|
තමන්ට ගැළපෙන්නේ නැති අය ඇසුරු කරන්න එපා අජාසත් කියන්නේ එයයි
ශ්‍රී සුජත චිත්ත ශුද්ධානන්දකර සිනමා ලේඛක විභූෂණ කලාකීර්ති සනත් අබේසේකර
සනත්, අවස්ථා තුනකදී ඔබව අපට හමුවන්නේ ඓතිහාසික සිනමාපට තුනක අධ්‍යක්ෂවරයා වශයෙන්. ඇයි හතරවැන්නත් එසේම වුණේ? මං අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවලට ඓතිහාසික කතා කියනවාට වඩා මං කැමැති බෞද්ධ සිනමාපට ලෙස හඳුන්වනවාට. බෞද්ධ සාහිත්‍ය ඇසුරෙනුයි මං ඒවා නිර්මාණය කළේ. මං වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ එවැනි නිර්මාණ සිනමාවට ගේන්න. ඉදිරියේදිත්? ඔව්. ඊළඟට මං කරන්නේ චූලෝදර මහෝදර. ඔබ හදන්නේ බෞද්ධ සිනමා රැල්ලක් මෙරට නිර්මාණය කරන්න? නැහැ. හැබැයි මෙන්න මෙවැනි අදහසක් නම් තියෙනවා. ඒ බෞද්ධ සිනමා සංස්කෘතියක් ඇති කිරීම වර්තමාන පරපුරේ සිනමාලෝලීන්ට විවිධ චිත්‍රපට නැරැඹිමේ අවස්ථාව තියෙනවා. නමුත් බෞද්ධ චිත්‍රපට දකින්නට අවස්ථාව නැහැ. මට ඕනෑ එවැනි චිත්‍රපට නිර්මාණය කිරීම ඔස්්සේ සිනමාලෝලීන්ව වෙනත් මානයකට ගේන්න. බෞද්ධ චිත්‍රපට තැනීමේ අරමුණ මොකක්ද කියලයි මං ඊළඟට ඔබෙන් අහන්නේ? මගේ චිත්‍රපටයක් හරහා මිනිසාට සෙතක් වෙනවා නම් මට ඒ ඇති. මං මගේ සිනමාපට යොදාගෙන චංචල මිනිසාගේ සිත හදනවා. සිනමාකරුවකු වශයෙන් මගේ වගකීම තමයි ඒක. සිනමාව වගේ ලෞකික මාධ්‍යයකින් පුළුවන් ද මිනිස් සිත නිශ්චල කරන්න? පුළුවන්. මොකද බැරි. මං පෙර හදපු නිර්මාණ නැරැඹූ බහුතරයක් සිනමා ලෝලීන්ගේ නෙතඟට කඳුළු නැංවුණා. එච්චරටම ඔවුන් සංවෙදී වෙලයි මගේ චිත්‍රපට නැරඹුවේ. ශාලාව ඇතුළට ගිය කෙනා නෙවෙයි ඉන් පිටතට ආවේ. ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සෑහෙන පිරිසක් ලැබුවා. විශේෂයෙන් මගේ අනගාරික ධර්මපාලතුමා චිත්‍රපටයෙන් ඒක වැඩි වශයෙන් වුණා. හොඳයි, මහරජ අජාසත් ගාවට අපි දැන් එමු. මොකක්ද ඔබ අජාසත් සමඟින් සමාජයට දායාද කරන්න හදන පණිවුඩය? තමන්ට ගැළපෙන්නේ නැති අයව ඇසුරු කරන්න එපා. එහෙම වුණාම වෙන දේවල් ඉතාමත් අසතුටුදායකයි. මං අජාසත් හරහා ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නේ අන්න ඒ කාරණය. අජාසත් පිටපත ඔබගේ. මොන වගේ අධ්‍යනයකද යෙදුණේ සිනමාපටයෙහි තිර කතාව ලියන්නට පෙර? මං ගියා ඉන්දියාවේ මගධ රාජ්‍යයට. එහි බ්‍රහ්මදත්ත පුරවරය නිරීක්ෂණය කළා. අජාසත් හිටිය කියන ප්‍රදේශය පිළිබඳ අධ්‍යනය කොට ඔහු පිළිබඳ නොපළ තොරතුරු හොයා ගත්තා. ඊට පසුවයි එහි තිර රචනය ලියන්න පටන් ගත්තේ. මට ඒ සඳහා පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් මට අප්‍රමාණව උදව් කළා. චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙර පැරැණි ඉන්දියාවේ ස්වභාවය අපි හැදුවා. කෙටියෙන්ම කිව්වොත් කේමා දේවියෙගේ කොණ්ඩ කට්ට පවා අප අලුතින් නිර්මාණය කළා. අජාසත් සඳහා වැය වූ මුළු මුදල කීයද? ඇත්තටම කිව්වොත් අපි චිත්‍රපටය ඇස්තමේන්තු කළේ කෝටි 2 කට. සාමාන්‍යයෙන් මෙහි නිෂ්පාදක සුනිල් ටී. ඒ මුදල ඇතුළත චිත්‍රපටය නිර්මාණය කරන්නයි වෙනත් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දෙන්නේ. නමුත් මට එහෙම වුණේ නැහැ. අපි චිත්‍රපටය කරන විදිහ බලලා සුනිල් මහත්මයා කිව්වා 'සනත් කීය ගියත් කමක් නැහැ, මට හොඳට වැඩේ කරලා දෙන්න' කියලා.
වාසනාවට අවාසනාවන්ත සිද්ධීන් මුකුත්ම මෙහිදී වුණේ නැහැ. අඩුම තරමේ නළුවෙක් අශ්වයකුගේ පිටෙන්වත් වැටුණේ නැහැ. එහෙම වෙන්න ප්‍රධානම හේතුව මං ෂූටිං පටන් ගන්නට කලින් පිරිත් කීම. අනික චිත්‍රපටයක් කරන්න කළින් මං පේ වෙනවා. ඒ හින්දා කිසිම අයුරකින් ආපදාවක් වුණේ නැති තරම්. ඒ වුණාට රොෂාන් රණවන බුලත් කන්න ගිහින් මොකක්දෝ නස්පැත්තියක් වුණාලු නේද? ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. රොෂාන් රඟපෑ චරිතයට අනුව ඔහුට බුලත් කන්න ඕනෑ. හැබැයි රොෂාන් මීට කළින් බුලත් කාලා නැතිලු. හැබැයි මේ බව ඔහු මට කීවේ නැහැ. කොහොම හරි මට තියෙන බයට ඔහු බුලත් කකා රඟපෑව. අන්තිමේ ඒක ඇලජික් වෙලා බෙහෙත් ගන්නත් වුණාලු. ඔබ ආයේ ටෙලි නාට්‍ය කරන්නේ නැද්ද? ටෙලියක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකත් බෞද්ධ කතාවක් වේවි. ඔබ නිර්මාණය කළ ටෙලි නාට්‍ය හැම එකකම පාහේ ඔබ සුළු හෝ චරිතයක් රඟපෑවා. ඇයි චිත්‍රපටවලදී එහෙම නොවුණේ? චිත්‍රපටයක් කරනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒ බරපතළකම හින්දමයි මං රඟනොපෑවේ. හැබැයි දැන් චිත්‍රපට දෙක තුනක්ම කරලා තියෙන නිසා බයක් නැහැ. ඇතැම් විට ඊළඟ චිත්‍රපටයක මං රඟපාවි. ඒ රඟපාන්න එන්නේ මහේන්ද්‍ර පෙරේරාගේ යෝජනාවකට අනුව. කොහොමද ඔබ නළු නිළියන් තෝරා ගන්නේ? මං තිර රචනය ලියද්දිම මගේ මනසේ නළු නිළියන් මවා ගන්නවා. ඒ අයවම තමයි චරිතවලට ගන්නේ. ඔබට කරදරයක් වුණ නළු නිළියන් කීදෙනෙක් විතර ඉඳලා තියෙනවාද? එහෙම අය කවුද කියලා මං හොඳාකාරවම දන්නවා. ඒ වගේ නළු නිළියෝ මං ගන්නේ නැහැ. නව පරපුරේ නළු නිළියෝ වගකීමෙන් වැඩ කරනවාද? කොහෙත්ම නැහැ. ඔබ දකින විදිහට මොනවද ඊට හේතු? ප්‍රධානම දේ මොබයිල් එක. පැමිණි වෙලාවේ ඉඳලා ෆෝන් එකේ වවුලෙක් වගේ එල්ලිලා ඉන්නවා. අනික වෙලාවක් කිව්වාම ඒ වෙලාවට එන්නේ නැහැ. චරිතයකට අවතීර්ණ කරගන්න හරිම අමාරුයි. ඉතින් කොහොමද හොඳ නළු නිළියෝ බිහි වන්නේ. ඔබට පුළුවන්නේ රීති ටිකක් හදන්න ඔබේ නිර්මාණ තුළදී? හැදුවා. ඒත් හරි ගියේ නැහැ. මට හොරෙන් මොබයිල් එක පාවිච්චි කරනවා. මං එනකොට හංගනවා. ඔය සම්බන්ධව මට හොඳ අත්දැකීමක් තියෙනවා. ඔන්න මං චිත්‍රපටයකට එක්තරා නළුවෙක්ව ගත්තා. ඔහු උදේ ඉඳලා හොඳට තමන්ගේ චරිතය කළා. හදිසියේම ඔහුට තමන්ගේ චරිතය කරගන්න බැරි වුණා. එක සීන් එක ටේක් විසි පහකට විතර ගියා. ඒත් අප්සට්. අන්තිමේ ෂූටිං නැවැත්තුවා. වෙලා තියෙන දේ පසුවයි ආරංචි වුණේ. ඔහුට දුරකථන ඇමතුමක් ඇවිත්. ඔහු එයට පිළිතුරු සපයලා. ඔහු අවුල් වෙලා තියනේනේ එවලේ ඉඳලා. බැලින්නම් ඔහුගේ අනියම් සබඳතාවක් අහු වෙලා. එදා ෂූටිං පැක් කළා. අපරාදෙ නිෂ්පාදකතුමාගේ සල්ලි. ඒ නළුවව මං ආයේ ගත්තෙත් නැහැ. ඔබට මෑතකදී තවත් ගෞරව නාමයක් ලැබුණා කියලා ආරංචියි? ශ්‍රී ලංකා සපරගමු අමරපුර සාමග්‍රී සංඝ සභාවෙන් අමරපුර මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතුවයි මට ඒ ගෞරව නාමය ලැබුණේ. 'ශ්‍රී සුජත චිත්ත ශුද්ධානන්දකර සිනමා ලේඛන විභූෂණ' ලෙසටයි ගෞරව නාමය සටහන් වන්නේ. බෞද්ධ චිත්‍රපට පුනරුදයක් ඇති කිරිම වෙනුවෙනුයි මට එය ලැබුණේ. මහරජ අජාසත් එකවර චිත්‍රපට ශාලා හැත්තෑවක පමණ තිරගත වෙනවා. කොහොමද එහෙම වුණේ? එයට මූලිකත්වය ගත්තේ සුනිල් ටී. මහත්මයා. ඔහු ඊට පිළිතුරු ලබා දේවි. තමන් වියදම් කළ මුදල හොයා ගන්නත් ඕනනේ. ඒ වගේම ඔහු ප්‍රචාරණය සඳහා තවත් කෝටි ගාණක් වැය කරනවා. මේ වෙලාවේ සුනිල් ටී. මහත්තයාව ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඔබ ගැන මං එක්තරා රස කතාවක් අහලා තියෙනවා. ඒ චිත්‍රපටයක රඟපෑමේ ආශාවෙන් ගැහැනු ළමයකු බදාගෙන හිටියයි කියන පුවත. ඒ විතරක් නෙවෙයි ඔබ ඒ වෙනුවෙන් රුපියල් සියයක මුදලකුත් ගෙව්වලු? ඔය සිද්ධිය වුණේ 78 විතර. මගේ ගම පේරාදෙණිය. ඒ කාලේ නළු උණ ඉතාම තදින් තිබුණා. ආරංචියක් ආවා චිත්‍රපටයකට නළු නිළියන් ගන්නවා කියලා. නුවර ටොපෑස් හෝටලයේ තමයි ඉන්ටර්වීව් තිබුණේ. මාත් ගියා. මට කරන්න තිබුණේ එතන හිටපු ගැහැනු ළමයෙක්ම බදාගෙන ඉන්න එක. ඊට පස්සේ අධ්‍යක්ෂවරයා කිව්වා 'ඔබව චිත්‍රපටයට තෝරා ගත්තා, රුපියල් 100 ක් දීලා ලියාපදිංචි වෙන්න' කියලා. මම දුන්නා සල්ලි. ඒ කාලේ රුපියල් 100 ක් කියන්නේ ඉතාම විශාල මුදලක්. මට ලියුමක් එවන්නම් කිව්වා. තාම ලියමන නම් ආවේ නැහැ. ඒ ලියුම එනකම් මං තවමත් බලාගෙන ඉන්නවා.
|