වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් නම් මා කේන්දරය විශ්වාස කරනවා

දැන් නම් මා කේන්දරය විශ්වාස කරනවා

තවම තනිකඩ දයාන් විතාරණ

අවිවාහකව සිටීමට තීරණය කළ ද සමහර අවස්ථාවලදී එසේ නොකළ යුතු යැයි ද ඔබට සිතුණොත් පුදුමයක් නොවේ. අවිවාහකව සිටීම පිළිබඳ එකිනෙකා දරන්නේ විවිධ වූ අදහස්ය. මෙවර ‘තනි මංසල’ විශේෂාංගයට සහභාගි වන්නේ කැමරා ශිල්පියෙක් මෙන්ම ගායකයකු ලෙස ද ඔබ හමුවට පැමිණෙන දයාන් විතාරණයි.

ඔබට ආදරය ගැන තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

ආදරය කියන්නේ ජීවිතයට අවශ්‍ය දෙයක්. අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන ආදරය නම් සදා රැෙඳනවා. ඒත් ආදරය ආත්මාර්ථකාමී දෙයක්.

ඔබ යම් කෙනෙකුට ආදරය කරලා තියෙනවාද?

ඔව්. මම ආදරය කරලා තියෙනවා. ආදරයෙන් පරාද වෙලත් තියෙනවා. ජීවිතේ කිසිම කෙනෙක් දිනන්නේ නෑ. අපි යම් යම් දේ දිනා ගත්තත් කවද හරි අපට ඒ සියලු දේ නැති වෙනවා. අපි ඉපදෙන කොටම අරගෙන එන මරණය වගේ මේ සියලු දේ කවදා හරි නැති වෙනවා. ආදරයත් එහෙමයි. සදාකාලික ආදරයක් ඇත්තේ නෑ.

ඔබ තවමත් අවිවාහකව ඉන්නේ ආදරයෙන් පැරැදුණු නිසාද?

නෑ, නෑ, ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගත්ත නිසයි මම විවාහ නොවී ඉන්නේ. මගේ යහළු – යෙහෙළියෝ, හිතවත්තුª කියන දෙයක් තමයි ජීවිතය කියන එක එදා අවබෝධ කර ගත්ත නම් මේ අමාරුවේ වැටෙන්නේ නෑ කියන කාරණය. මේ තරම් දුක් විඳින්නේ නෑ කියලා ඔවුන් කියනවා. කොයි තරම් දරු මල්ලො හිටියත් දුක කියන දෙයින් අපට ඈත්වෙන්න බැරි වෙලා.

තමන්ගේ දරුවෝ මොන වගේ ජීවිතයක් ගත කරයි ද? අද සමාජයේ තිබෙන ව්‍යසනකාරී දේත් සමඟ දරුවෙක් කොහොම ඇති දැඩි කළ යුතුද? කියන ප්‍රශ්නවලින් වැඩිහිටියන් දුකට පත් වෙලා. ඒ නිසා අපි ජීවිත කාලයේදී වැඩිපුර විඳලා තිබෙන්නේ සතුටට වඩා දුකයි. කොහොම කළත් ජීවිත කාලයේදී හැමෝම මුහුණ දිය යුතු දේවලට මටත් මුහුණදීමට සිදු වෙනවා. ඒ නිසා ජීවිතය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන මා සතුටින් ජීවත් වෙනවා.

විවාහ නොවී සිටීමට හේතුව ලෙස ඔබ දකින්නේ ජීවිත අවබෝධය පමණක් ද?

අපි ජීවිත කාලයේදී හැමදේම ලබා ගත්තා කියලා කිව්වට ඒ ලබා ගත්ත දේවල් කොයි තරම් කාලයක් තිබෙනවාද කියලා හිතන්න. වසර හතක් ප්‍රේම කරලා විවාහ වෙලා, අවුරුද්දක් දෙකක් යන්න ඉස්සර දික්කසාද වෙනවා. සදාකල් එකට ඉන්න ප්‍රාර්ථනා කරන අයමයි එහෙම කරන්නේ. මංගල ඡායාරූප ශිල්පියකු විදියට මා මේ අත්දැකීම් ඕනෑ තරම් විඳලා තියෙනවා. නමුත් බුදු දහමෙන් ජීවිතයට ලැබෙන පෝෂණය මම හිතන්නේ නෑ කිසිම කෙනෙකුට කිසිම දෙයකින් ලබා ගන්න හැකි වේවි කියලා.

නමුත් බුදු දහමින් විවාහ ජීවිතය ප්‍රතික්ෂේප කළ බවක් අප අසා නැහැ?

ඔව්. බුදු දහමින් විවාහය ප්‍රතික්ෂේප කර නැහැ. ඒ වගේම විවාහ නොවී සිටියොත් පරම්පරාව නැතිව යනවා. අනිත් එක විවාහ වෙන පුද්ගලයා කවුරු මොන දේ කිව්වත් විවාහ වෙනවා. මම ජීවිතය දකින අයුරු අනෙක් අයට වඩා වෙනස්. අනෙක් අයට වඩා මට අම්මගෙන් ලැබුණු ආදරය කොයි තරම් ද කියලා කියනවා නම් මම කල්පනා කළේ දරුවකුට ඒ විදියට ආදරය කරන්න මට හැකි වේද කියලයි. ඒ මොන දේ වුණත් කිසිම දවසක මගේම අම්මා, උපදින සෑම භවයකදීම මගේ අම්මාම වෙන්න කියලා කිසිම දවසක මා ප්‍රාර්ථනා කර නැහැ. ඇයත් එහෙමයි.තම ජීවිතයට ආශාව ඇති කර ගනිමින් සංසාරය පුරා සැරිසරන්න අවශ්‍ය නැහැ. ලද දෙයින් සතුටු වී ජීවිතයට මුහුණදීිමයි අප කළ යුත්තේ.

විවාහ වී ආදරය කර වසරක් ගතවීමටත් පෙර දික්කසාද වීම සිදු වන්නේ ඇයි?

මම දකින ප්‍රධාන කාරණය වන්නේ ඔවුන් අතර ඉවසීමක් නැතිවීමයි. විවාහය කියන දෙය සුරංගනා ලෝකයක් කියලයි බොහෝදෙනා සිතන්නේ. බොහෝ දෙනා විවාහ වෙන්නේ සමාජයට පෙනෙන්න මගුලක් ගන්නට මිසක්, ඉන් පස්සේ එකට ජීවත් වෙන්නට නොවෙයි. විවිධ තේමා ඔස්සේ ඔවුන් තම මඟුල ගත්තත්, විවාහයේ නියම තේමාව පිළිබඳ දැනුමක් ඔවුන්ට නෑ. එහිදී තිබිය යුතු අවංක බව, විශ්වාසී බව, සහජීවනය පිළිබඳ ඔවුන්ගේ සිත් යොමු වන්නේ අඩුවෙන්.

මේ පැමිණි ජීවන ගමනේදී පාළුව, තනිකම ඔබට උරුම දේ නොවේද?

මා සමාජයත් සමඟ සිටින කෙනෙක් නිසා එවැනි පාළුවක්, තනිකමක් මෙතෙක් දැනිලා නැහැ. වයසට යනකොට ඒ වගේ හැඟීමක් දැනේද කියලා මම දන්නේ නැහැ. අපි මොන දේ කළත්, මොන දේ රැස් කරත් අපට යන්න වෙන්නේ තනියමයි. බුදුහාමුදුරුවන්ටත් එය පොදු වුණා. අප උපන්නෙත් තනියමයි. මැරෙන්නෙත් තනියමයි. ඉන්න ටික කාලයේ හොඳට ඉඳලා ඊළඟ භවයටත් මොනවා හරි කරගෙන ගියා නම් හොඳයි කියලයි මා සිතන්නේ. අනිත් කාරණය වන්නේ මා හුදකලාව වඩාත් ප්‍රිය කරන පුද්ගලයෙක් වීමයි.

අම්මා කිසිම දවසක ඔබ අනිවාර්යෙන්ම විවාහ විය යුතුයි කියන මතයේ සිටිය කාන්තාවක්ද?

මුල් කාලයේ නම් අපේ අම්මාගේ එහෙම අදහසක් තිබුණා. මම මනාලියන් කිහිප දෙනෙක් බලන්නත් ගියා. ඒත් මගේ කේන්දරයේ ගැටලුවක් තිබුණා. ඒ කාලයේ ඒ ගැන ඒතරම් විශ්වාසයක් මට නොතිබුණත්, දැන් නම් මා කේන්ද්‍රය විශ්වාස කරනවා. කෙසේ හෝ විවාහ නොවී වයස ගෙවෙන කොට අම්මට මම කරුණු පැහැදිලි කළා. ඒ අම්මගේම ජීවිතය උදාහරණයකට අරගෙනයි. අම්මා වයසට ගිහින් වුණත් මට මේ තරම් ආදරෙයි නම්, ඉන් ඇයට ගැලවීමක් නැතිනම් මටත් ඒක පොදුයි නේද කියලා මම ඈට පැහැදිලි කළා. මටත් කිසිම දවසක ඉන් ගැලවිල්ලක් නෑ නේද කියලා මම ඇයගෙන් ඇසුවා. ඈ ඒක තේරුම් ගත්තා. ලේලියක් සමඟ පුතා ඉන්නවාට වඩා හැමදාම ඈ ළඟ ඉන්න එක කොයි තරම් වාසියක් ද කියලා අම්මා තේරුම් ගත්තා.

එහෙම නම් ඔබගේ මව ආත්මාර්ථකාමී කාන්තාවක් කියලා යම් කෙනෙකුට සිතුණොත් මොකද ඔබ කියන්නේ?

අනිවාර්යෙන්ම, මගේ අම්මත් ගැහැනියක්. විශේෂයෙන්ම ගැහැනු ආත්මාර්ථකාමී කොටසක් කියලයි මා සිතන්නේ. සමහර විට අම්මට ලැබෙන ආදරය ලේලියක් නිසා බෙදෙනවට ඈ අකැමැති වෙන්න ඇති. එහෙම කියලා මම අම්මට වැරැදි අර්ථකථනයක් දෙන්න කැමැති නැහැ.

බුදු දහමට අනුව ජීවත්වන ඔබ කේන්දර විශ්වාස කරනවා කියන කාරණය හා ඔබ අනුගමනය කරන ප්‍රතිපත්ති අතර තිබෙන්නේ පරස්පර විරෝධී බවක් නේද?

ඒ ප්‍රශ්නය බොහොම වැදගත්. බුදුහාමුදුරුවෝ වුණත් කියලා තියෙන්නේ කේන්ද්‍ර ගැන විශ්වාසයක් තියන්න එපා, ධර්මයේ හැසිරෙන්න කියලා. නමුත් මෙහෙම දෙයක් තිබෙනවා. විවාහ මංගල ඡායාරූප ශිල්පියෙක් විදියට මා දැක්ක දෙයක් තිබුණා. ඒ විවාහ වුණු බොහෝ දෙනෙක්ගේ කේන්දර නොගැලපුණ බවයි. කේන්දරවලින් අපි යන මාවතේ විවිධ ලකුණු දල්වනවා.

අම්ම නැති අඩුව පුරවන්නේ කවුරුන් විසින්ද?

වෙනදා නිවෙසේදී අම්මා කළ හැම දේම කරන්න මට සිදු වෙලා. මගේ අත් උදව්වට ගෝලයෝ හතර දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ සහයෝගය මට ලැබෙනවා. නමුත් ගෙදරට එන බොහෝදෙනා කියන්නේ එදා තිබුණු එළිය අද ගෙදර නෑ කියලයි. කෑම බීම සම්බන්ධ කටයුතුවලදී නම් කාගේ හරි උදව් අවශ්‍ය බව හැඟෙනවා.

බිරිඳක් ඉන්නවා නම් හොඳයි කියලා එතකොට හිතෙන්නේ නැද්ද?

බිරිඳක් ඉන්නවා නම් හොඳයි කියලා හිතෙන්නේ එතකොටයි. නමුත් ඔවුන්ගේ අර පරිස්සම් පිළිබඳ සිතන කොට ඒ අදහස් වෙනස් වෙනවා.

සමාජයේදී ඔබට මුණ ගැසෙන හිත මිතුරන්ගේ දරු මල්ලන් දකින කොට ඔබට දුකක් පහළ වෙනවාද?

* ඒ වගේ අවස්ථාවලදී දුකක් හිතෙන්නේ නැතිවමත් නොවෙයි. ගායක – ගායිකාවන්ගේ දරුවන්, ඔවුන්ගේ පියවරුන්ගේ ගීත කියන කොට, මටත් දරුවෙක් හිටියා නම් කියලා හිතෙනවා. ඒ මගේ හඬ දිගටම ඔහු අරන් යාවිය කියන අදහස ඇතිවන නිසයි. ඒක තමයි මගේ ජීවිතයේ ඇති වෙලා තිබෙන එකම දුක වෙන්නේ. ඒ මොනව වුණත් මේ සියල්ල අතහැර දමා විදර්ශනා වැඩිය යුතු බවත් හිතනවා. නිවන සොයා ගැනීමයි උතුම්ම ලාභය වෙන්නේ.