වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




කරදර ගොනු කොට ගැල පිට පටවා . . .

කරදර ගොනු කොට ගැල පිට පටවා . . .

සංජේ දත්ට කළ කම් පළ දෙන්නේ බොහෝ කාලයක සිටය. ඔහුට පමණක් නොව ඔහුගේ ජීවිතයට සමීප වෙන කාන්තාවන්ට ද උදා වෙන්නේ නරක කල දසාවකි. මුලින්ම මව, ප්‍රවීණ නිළි නාගීස් අග්න්‍යාශයික පිළිකාවකින් මිය ගියාය. සංජේගේ පළමු බිරිය රීචා ෂර්මා මිය ගියේ මොළයේ පිළිකාවකිනි. ඔහුගේ දෙවැනි බිරිය රියා පිල්ලෙයි එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවුණත්, දෙවැනි විවාහ ජීවිතය සිව් වසරකට සීමා විය.

මන්යාතා සංජේගේ තෙවැනි බිරියයි. 2010 වසරේදී ඔවුන් කිරියි පැණියි මෙන් ගත කරන යුග දිවියට එක් වූ අමිල තිළිණය නිවුන් දරුවන්ය. එහෙත් සංජේට සහරාන් පුතු, ඉක්රා දියණිය සහ මන්යාතා සමඟ වැඩිකල් කැදැල්ලේ සතුට බෙදා ගැනීමට ඉඩ ලැබුණේ නැත.

1993 මූම්බායි බෝම්බ පිපුරුමට ඔහු ද වරදකරුවකු වූ නිසා 2013 මාර්තු මාසයේ දී පස් වසරක සිර දඬුවමක් හිමි විය. එහෙත් අසනීප තත්ත්වය හේතුවෙන් ඔහුට දින කිහිපයක නිදහසක් ලැබිණි. පසුගිය මාස තුනේදී සංජේට දෙවරක්ම මෙසේ නිදහස ලැබිණි. දැන් තෙවැනි වරට ද නිදහස ලැබී තිබේ. ඒ මන්යාතාගේ රෝගී තත්ත්වය නිසයි.

මන්යාතාගේ අක්මාවේ ගෙඩියක් ඇති බවත්, ඇයගේ හෘද ස්පන්දන වේගය අක්‍රමවත් බවත් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී ඇත. දින 15 – 20 කදී මන්යාතාගේ බර කිලෝ 10 කින් අඩුවීමත්, පපුවේ දැඩි වේදනාවත් නිසා ඇය ප්‍රතිකාර ගැනීමට යොමු වී තිබේ. රෝගීී තත්ත්ය හෙළි වී ඇත්තේ එවිටයි.

බිරියගේ සුව දුක් බැලීමට සංජේට මහාරාෂ්ට රජයෙන් අවසර දීම ගැන අන්තවාදීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. පියා, නැසී ගිය ප්‍රවීණ නළු සුනිල් දත් කැබිනට් ඇමැතිවරයකුව සිටිය නිසාත්, බාල සොයුරිය ප්‍රියා දත් ද ලෝක් සභා නියෝජිතවරියක වූ නිසාත් සංජේට මෙවැනි නිදහසක් භුක්ති විඳින්නට ලැබී ඇති බවට මේ අන්තවාදි උද්ඝෝෂණකරුවෝ චෝදනා කළහ.

පුවත්පත්වල මන්යාතා ජීන්ස් ඇඳුමකින් සැරසී ‘රම්බෝ රාජ්කුමාර්’ සිනමාපටය නැරැඹීමට පැමිණි ඡායාරූපයක් සහ උපන් දින සාදයකට සහභාගි වූ ඡායාරූපයක් පළ වීම මේ විරෝධතාවට මඟ පෑදීය. එයින් රිපබ්ලිකන් පාක්ෂිකයෝ දේශපාලන වාසි ලබා ගැනීමට සංජේ සිටින පූනේහි යෙරවාදා සිර ගෙදර අබියසදී ඔහුට නිදහස් කාලයක් ලබා දීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළහ. එහෙත් සත්‍ය හෙළිවීම කොයි කවුරුත් නිහඬ කිරීමට හේතු විය. කෙසේ වුවත් මේ සියලු කරදර සංජේ දත්ට නම් ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම හා සමානය. පළමු බිරියගෙන් ලැබුණු අත්දැකීම තෙවැනි බිරියගෙනුත් ඔහුට නොලැබේවායි ඔහුට හිතවත් සැමගේම පැතුමයි.