වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මේක සෙල්ලම් වැඩක් නෙවෙයි

මේක සෙල්ලම් වැඩක් නෙවෙයි

සමඟ එන මනෝරත්නයන් හමුවෙමු

ලාංකේය වේදිකා නාට්‍ය වංශාවලිය තුළ ජයලත් මමෝරත්න සුවිශේෂී පුරුකකි. ගුරු තරුව, තලමල පිපිලා, අන්දරේලා, ලෝකය තනියායක් වැනි නිර්මාණයන් අපේ වේදිකාව මත මවමින්, ලංකාවේ ප්‍රේක්ෂකයාට අර්ථාන්විත දේම රැගෙන පැමිණෙන මනෝරත්නයන් මෙවර අපට හමුවන්නේ සෙල්ලම් නිරිඳු සමඟය. මනෝරත්නයන්ගේ 12 වැනි නාට්‍යය වන සෙල්ලම් නිරිඳු අද (12) වැනිදා 6.30 ට බිෂොප් විද්‍යාලයේදී වේදිකා ගතවීමට නියමිතය. මේ සෙල්ලම් නිරිඳු පිළිබඳ කෙටි කතා බහකි.

සෙල්ලම් නිරිඳු මොන වගේ කතාන්දරයක්ද?

මෙය ඓතිහාසික කතාන්දරයක් මුල් කර ගත් ස්වතන්ත්‍ර නිර්මාණයක්. 1707 සිට 1739 දක්වා කාල සීමාව තුළ රජ කළ අන්තිම සිංහල රජු ලෙස ප්‍රකට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා වටා තමා මේ කතාන්දරය ගෙතෙන්නේ. මෙහි ඉතිහාස කතා ප්‍රවෘත්තිය මෙන්ම ජනශ්‍රතිය ද අන්තර්ගත වෙනවා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ඉන්දියාවේ මධුරා පුරයෙන් කාන්තාවන් ගෙන්වා ගෙන සරණ පාවා ගනු ලබනවා. එය අපේ රාජාවලිියේ සංධිස්ථානයක්. ඉතාමත් සෙල්ලක්කාර චරිතයක් වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සෙල්ලම් නිරිඳු කියලත් හැඳින්වූවා. ඔහු සහ ඒ කාලයේ ඇති වූ සිදුවීම් සහ ඒ ආශ්‍රිත ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික වටාපිටාව තමයි මා මෙම නිර්මාණය තුළ කතාබහට ලක් කරන්නේ.

මෙම නාට්‍යය සඳහා කුමන රංග රීතියක්ද භාවිත කළේ?

සෙල්ලම් නිරිඳු ආකෘතිමය වශයෙන් වෙනසක් ඇති කිරීමට මා උත්සාහ කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගැමි නාට්‍ය ශෛලිය, සරච්චන්ද්‍රයන්ගේ නාඩගම් ශෛලිය මෙන්ම බ්‍රෙෂ්ට්ගේ එපික් රංග රීතිය යන ත්‍රිත්වයම සංයෝජනය කිරීමෙන් වාර්තා රංග රීතියට අනුකූලව මා මෙහි ආකෘතිය තනා ගත්තා.

ඒ වගේම නර්තනය හා ගායනය ඊට යොදා ගත්තා. ඒ අනුව අපේ රටේ ප්‍රේක්ෂකයාට ගැළපෙන ශෛලියකට අනුගතව සෙල්ලම් නිරිඳු නිර්මාණය කළා.

හාස්‍ය නාට්‍ය රැල්ලේ සැනහෙන නැළවෙන පිරිස මෙවැනි වෙනස්ම ආරක නාට්‍යයක් පිළිගනීවිද?

ඒක බරපතළ ප්‍රශ්නයක් තමයි. නමුත් මේ කතාව අදටත් ගැළපෙන බව මට විශ්වාසයි. ඇතැම් ප්‍රේක්ෂකයන් මෙවැනි දේ නොමැතිව කනගාටුවෙන් බලා හිඳිනවා. එවැනි අයට මෙය කදිම අවස්ථාවක් බවට පත් වේවි.

නාට්‍යකරුවකු ලෙස මේ කාලයේ විය යුතු දේ මං කළා. ඒක පිළිගැනීම නොපිළිගැනීම ජනතාවට බාරයි.

මෙම නිර්මාණය සඳහා බොහෝ පිරිසක් සහභාගී වෙනවා. ගමේ වේදිකාවට මේ නිර්මාණය ගෙනියන්න පුළුවන්ද?

ලංකාවේ තියටර් කියලා දෙයක් නැහැ. නමුත් රටේ හැමෝම නාට්‍ය බලන්න ආසයි. හැමෝටම කොළඹට ඇවිත් නාට්‍ය බලල යන්න බැහැ. ඒ වගේ ක්‍රමයක් අපට ඇත්තෙත් නැහැ. ඒ නිසා ගමට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් කුඩා ශාලාවල අපට මේ නාට්‍යය පෙන්වන්න බැහැ. මොකද ඉතාම විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වෙනවා. මා හිතන්නේ නාට්‍යකරුවා කුමන පහසුකම් යටතේ හෝ තමාගේ නිර්මාණය ප්‍රදර්ශනය කළ යුතුයි. අපට නාට්‍ය පෙන්වන්න පුළුවන් තැනක් ලැබුණොත් කොහෙද කියලා නොබලා අපි ඒ කටයුත්ත ඉටු කරනවා.

නාට්‍ය කණ්ඩායම ගැනත් කතා කරමු?

මම, මාධනි මල්වත්තගේ නලීන් ප්‍රදීප්, ප්‍රසන්න ෆොන්සේකා, නිමල් යටිවැල්ල, සරත් කරුණාරත්න, ගංගා පරණවිතාන, තෙරුණි පීරිස් ඇතුළු විසි පහකට ආසන්න නළු නිළි පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා.

සෙල්ලම් නිරිඳු වේදිකාවට එන්නේ පිරිසකගේ අනුග්‍රාහයෙන්?

කැලණිය විශ්වවිද්‍යාලයේ 1978 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථයින්ගේ සංසදය තමයි මේ කටයුත්තට මට අත දුන්නේ. අද හැම දේටම මුදල් අවශ්‍යයි. කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඔවුන් මේ නාට්‍යය කරළියට ගෙන ඒමට ලබා දුන්න ශක්තිය ඉතා ඉහළයි.

මේ නාට්‍යය මිනිස්සු පිළිගනීවි කියලා විශ්වාසද?

ඒක දැන්ම කියන්න බැහැ. හොඳ රසඥතාවකින් පිරිපුන් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඉල්ලුමට සැපයීමට වඩා හොඳ දේ දීමයි වැදගත්. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි.