|
||
අපේ කාලයේ නිර්මාණයන් ගැන කතාකරන විශේෂාංගයආලෝකය සහ අඳුර සේයාරුවක් කිරීමේ කලාව - Fan Ho
තමන් වෙත එළැඹි ආලෝක කදම්බය ගැන ඇගේ තැකීමක් නෑ. ඈ ඔහේ තමන්ගේ කල්පනාවක පසුවෙනවා. නමුත් සේයාරුව දකින අපේ හිත පෑරෙනවා. ඒ සේයාරුව තුළින් මතු කරන ශෝකය හෝ කනස්සල්ල නිසා නොවේ. ඒ සේයාරුව නරඹන්නා තුළ ඒ වෙනකොටත් හටගෙන තිබෙන ශෝකී කනස්සල්ල නිසායි. ෆැන් හෝ සේයාරුවක් ගැනීම මඟින් සෙස්සන්ගේ හැඟීම් හැංගිච්ච තැන්වලින් එළියට ඇදලා ගන්න ස්වරූපයකුයි මට පේන්නේ. බොහෝ විට වීදි ජීවිතය කැමරාවෙන් අල්ලා ගන්නයි ඔහු උත්සාහ කරන්නේ. හොංකොං හි ජන ජීවිතය ඔහුගෙ කැමරාවට හසු වන්නේ තරමක් වෙනස්ව. ඔහුගෙ කැමරා කෝණ වෙනස්. ඔහු ආලෝකයෙනුයි වැඩ ගන්නේ. අඳුර එක්කයි ගිවිසුම් ඇති කරගෙන තියෙන්නේ. කළු-සුදු සහ දුඹුරුවෙන් ඉදිරිපත් කරන මේ ඡායාරූපවල චලන චිත්‍රයක තරම් දිග කතාවක් තිබෙනවා. චීන අකුරු පුවරු සහිත වීදියක උඩුකයට බැනියමක් ඇඳී මිනිසෙක් රික්ෂෝවක් තල්ලු කරගෙන යනවා. ඔහුගේ වම් පැත්තෙන් කාරයක සෙවනැල්ලක් ඉතා දිගුවට වැටී තිබෙනවා. ඉර එළිය මුළු ඡායාරූපය පුරාම විසිරිලා තියෙන්නේ දිය සායම් චිත්‍රයක වාගෙයි. ඔහු ඒ සේයාරුව හදුන්වලා තියෙන්නේ ‘A Day is Done’ කියලයි.
ඊළඟට මගේ ඇස කිතිකවපු පින්තූරය ඔහු නම් කරලා තියෙන්නේ ‘Back to Back Comic’ නමිනුයි. තට්ටු නිවාසයක සමාන්තරව ඇති ජනෙල් පේලි කිහිපයක් යට බිම වාඩි වී, දෙපැත්තට හැරී කියැවීමේ නිරත කුඩා ගැහැනු ළමයකු සහ පිරිමි ළමයකු තමයි මේ සේයාරුවේ ඉන්නේ. සෙසු වීදි ඡායාරූපවල පොදුවේ දකින්නට හැකි වේගය සහ ජීවිතයේ දුක්බර බව ඔහු පෙන්වන්නේ ඔහුටම ආවේණික ආකාරයකින්. ඔහු ඡායාරූපවලින් සැඟවුණ අරුත් ඇති කවි ලියනවා වාගෙයි. බැලූ බැල්මට යමක් නොහඟවමින් පින්තූරය ඇතුළට ගිලා බසින්නට ෆැන් හෝ ඔබට ආරාධනා කරනවා. ෆැන් හෝ උපන්නේ 1937 ඔක්තෝබර් 08 වැනිදා ෂැංහයි නුවරදි. කුඩා කාලෙම පවුලේ අය සමඟ හොංකොං වෙත සංක්‍රමණය වුණ ෆැන් හෝ ඡායාරූප ගන්න පටන් ගත්තේ කුඩා කාලෙදිමයි. ඒ ඔහුගේ පියා තෑගි දුන් රොලෙෆ්ලෙක්ස් කැමරාවකින්. ඔහු ඡායාරූප ගන්න තනිවම ඉගෙන ගත් කෙනෙක්. වීදි ජීවිතය, වෙළෙඳපොළ, කුඩා මුඩුක්කු සහ නගර ජීවිතය ඔහුට ඡායාරූප ගන්න යම්කිසි පෙළඹවීමක් ඇති කළා කියලයි ඔහු හිතන්නේ. මේ කුඩා වයසෙන්ම සේයාරූ ගන්න හුරුවුණ නිසා ඔහු තමන්ගේ පින්තූරවල නෙගටිව්පට සකසන්න යොදා ගත්තේ පවුලේ අයගෙ නාන බාල්දියයි. හොංකොං හි 1950-1960 ජන ජීවිතය තමයි ඔහු අල්ලා ගත්තේ. නාගරීකරණයට ලක් වෙමින් පැවතුණ නිසාම මේ ගන්ධබ්බ අවදිය ඔහුට කදිම සේයාරූ ගොන්නක්ම තෑගි කළා.
‘‘Afternoon chat’ 1959දී ගත් සේයාරුවක්. කාන්තාවන් දෙපොළක් කතාබහක නිරත වෙමින් ඉදිරියෙන් ඇති පඩිපෙළක් වෙත ගමන් කරනවා. ඊට ආසන්නයෙන් තවත් කාන්තාවක් සිටිනවා. තවත් කිහිප පොළක් පඩිපෙළෙන් බැස එනවා. ආලෝකය ඔවුන්ගේ හිසට උඩින් දිළිසෙනවා. දිය සායම් චිත්‍රයක ගතිගුණ නැවතත් ඔහු උකහාගෙන වගෙයි. නැවතිල්ලේ එදෙස බලා ඉන්නට ඔබව පොළඹවන්නේ අන්න ඒ ආලෝක කදම්භ ආදිය ඔහු තමන්ට ඕනෑ ආකාරයට දමනය කරගන්න දන්නා ගතිය නිසයි. කාලානුරූපීව සෙසු ඡායාරූප ශිල්පීන්ගෙන් වෙන්කොට ෆැන් හෝ ව හඳුනාගත හැක්කේත් මේ කාරණය නිසාමයි. ඔහු විසින් අන්තර්ජාතිකව ලබාගෙන ඇති සම්මාන සංඛ්‍යාව 280ක් වනවා. ඒ අන්තර්ජාතික සේයාරූ ප්‍රදර්ශන සහ තරඟ වෙනුවෙනුයි. එපමණක් නොව හෙතෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ නළුවකුද වනවා.
2003 වසරේදී ලෙයිකා ලයිකර් විසින් තම වෙබ් අඩවියට කළ සම්මුඛ සාකච්ඡාවකදී කියන්නේ තමන් පින්තූර ගැනීමට භාවිත කරන්නේ එක කැමරාවක් බවයි. 'මම නිකං ගොපළු මිනිසෙක් වගෙයි. සරලව හැසිරෙන්නයි ආසා. අනික කැමරා දෙකක් උස්සගෙන යන්න මම කැමති නෑ. ඒක කරදරයි. අනික අනවශ්‍ය බරක්. ඊට වඩා මං කම්මැලියි.'
වීදි ඡායාරූප ශිල්පියකුට වීදි ආහාර පිළිබඳ කැමැත්තක් තිබිය හැකි යැයි අනුමාන කළත් ඔහු වීදි ආහාර ප්‍රිය නොකරයි. සේයාරූ සංස්කරණයට ෆොටෝෂොප් සහ ලයිට් රූම් මෘදුකාංග භාවිත කරයි. ලෙයිකා ඊළඟට අසන පැනයට මම ආසා ඇත්තෙමි. 'ඡායාරූප ගන්නකොට ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන දිනයක් හෝ වෙලාවක් තියෙනවද? එහෙමත් නැත්නම් ඕනෑම දවසක්, වෙලාවක් හොඳයි කියලද ඔබ හිතන්නේ?' 'මං කැමතියි ඉර යාන්තමින් බැහැගෙන යනවට. එතකොට මට දිග සෙවනැලි සහිත පින්තූර ලැබෙනවා' 'ඇයි ඔබ විදි සේයාරූ ගැනීම තෝරා ගත්තේ?' 'ඇත්තටම වුණේ වීදි සේයාරූ ගැනීම විසින් මාව තෝරා ගැනීමයි. මං චිත්‍රපට පිස්සෙක්. කතා කීමට තිබ්බ වුවමණාව තමයි මාව ඡායාරූප ශිල්පියෙක් කළේ. ඊටත් වැඩියෙන් මට වැළඳුණු ඉරුවාරදය මාව වීදි දිගේ ඇවිදිමින්, අලුත් හුස්ම ගැනීමට පෙළඹෙව්වා. දොස්තරවරු අනුමත කළේ එහෙමයි. මෙහෙම ඇවිදින අතරෙයි මං ඡායාරූප ගත්තේ.' වචන බොහොමයක් නාස්ති කිරීමෙන් සිදු විය හැකි අනර්ථය වළකන්නට ෆැන් හෝ ගේ සේයාරූ ගොන්නක් කියැවීමය ඊළඟට මම ඔබට ආරාධනා කරමි. අඳුර, ආලෝකය සහ සෙවනැලි අතර ඉමහත් ශෝකයක් වූයේ නම් එයද ඔබේ ළඟම තබා ගන්නට කියමි. |
||