වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මේ පොළව කෙතරම් සුන්දර ද මගෙ දූත් තනියම සිනාසේ

මේ පොළව කෙතරම් සුන්දර ද මගෙ දූත් තනියම සිනාසේ

සිය හදෙහි නැගෙන සිතුවිලි සමඟ සොඳූරු පද අතර සැරිසරන ගේය පද රචකයන් සොයා අපි සොඳුරු ගී වැල් අතර සැරිසැරීමු. හදවත සිරවූ සිතුවිලි මේ අයුරින් පන්හිඳ ඔස්සේ ලියැවුණද, සිය හදවත රැඳුණු මේ සහෝදර ගේය පද රචකයන් සුරතින් ගෙත්තම් පරන ලද ගී පද වැල් කොතෙක් නම් වෙත්දැයි ඒ සැරිසැරි මෙහි ඉඳ අපි විමසීමු. ගතවන මොහොතක් මොහොතක් පාසා සවන් යොවන්නට සිත මෙහෙයවන ගී පද එකක් නම් නොවන වග අපිට විශ්වාසයි.

මේ අතරතුර ඔවුන් පද බැඳි ගී පද ම සවගන යොමන්නට සිත මෙහෙය වන අයද හමුවන්නට හැකියි. ගේයපද රචකයන් සොයා යන මේ චාරිකාවේ දී ‘මතක ගී පොත’ නම් විශේෂාංගයට පළමුව සිය හදවත විවර කරන්නේ ඔහුයී. ප්‍රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩය.

අම්මාවරුනේ..... අම්මාවරුනේ.....
සම්මා සම්බුදු අම්මාවරුනේ....
දරුවන්ගේ දුක් කඳුළු ද තින දා
සුරලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා
සෙනෙහය ඇතිදා සිත ද බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහී තනිවූදා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරු නැති දරුවන්ගේ සංකාදුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු
සංසාරේ මතු බුදුවන්නේ

 

ගේයපද - ධර්මසිරි ගමගේ

සංගිතය - ප්‍රේමසිරි කේමදාස

ගායනය – නන්දා මාලිනි

 

 

මගේ දුවේ නුඹ අවදියෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබටමයි
සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කොතරම් සුන්දර ද
මගේ දුවත් තනියම සිනාවෙයි
ඝන කළුවරට අප පෙම් කළත්
ඉර හද තරුවලට ණය ගැනියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරලා දියයුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි

 

ගේයපද – රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය - රොහණ වීරසිංහ

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

 

 

ඉරි වැටිච්ච කොටු කොටු සරම ඇඳ ගත්ත බණ්ඩාර වේල්ල දිගේ ඇවිද ගෙන ගියේ හෙමින්. ඒ එක්කම වක්කඩට එබුණු බණ්ඩාරගෙ නෙත ගැටුනේ අපුරු නැටුමක්. තිත්ත පැටව් ටික වරින් වර එකා දෙන්නා උඩ පනිමින් කරන මේ නැටුම දිහාවම බණ්ඩාර බලාගෙන උන්නා. වක්කඩට එබීගෙන උන්නු බණ්ඩාර ළඟට ආවේ ඔහුගේ අතිජාත මිත්‍රයා රණසිංහ.

රණසිංහ බණ්ඩාරගේ මුණ දිහා බැලුවා. එතකොටයි බණ්ඩාරට රණසිංහගේ කතිකාව මකත් වුණේ. දෙන්නත් එක්කම හෙමින් හෙමින් ඇදුණේ තම්බිගේ රබර් කට්ටියට. කාලයක් රබර් කිරි නොකැපූ රබර් කට්ටිය පුරා කැකිල්ල යායම විහිදිලා. බලන්න ලස්සනයි. බණ්ඩාරගේ අත ගියේ ඉණේ ගහගෙන හිටිය ගිනි පෙට්ටියට. පත්තු කළ ගිනිකූර ඔහු කැකිල්ල යායට විසි කළා. එකපාරටම කැකිල්ල යායෙන් මතු වුණේ ගිනි දැල්ලක්. කැකිල්ල යායට ගිනි ඇවිලිලා. ‘දැන් මොකද කරන්නේ ....?’

සීරුවට ඇවිලෙන කැකිල්ල යාය දිහා බලාගෙන බණ්ඩාර එබුණේ රණසිංහගේ මුණට. දෙන්නම දිව්වා. දවස තිස්සෙම රවුම් ගහපු බණ්ඩාර ගෙදර ආවේ හවස් යාමයේ. කැකිල්ල යායට ගිනි තිබ්බ සිද්ධියෙන් ගම විතරක් නෙවෙයි බණ්ඩාරගේ ගෙදරත් ගිනි අරන්. පිටිපස්සේ බිත්තිය දිගේ ගෙට එබිකම් කළ බණ්ඩාර ඇතුළට ආවේ හොර පූසෙක් වගේ. හොර පූසව අම්මගේ අතටම අහුවුණා. කළ වැරැද්ද ගැන ඇහුවත් බණ්ඩාර නෙවෙයි කට හෙල්ලුවේ. බණ්ඩාරගේ අම්මා බණ්ඩාරව ඔඩොක්කුවේ වාඩිකර ගත්තා. අම්මා මේ දඟයට වැරැද්ද ගැන කියලා දුන්නේ ඔලුව අතගගා. අතීතයේ දවසක සිද්ධ වුණු ඒ සිද්ධිය, බණ්ඩාරට අද කළා වගේ මතකයට නැගුණා. එදා දඟකාර කොලු පැටියා වෙන කවුරුවත් නොවෙයි. ඒ අද ගීත ක්ෂේත්‍රයේ නමක් රැන්ඳුව බණ්ඩාර ඇහැළියගොඩ නම් වූ ගී පද රචකයා. අම්මාගේ ආදරය ඒ තරමට සුන්දරයි. ජීවිතය මිට යන තුරුම ඒ ආදරය අපූරු ආදරයක්.

‘අම්මාවරුනේ....
අම්මාවරුනේ....
සම්මාසම්බුදු අම්මාවරුනේ’

මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසාම මට මගේ අම්මාගේ මතකය අවදි වෙනවා. ඒ අතීතයේ මතක මගේ හදවතේ අපූරුවට පෙළ ගැසෙනවා.අම්මා කියන ආදරණීය වචනය ඇතුළේ තිබෙන්නේ ආදරය, සෙනෙහස, උණුසුම, රැකවරණය, කිරි සුවඳ කියන මේ සියලු ගුණාංගයි. ඉංග්‍රීසියෙන් ‘මදර්’ කියන වචනයට වඩා අම්මා කියන වචනයෙන් දැනෙන්නේ වෙනස්ම හැඟීමක්. මගේ කැමැතිම ගීත අතරට ‘අම්මාවරුණේ....’ ගීතය හදවත සසල කරන්නේ ඒ නිසයි. ධර්මසිරි ගමගේ ලියූ, නන්දා මාලිනී ගයන මේ ගීතයේ අම්මාගේ සෙනෙහස අපුරුවට ගැබ්වෙලා. මේ ගීතයේ තිබෙන අනෙක් විශේෂත්වය වෙන්නේ අම්මා මිය ගියත් සෙනෙහස නැති වෙන්නේ නෑ කියන කාරණය යි.

“දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අත පා..
ඒ කඳුළැලි පිසිනා...”
මෙතැනින් එහා අම්මා පිළිබඳ තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන බවයි මගේ හැඟීම වෙන්නේ. ඒ ගීතයට මුසුවුණු කේමදාසයන්ගේ සංගීතය ගීතය ඇහෙන වාරයක් පාසා වචන ඇසෙන්නට පෙර අපට අම්මා පිළිබඳ ඇහෙන්නට, දැනෙන්නට පටන් ගන්නවා. මේ ගීතයේදි නන්දා මාලිනිගේ හැඟීම්බර ස්වරය අම්මාවරුන් ගැන ගැයුණු අනෙක් ගීතවලට වඩා මුල්තැන ගන්නේ මේ හේතුව නිසාවෙන්.

බණ්ඩාර ඇහැලියගොඩ නම් ප්‍රවීණ ගී පද රචකයාගේ අතීතය හා මුසුවුණු ඒ සිදුවීම අපට කිව්වේ අපූරු කතාවක්.

ඒ විතරක් නොවෙයි. ඔහුගේ හදවත ලැගුම් ගන්නා ගීත අතරට මේ ගීතයටත් හිමි වෙන්නේ අපූරු තැනක්. ඒ කරුණාරත්න දිවුල්ගනේ ගයන

“මගෙ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි...
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි’’

කියන ගීතය යි. රත්න ශ්‍රී ලියන ලද මේ ගීතය අපූර්ව ගීතයක්. මේ ගීතයෙහි තිබෙන වැදගත්කම වන්නේ අපගේ සොබා දහමත් සමඟ තිබෙන්නා වූ අපුරු බැඳීමයි. ගීතය ඇසෙන විට සිහිපත් වන අපූරු සිදුවීමක් බණ්ඩාර ඇහැලියගොඩ අපට කිව්වා.

සියටෙල්. ඔහුව හඳුන්වන්න හොඳම නාමය වන්නේ සොබාදහමේ ආදරණීය පියා ලෙසයි. සියටෙල් කියන මේ රතු ඉන්දියානු ගෝත්‍රික නායකයා හිටියේ අමෙරිකාවේ. ඔහුගේ ඉඩම මිලදී ගන්න අධිරාජ්‍යයා පැමිණියා. ඔහු සියටෙල්ගේ ඉඩම මිලදී ගන්න මිල ගණන් කැෙඳව්වා. සියටෙල්, අධිරාජ්‍යයාගෙන් අපූරු කතාවක් ඇසුවා. මේ පරිසරයේ තිබෙන මල්වලට, පැහැයට, සුවඳට මිලක් නියම කළ හැකිද ? පරිසරයේ ගලාගෙන යන ඇල පාරවල දිය හඬට, පෙණ පිඬුවලට මිලක් නියම කළ හැකිද ? ඔහු ප්‍රශ්න කළා.

සියටෙල්ගේ මේ ප්‍රශ්න කිරීම් බණ්ඩාර ඇහැලියගොඩ නම් ගී පද රචකයා අපුරුවට මේ ගීතයට ඈඳා ගත්තා. ඒ පිළිබඳ ඔහු මෙසේ පැවසුවා.

“රත්න ශ්‍රී ගේ මේ ගීතයේම තිබෙන්නේ ඒ පණිවුඩය යි. ස්වභාවධර්මය නරඹන්නට, විඳින්නට ගී පද රචකයා දියණියට ආරාධනා කරනවා. එහි වඩා මා සිත් ගත් යෙදුම වන්නේ මෙයයි.

“සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි”

අද දරුවන් පරිසරයෙහි තිබෙන ස්වභාව සෞන්දර්යයෙන් ඈත්වීම පද රචකයා වටහා ගන්නේ අපූරු අයුරින්. එදා අපට ගමේ පරිසරයෙහි විවෘතව තිබූ ලඳු, දෙණි, දෙවැට මැද්දේ ගමන අද දරුවන්ට අහිමිවීම අභාග්‍යයක්. ඇළ, දොළේ දියබුන් ගැසීම අද ඔවුන්ට ඇවැසි නෑ. අද ඔවුන් පරිසරය දකින්නේ තමන් තමන් කරන පුංචි දොර කවුළුවෙන්. ඒ දොර කවුළුවට සීමා නොවී එන්න පරිසරය දකින්න රත්න ශ්‍රී, දියණිය මඟින් ලෝකයටම ආරාධනා කරනවා. ඔහුගේ ගීතය පරිසරය විඳීන, බලන කවුළුවක් වැනි යැයි මට සිතෙන්නේ මේ නිසයි.

“ඔබ මුළු ලොවට ආදරෙයි නම්
ලොකයත් ඔබට ආදරේ කරයි”

ඒ ගීතය අවසානයෙහි ඔහු පවසන්නේ ආදරය එකම තැනක කොටු කළ නොහැකි බව මුළු ලෝකයටම හඟවමින්. එවිටය ලෝකයේ යහපැවැත්ම රඳා පවතිනුයේ.”

ස්වභාව සෞන්දර්යයට ආදරය කරන බණ්ඩාර ඇහැලියගොඩ සිය හදවත බැඳුණු මේ ගීත කිහිපය අප හදවත ජනිත කළේ සොඳුරු හැඟීමක්. ඒ සොඳුරු හැඟීම හදවත තුරුළු කරගත් අපි ඔහුට සමුදුන්නේ, ඔහුගේ සොඳුරු බව ගැන කතාබහක යෙදෙමින්.