වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සංස්කරණය හැර දමා ඩෙන්සිල් නික්ම ගියේය

සංස්කරණය හැර දමා ඩෙන්සිල් නික්ම ගියේය

වැහිබර සීතල නත්තල් මාසය උදා වූවා පමණි. ඒ දෙසැම්බරයේ හතර වැනිදාය. හිරිගඩු පිපෙන සීතල සමඟින් උදා වූ දවස අන්ධකාර වැහිබර පාළු බවකින් වැසී ගිහින්ය. මේ පාළු බව අතරින් උදෑසනම කාර්යාලයෙන් අසන්නට ලැබුණේ ශෝකජනක පුවතක්ය. ඒ සිංහල සිනමාවට සිටි දක්ෂ සංස්කරණ ශිල්පියකුගේ අභාවය පිළිබඳ පුවතය. ඒ ඩෙන්සිල් ජයවීරය. මේ අති දක්ෂ නිර්මාණශීලී සංස්කරණ ශිල්පියා 1948 ඔක්තෝබර් විසිහත් වැනිදා උපත ලැබුවේ කලා පසුබිමක් ඇති පවුලක පිරිමි දරුවකු ලෙසින්ය. හැටේ දශකයේ සිටි රංගන ශිල්පිනියක වූ ලලිතා අල්මේදා ඔහුගේ සිනමා ගමනට අඩිතාලම දැමුවේ හැඳල විජය චිත්‍රාගාරයට ඔහුව කැටුව යාමත් සමඟිනි. ඒ 1969 ජුනි 29 දිනයි. ඒ වන විට විසි එක් හැවිරිදි වියෙහි පසු වූ ඩෙන්සිල්ගේ මුල්ම රැකියාව වූයේ රජයේ මුද්‍රණ ආයතනයෙහි පොත් බඳින්නකු ලෙසය.

තම වැඩිමහල් සොයුරියගේ මඟ පෙන්වීමෙන් හැඳල විජය චිත්‍රාගාරයට නිතර ආ ගිය ඩෙන්සිල් තරුණයා දෙස විමසිල්ලෙන් සිටි එවකට දක්ෂ සංස්කරණ ශිල්පියකුව සිටි ජයතිස්ස දිල්ලිමුණිගේ මඟ පෙන්වීමෙන් රජයේ මුද්‍රණාලයට ආයුබෝවන් කී ඩෙන්සිල් සහාය සංස්කරණ ශිල්පියකු ලෙස චිත්‍රපට කර්මාන්තයට අත්පොත් තැබුවේය. ඒ ජයතිස්ස දිල්ලිමුණිගේ සහායකයා ලෙසිනි. සැලකිය යුතු කාලයක් චිත්‍රපට තිහකට වැඩි ප්‍රමාණයක සහාය සංස්කරණ ශිල්පියා වූ ඩෙන්සිල්, මද කලක් සංස්කරණ කාර්යයෙන් මිදී නිවෙසේ ගත කළේ කාර්යබහුල ජිවිතයෙන් මිදෙන්නට සිතාගෙනය.

1973 දී නැවත සහාය සංස්කරණ ශිල්පියා වෙනුවට කඳපොළ කුමාරතුංග ගේ ‘දයාබර නිලු’ චිත්‍රපටයේ ප්‍රධාන සංස්කරණ ශිල්පියා වෙමින් තම සුපුරුදු රැකියාවට එක් විය. සත්කුළු පව්ව, පාරමිතා, මැණික් මාළිගා, දූ දරුවෝ, චෙරියෝ කැප්ටන්, චෙරියෝ සාජන්ට්, ලව් 94, සැලමුතු පින්න, පාර්ලිමන්ට් ජෝක්ස්, ඉට්ස් මැටර් ඔෆ් ලව් ඇතුළු චිත්‍රපට 50 කට වැඩි ගණනක සංස්කරණ ශිල්පියා වෙමින් ලාංකේය සිනමාවට අනුපමේය සේවයක් ඉටු කළේය.

මේ සියලු කටයුතු කෙරෙන අතරතුරදී රෙදිපිළි සම්බන්ධයෙන් ව්‍යාපාර ආයතනයක් ආරම්භ කරන ලද්දේ ඔහුගේ සෙනෙහෙබර බිරිඳ දයා ජයවීරගේ නොමඳ සහාය ලබා ගනිමිනි.

සංස්කරණ ශිල්පයට මඳ ඉසිඹුවක් ලබා දුන් ඩෙන්සිල් පසුගිය වසරේ මාර්තු 9 වැනිදා ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටය පාදක කර ගනිමින් ‘අහංකාර ස්ත්‍රී’ නමින් ටෙලි වෘත්තාන්තයක් ද අධ්‍යක්ෂණය කළේය. වසර ගණනක් සිනමාවේ ලද අත්දැකීම් එම ටෙලි නාට්‍යයට මුසු කිරීමට ඩෙන්සිල් අමතක නොකළේය.

සිනමාවේ හා පුංචි තිරයේ කලා කටයුතුවල නිරත වුව ද ඩෙන්සිල්ගේ ආදරණීය දියණියන් වූ දිල්ෂානි සහ ෂර්මිලා දෙදෙනාට පිය සෙනෙහස නොඅඩුව ලබා දෙමින් සෙනෙහෙබර පියකුගේ වගකීම ද මැනවින් ඉටු කළේය.

පසුගිය ඔක්තෝබර් මස 27 වැනිදා ජීවන මගේ 65 වැනි උපන් දිනය සැමරූ ඩෙන්සිල් තම සෙනෙහෙබර බිරිඳ, දියණියන් හැර දමා නිවන් සුව සොයා ගොසින්ය. විටෙක දයාබර කලාකරුවකු ද, විටෙක සෙනෙහෙබර සැමියකු ද, විටෙක තම දියණියන්ට ආදරබර පියකු ද වූ ඩෙන්සිල් කලා ලොවේ කාටත් හිත හොඳ මිනිසකු විය.

වසර ගණනාවක් තුළ තම ජීවිතයෙන් උසස් මානුෂීය හැඟීම් පළ කළ මේ අපූරු කලාකරුවා විටෙක සරසවියට ද ගොඩ වූයේ ඔහුගේ ටෙලි වෘත්තාන්තයේ තතු කියන්නටය.

ඩෙන්සිල් ජයවීර නම් වූ ඔහුගේ එකම අධ්‍යක්ෂණය වූ අහංකාර ස්ත්‍රී ටෙලි නාට්‍යය තවම විකාශය නොවුව ද ඔහුගේ ගුණ සුවඳ ඒ තුළ රැඳී ඇතිවාට සැක නැතිය.

මල් පූදින්නේ පරවන්නටය. නමුත් පිපුණු මල සුවඳ විහිඳුවා පර වී යන විට දැනෙන හැඟීම අප කාටත් අමතක කළ නොහැකිය. එසේම සිනමා ක්ෂේත්‍රයේ සුවඳ විහිදුවා පරව යන ඩෙන්සිල් ජයවීර නම් වූ මල සිනමාලෝලී අප කාටත් මතක ඉතිරි කරන සුවඳක් වේවි.

අංක 79/12, 14 වැනි පටුමග, නියඳගල, පන්නිපිටිය පිහිටි නිවෙසින් පසුගිය සෙනසුරාදා මුළු ලොව තනිකර ගිය ඩෙන්සිල් ජයවීර සහෘදයාණෙනි, සොඳුරු කලාකරුවාණෙනි, ඔබට සරසවිය නිවන් සුව පතමු.