැහැ මේ වගේ ප්‍රවීණ කෙනෙකුට ගහන්න කියලා.

රුක්මණී දේවි කිව්වා පිස්සු ද නංගි ඔයා මට නෙමෙයිනේ ගහන්නේ, මේ චරිතේ ජීවත් වන කෙනාටනේ. ඔයා ඒක හොඳට කරන්න ප්‍රශ්නයක් නැහැ කියලා. කොහොම කිව්වත් මට ඒක කරන්න බැහැ කියලා මම කළේ පැත්තකට වෙලා හොඳටම ඇඬුව එකයි. අන්තිමට කැමරා ප්‍රයෝගයක් මඟිනුයි චිත්‍රපටයේ මේ දර්ශනය පෙන්නුවේ. අධ්‍යක්ෂිකා රූබි ද මෙල් මේ දර්ශනය ගත්තේ මම කුඩේකින් ගහන විදියට පෙනුණට මම ගහන්නේ බිමට.

මේ සිදුවීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කාලේ අපි හැමෝම හරි එකමුතුයි. ඒ වගේම ප්‍රවීණ අයට අපි පුදුම විදියට ගරු කළා. ඒ අයගෙන් නිතර ගුරුහරුකම් ගත්තා. ඒ නිසා වෙන්න ඕනේ මේ වගේ ගමනක් එන්න මටත් හැකි වුණේ. අදත් ප්‍රවීණයන් එක්ක රඟපාන්න තියෙනවා නම් හරි ආසයි. ඒ වගේම හරි ලේසියි. මොකද අපි චරිතයක ජීවත් වන නිසා රඟපානවා කියලා අපටවත් තේරෙන්නේ නැහැ.

ද ඔව් අපි අතීතයෙන් මිදිලා වර්තමානයට එමු. වර්තමානයේ මම රඟපෑවේ ටෙලි නාට්‍යවල පමණයි. මාව එදා මෙදාතුර අම්මාගේ චරිතයට කොටු වුණා. ඒ නිසා මට මගේ විවිධ දස්කම් පෙන්වන්න බැරි වුණා. මේ දවස්වල මුතුපලස, ඉහිරුණු කිරි, උඩු සුළඟ නාට්‍යවල රඟපානවා. එදා වගේ නෙමෙයි අද හරිම වෙනස්. මම රඟපාපු බොහෝ නාට්‍යවල පිටපත ලැබෙන්නේ දර්ශන තලයට ගියාට පසුවයි. එදා එහෙම නෙමෙයි.

මේ නිසා අපට ක්ෂණයෙන් චරිතයට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ නිසා අපට පුහුණුක් ලබා එයට නියම ලෙස චරිතයක් කරන්න තිබෙන ඉඩ අඩු වෙලා තියෙන්නේ. මේක රංගන ශිල්පියන්ට වන අසාධාරණයක් හැටියට මම දකිනවා. හැබැයි නාලන් මෙන්ඩිස් මහත්මයා අධ්‍යක්ෂණය කරන නාට්‍යවල නම් එහෙම නැහැ. ලොකු, පොඩි චරිත කියලා නැහැ. හැමෝටම තමුන්ගේ කොටස හරි දෙබස්, චරිතය පිළිබඳ සියලු වටපිටාව ලබා දෙනවා. ඒ නිසා අපිත් සූදානම්වයි යන්නේ. ඒ නිසා වැඩේ හරි පහසුයි. අද ඉන්න බොහෝ අය අපිත් එක්ක කතා කරලා පුහුණු වෙලා වැඩ කරන්න කැමැති නැහැ.

එදා වගේම අදත් අපි ප්‍රවීණයන් මුණගැහුණාම යම් පුහුණුවක් ලබලයි රඟපාන්නේ. අලුත් අය නම් එහෙම නැහැ. ෆෝන් එක කනේ ගහගෙන ලැප්ටොප් දිග හැරගෙන ඉඳලා අධ්‍යක්ෂ කිව්වහම ඇවිත් රඟපානවා. මොන දක්ෂකම් තිබුණත් රංගනය පිළිබඳ හොඳ අවබෝධයක් නැත්නම් පැවැත්මක් නැහැ. අද රංගනයේ ඉතා ඉහළ ඉන්නේ එදා වේදිකාවෙන් එතෙර වුණු අයයි.

ඒ අයට අභියෝග නැහැ. මොකද වේදිකාවේ වැරැදුණොත් ඒ වෙලේම එයට ප්‍රතිචාර එනවා. චිත්‍රපට, ටෙලි නාට්‍යවල එහෙම නැහැ. වැරැදි වැරැදී වුණත් කළ හැකියි. අපි රඟපාන කොට අපිට කියන්නේ වන් ටේක් කියලා. ඒ තරමට අපි පුහුණු වෙලා තමයි රංගනයට අවතීර්ණ වෙන්නේ. අපි දැන් වයස නිසා අපි රඟපානවට බොහෝ අය කැමැති නැහැ. ඒ අය හිතන් ඉන්නේ අපි නිසා ඒ අයට රංගනයක යෙදෙන්න ඉඩක් නැහැ කියලා. මම නම් චරිත ඉල්ලගෙන යන්නේ නැහැ. මට එන ආරාධනාවලිනුත් තෝර ගත්ත චරිත විතරයි මම කරන්නේ. මොකද මට පවුල් ප්‍රශ්න නැහැ. මගේ දරුවෝ පස් දෙනාම මට හොඳට සලකනවා.

* ලියෝනි අපි දැන් අනාගතයට පිය මනිමු.

අනුර ජයසේකරගේ ඊළඟ නිර්මාණයට මට ආරාධනා ලැබුණා. ඒ චරිතය මෙතෙක් කළ චරිතයට වඩා වෙනස් චරිතයක්. කපු හාමි කෙනෙකුගේ චරිතයක්. මෙය මම පළමුව ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ අයගේ ඉල්ලීම මත මම මේ චරිතය කරන්න බාර ගත්තා. තව නාට්‍ය දෙකකට ජනවාරියේ දින ලැබුණා. සුසුමට පවා රහසින් කොටස් තව කරන්න තියෙනවා. සසර සරනී එන්න තියෙනවා. මම රඟපාපු නාට්‍යය කිහිපයක් එන්න තියෙනවා. චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබුණත් ටෙලි නාට්‍ය දෙකකට දින දී තිබුණු නිසා ඒ චිත්‍රපට ප්‍රතික්ෂේප කරන්න වුණා. එදා අද හෙටත් දරුවොත් එක්ක සතුටින් ගත කරන එක තමයි මගේ බලාපොරොත්තුව.

ඇගේ සුහද වූත් සොඳුරු වූත් ආගන්තුක සත්කාරයන් මැද අප ඇගේ අනාගත රංගන දිවියට ආශිර්වාද කරමින් ඒ සොඳුරු හෝරා කිහිපය නිමා කරමින් එන්නට ආවෙමු.