වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරයේ මිහිරිම මොහොත ළඟ නවතිමු !

ආදරයේ මිහිරිම මොහොත ළඟ නවතිමු !

අලුත් ආරක වෙනස් ගීයක්...

මහාචාර්ය සුනිල් ආරියරත්න, කසුන් කල්හාර, නිරෝෂා විරාජිනී තුන් ඈඳුනු සුසංයෝගය

ගීතය යනු චිත්‍රපටයට අනිවාර්යය හෝ අත්‍යාවශ්‍ය අංගයක් නොවන බව සැබෑය. එහෙත් ගීතවලින් තොර සිනමාවක් පිළිබඳ සිතන්නට පවා නොහැකි තරමට අපේ සිනමාව හා ගීතය එකිනෙකට බද්ධ වී ඇති බවද ඒ තරමටම සත්‍යයකි. එනිසාවෙන්ම “කඩවුණු පොරොන්දුව“ නමැති මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටයේ සිට මෙ දක්වාම විචිත්‍රවත් වූ ගීත කලාවක් සිනමාව හරහා අපට උරුම වී තිබේ. ගීතය, සිනමාව කෙරෙහි ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනුමට කෙතරම් දුරට බලපෑම් කළාදැයි කියතොත් ඇතැම් චිත්‍රපටවල සමස්ත කතා පුවතට වඩා වැඩි ඉඩකඩක් වෙන් වූයේ චිත්‍රපටයේ ගීත සඳහාය. ගීත නිසාවෙන්ම ජනපි‍්‍රයත්වයට පත් වූ චිත්‍රපට අපේ සිනමාවේ විරළ නැත.

එනිසාවෙන්ම සිනමාව හා ගීතය අතර ඇත්තේ අත්‍යන්ත වූ සබැඳියාවකි. එහෙත් එකදු ගීතයක් හෝ නොමැති චිත්‍රපටයක් නරඹා ඉන් ප්‍රකම්පිතව තමා ලද සිනමාරූපී අත්දැකීම ඔස්සේ යමෙක් ගීතයක් රචනා කිරීමට පෙළඹෙන්නේ නම් එය අපට අලුත් අත්දැකීමකි. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ඔබ නැතිව ඔබ එක්ක” සිනමාපටය නැරඹූ එක්තරා තැනැත්තෙකු හට ඒ පිළිබඳ ගීතයක් රචනා කරන්නට සිතක් පහළ වූයේ නිරායාසයෙනි. ඔහු අන් කවරකුත් නොව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. ගීතයේ වදන් පෙළ මෙපරිද්දෙනි.

ආදරයේ
මිහිරිම මොහොත ළඟඳී නවතිමු
ඊළඟ මොහොතට ඉඩ නොදී

ගලන ගඟ වියලෙන්න කලින්
නැඟුණු සඳ බැසයන්න කලින්
පිපුණු මල පරවෙන්න කලින්
නවතිමු

ගැයූ ගී නිම වෙන්න කලින්
සිනා රැලි ගිළිහෙන්න කලින්
කඳුළු දෙනෙතට එන්න කලින්
නවතිමු

ඕනෑම නිර්මාණයක් බිහිවීමට කිසියම් හේතු ප්‍රත්‍යයක් අවැසිය. මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ ඒ පිළිබඳ පසු කථනයක යෙදෙන්නේ මෙපරිද්දෙනි.

ගෝවේ පැවැති ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල්දී තමයි මම “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටය හා හා පුරා නැරඹුවේ. මා එම සම්මාන උළෙලට සහභාගි වූයේ ප්‍රසන්න ගේ මිතුරෙක් විදිහට. මේ චිත්‍රපටය මා තුළ මහත් විශ්මයක්, කම්පනයක් ඇති කළා. මම හිතන්නේ හොඳ කලා කෘතියකින් සිදු වෙන්නෙත් ඒකයි. ඒ කම්පනය තුළින් තමයි මේ ගීතය බිහි වෙන්නේ. මේ චිත්‍රපටයේ තේමාව වචනවලට නැඟුවොත් මම හිතන්නේ එහි යථාර්ථය තමයි මේ ගීතයේ තියෙන්නේ. චිත්‍රපටය නැරඹූ දා රාත්‍රියේම මම මේ ගීතය ලිව්වා. අපි නැවතී සිටියේ එකම හෝටලයක. පහුවදා මම ඔහුට මේ පදවැල පෙන්වා ඇහුවා “ඔබේ චිත්‍රපටයේ තේමාව වචනවලට නැඟුවොත් එහි අර්ථය මේ වගේ නේද” කියලා. ප්‍රසන්න එය අනුමත කළා. එහෙම තමයි මේ ගීතය ලියවුණේ. මේ චිත්‍රපටයට විචාරකයන් හා ප්‍රේක්ෂකයන් විවිධ අර්ථකථන දෙයි. නමුත් මේක ඇත්තටම ආදර කතාවක්.

මේ චිත්‍රපටයේ ගීත නැහැ. එතකොට සංගීතය භාවිතකර තිබෙන්නෙත් ඉතාම අඩුවෙන්. මේ චිත්‍රපටයේ ප්‍රකාශ වන ආදරය සම්බන්ධයෙන් නිරායාසයෙන් එහෙම මා අතින් ගීතයක් ලියවුණා. මේ ගීතයට මොකක්ද වෙන්නේ, එහි අනාගත ඉරණම කුමක් වේවිද කියන එක මම දැනගෙන හිටියෙ නෑ. මේක අනිවාර්යයෙන්ම “ඔබ නැතිව ඔබ එක්ක” චිත්‍රපටයේ ගීතයක් නෙවේ. මේක අමුතු ගීතයක්. මේ ගීතය ලියවිලා දැන් අවුරුදු දෙක තුනක් ඇති.

කොහොම හරි චිත්‍රපටය ප්‍රදර්ශනයට ආසන්න වෙද්දී ප්‍රසන්නට අදහසක් ආවා මේ ගීතය චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් හැටියට භාවිත කරන්න. ඔහු මගෙන් ඇහුවා එහෙම කළාට කමක් නැද්ද කියලා. මම ඒකට කැමැති වුණා. ඊළඟට ප්‍රසන්න ඇහුවේ කවුරු මේකට සම්බන්ධ වුණොත් කැමැතිද කියලා. මම කිව්වා මේකට හොඳ තනුවක් යොදයි කසුන් කල්හාර, මේක හොඳට ගායනා කරයි නිරෝෂා විරාජිනී. ඒකට ප්‍රසන්නත් කැමැති වුණා. ඒ විදිහට තමයි මේ ගීතය බිහිවුණේ. මට හිතුණා මෙය චිත්‍රපට ගීතයක් නොවුණත් එහි තේමාවට ගැළපෙන අයුරින් කසුන්ට මේ තනුව නිර්මාණය කරන්නට හැකිවෙයි කියා. ඔහුත් මේ චිත්‍රපටය නැරඹුවා. නිරෝෂා ඉතා හැඟීම්බරව එය ගායනා කළා. මම හිතන්නේ මේ ගීතය ළඟදීම සමාජ වෙබ් අඩවි හරහා නරඹන්නට පුළුවන් වේවි.

ඇත්තටම මේක ප්‍රචාරාත්මක ගීතයකුත් නෙවෙයි. “ඔබ නැතිව ඔබ එක්ක” කියන වචන කොහෙවත් කියවෙන්නෙ නැහැ. යම් යම් අවස්ථාවල අපට හිතෙනවා ජීවිතය මෙතනින් එහාට යන්නෙ නැතිව එහෙමම ගල් වුණොත්, එතනම නැවතුණොත් කොච්චර අගේද කියලා. ඒ කියන්නේ අපි දන්නෙ නැහැ ඊළඟ මොහොත වේදනාකාරී මොහොතක් වෙයිද කියලා. ඒ නිසා අපට හිතෙනවා ජීවිතේ ඉතාම සුන්දර මොහොතක් ආවාම, ඒ සුන්දර මොහොතේදී අපේ ජීවිත නවතිනවානම් ඉතාම හොඳයි කියලා. ඊළඟ තත්පරයේ දී ඒ සුන්දරත්වය ගිළිහෙන්න පුළුවන්.

මේ චිත්‍රපටයේ දී ප්‍රසන්න චරිත නම් කරලා නෑ. ඔහු හෝ ඇය මිසක් මේකෙ කොතනකවත් තරුණිය, තරුණයා හෝ තරුණයා, තරුණිය හෝ නමකින් ආමන්ත්‍රණය කරන්නේ නෑ. ඒක නිසා ඔහු හෝ ඇය තමයි මේ චිත්‍රපටයේ චරිත. ඉතින් ඔවුනුත් ඔවුන්ගේ ජීවිතයේ විවිධ හැළ හැප්පීම්වලට භාජනය වෙලා එක තැනකදී අති සුන්දර මොහොතට එළඹෙනවා. ඒ මොහොතෙදී ජීවිතය නතර වුණා නම් ඔවුනගේ ජීවිත සුන්දර වෙන්න තිබුණා. නමුත් ජීවිතේ එහෙම නතර වෙන්නේ නෑ.

මේ ගීතය ලියනකොට ප්‍රසන්නගේ චිත්‍රපටය වගේම අශෝක කොළඹගේ නමැති කෙටි කතාකරුවා කාලෙකට ඉස්සරවෙලා ලියපු කෙටි කතාවකුත් මගේ සිහියට ආවා. ඔහු කෙටි කතාවක් ලියලා තියෙනවා “සියල්ල මෙතනින් නැවතියං” කියලා. ඒ කෙටි කතාවේ නම. මට ඒ කෙටි කතාවත් ඒ වෙලාවේ මතකයට ආවා.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක තැන නතර නොවූ ඔහුගේ ජීවිතයේ සොඳුරු නිමේෂයන් පිළිබඳ කිසියම් වූ විස්සෝපයකින් යුතුව මේ ගීතය ලියූවාදැයි කියා මා දන්නේ නැත. කෙසේ වුවත් හිත ගිනි අවුළන, එවන් සොඳුරු අත්දැකීම් මෙවන් වූ රම්‍ය ලීලාවකින් හද බසකට පෙරළිය හැක්කේ අපූර්ව කවීත්වයක් ඇත්තෙකුට නම් පමණෙකි.

සංගීත විෂයය කෙරෙහි සිය වයස ඉක්මවා ගිය පරිණත භාවයකින් යුත් තරුණ සංගීතවේදියා, කසුන් කල්හාර මේ ගීතයේ තනු නිර්මාපකයා ලෙස අප හා සිය අදහස් ප්‍රකාශ කළේ මෙපරිද්දෙනි.

මම ප්‍රසන්න විතානගේ එක්ක මීට කලින් වැඩ කරලා තිබුණේ නෑ. ඔහුගේ නිර්මාණයක් නිසාවෙන් වෙනත් ආකාරයකින් හෝ සම්බන්ධ වෙන ප්‍රථම අවස්ථාව මේක. නමුත් ප්‍රසන්නගේ සිනමාවට බොහොම ගරු කරපු බොහොම ආදරය කරපු කෙනෙක් මම. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන්නේ මාත් සමඟ ඉතාම හිතවත් අපේ පවුලේ සමීපතමයෙක්. ඔහුත් එක්ක නම් මම මීට කලින් වැඩ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රවීණයන් එක්ක මෙවැනි නිර්මාණයකට දායක වෙන්න ලැබීමත් ලොකු සතුටක්. “ඔබ නැතිව ඔබ එක්ක” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹා තමයි මම මේ ගීතය හැදුවේ. පස්සේ තමයි චිත්‍රපටය නැරඹුවේ. නමුත් අර මම කරපු මියුසික් ෆිල්ම් එකට හරියටම ගැළපී තිබුණා. ඒක තහවුරු වුණේ චිත්‍රපටය නැරඹුවාට පස්සේ.

ඇත්තටම මේක චිත්‍රපටයට ඇතුළත් ගීතයක් නොවුණාට ඒ ෆිල්ම් එක නියෝජනය කරන ගීතයක් වුණා. මහාචාර්යතුමා, ප්‍රසන්න හා මම බලාපොරොත්තු වුණ කලර් එකට වඩා හොඳ කලර් එකක් එකතු වුණා කියලා මට හිතෙනවා. ඔවුන්ගේ අදහසත් එහෙමයි. සාපේක්ෂව මම නම් බොහොම තෘප්තිමත්.

හමුදා සෙබලෙක් වෙලා හිටපු තරුණයකුගෙයි, දෙමළ තරුණියකගේයි ප්‍රේම කතාවක් එක්ක යන චිත්‍රපටයක් මේක. ඒ ගොල්ලන්ගේ ජීවිතයේ නොයෙක් නොයෙක් තැන්වලට ආවාට පස්සේ ජීවිතය දිහා බලන විදිහ හරිම සංවේදීයි. සානුකම්පිතයි. මේ සියලු භාවයන් ගීතය මගින් දන්වන්න පුළුවන් ආකාරයේ කාර්යයක් තමයි මට කරන්නට තිබුණේ. නිරෝෂාගේ ගායනයේදී පොඩි දෙමළ ඌරුවක්, ටැමිල් ඇක්සන්ට් එකක් භාවිත කරන්න අපි හිතුවා. එහෙම වුණාට ඒක දැනෙන්නේ නෑ. හිතාමතාම චූටි ටැමිල් ඇක්සන්ට් එකක් මම එකතු කළේ.

“ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලක්ෂ්මන් ජෝශප් ද සේරම් නේ. එතකොට ලක්ෂ්මන් ගේ මියුසික් ලයින් එකට ගැළපෙන්නත් ඕනෑ. ඒ හින්දා මම වෙස්ටන් ක්ලැසිකල් මියුසික් යොදා ගත්තා. අපි ඒකට කියන්නේ බැල(ර්)ට් කියලා. ඒ වගේම කර්නාටික් මියුසික් වලිනුත් යම් යම් දේවල් එකතු කළා. ඒ සංකල්පය තුළ තමයි මම මේ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළේ. මේ ගීතයේ රූප රචනය කළේ ඉල්ලාම් හුසේන්. ඇත්තටම ඔහුත් ලොකු දායකත්වයක් දුන්නා මේ මියුසික් වීඩියෝව නිර්මාණය කරන්න.

නිරෝෂා විරාජිණියගේ මියුරු හඬ ලාලිත්‍ය මේ ගීතයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වූ සාධකයක් බව ඉඳුරාම පැහැදිලිය. ඇය මේ අපූර්ව නිර්මාණ කටයුත්ත පිළිබඳ කතාබහ කරන්නේ අතිශය තෘප්තිමත් හැඟීමකිනි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනයක් මට නැවත වතාවක් ගායනා කරන්නට ලැබීමම සතුටක්. හරි ලස්සන, සුන්දර වදන් මේ ගී පදවලට ඇතුළත්ව තිබෙනවා. දුකක් තිබුණට, දුකක් නෑ වෙන්නත් ඕනෑ. සතුටක් තියෙනවා. නමුත් සතුටක් නෑ වෙන්නත් ඕනෑ. මේ වගේ නිකං හැමදේකම තියෙන දේයි, නැති දේයි අතරේ මැදක ඉඳන් තමයි මේ ගීතය මම ගායනා කළ යුතුව තිබුණේ. මේක දෙවැනි පාරටත් මට වොයිස් කරන්න වුණා.

ප්‍රසන්න අයියට ඕනෑ වුණා දෙවැනි අන්තරා කොටසේ තව චුට්ටක් සතුටු ගතිය ඇති කරන්න. චිත්‍රපටයේ කතාවත් එක්ක යනකොට සිංදුවේ තියෙන තේරුමට වඩා වෙනත් එකක් එන්නේ. හැබැයි මේ සිංදුවෙන් දැනෙන්න ඕනෑ ‘අපිට මේ මොහොත විතරයි ලැබිලා තියෙන්නේ, ඒ වෙලාවේ අපි හොඳින් ඉම්මු’ කියන එක. ඒ කියන්නේ ඊළඟ මොහොතේ ඒ සතුට නෑ කියලා දන්නවා. අපිට ලැබිලා තියෙන මේ මොහොතේ අපි සංතෝෂයෙන් ඉම්මු කියන දේ තමයි මේ මුළු ගීතය පුරාවටම තියෙන්නේ. ඉතිං ඒක චිත්‍රපටයේ කතාවත් එක්ක ගලාගෙන යනකොට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්.

කවුරු හරි අහනකොට හිතෙන්නේ මේක හරි ආදරබර ගීතයක් කියලා. නමුත් වෙන ගැඹුරු අර්ථයක් එතනින් උත්පාදනය වෙන්නේ. ආදරය තමයි ඒත් ඒ ආදරය එක්ක සියලු දේ නැතිවෙනවා තව මොහොතකින්. ඒ අනිත්‍යය උද්දීපනය වෙන අයුරින් තමයි මේ ගීතය ගයන්න සිද්ධ වුණේ මට. දකුණු ඉන්දීය ගායන ශෛලියකුත් මේකට මිශ්‍ර කරලා තියෙනවා. ඒ තරුණිය දමිළ තරුණියක්නේ. ඇය ආදරය කරන්නේ සිංහල තරුණයෙකුට. ඒ සංස්කෘතීන් දෙක තමයි මිශ්‍ර කරලා තියෙන්නේ මේ සංගීතයට. ඉතින් එහෙම වෙනම දෙයක් කරන්න උත්සාහ කරලා තියෙනවා සහ මම හිතනවා ප්‍රසන්න අයියා ඉතාම සතුටු වුණා මේ ගීතය සම්බන්ධව. තව ටික දවසකින් මේ විෂුවල් එක බලන්න පුළුවන් වේවි.

විශේෂයෙන්ම කසුන්ගේ තනුව හා සංගීතය ගැනත් යමක් කියන්න ඕනෑ. අමුතු තැන්වල තමයි කසුන් ඒ තනුව හදලා තියෙන්නේ. ඒ දේවල් එක්ක අර හැඟීම එකතු කරන්න කසුන් උත්සාහ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ සීයට සීයක්ම එයාට ඕනෑ හැඟීම මගෙන් ගන්න උත්සාහ කළා. ලස්සන වැඩක්. ඒ වගේම ප්‍රසන්න අයියාත් නිර්මාණයට මෙහෙම හරි සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි ඉතින්.

රූප රචනය වත්මන් සංගීත ක්ෂේත්‍රයේ අතිශයින්ම ජනපි‍්‍රය අංගයක් සේම නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබේ. මෙම ගීතයේ රූප රචනය සඳහා දායක වී ඇත්තේ ඉල්ලාම් හුසේන් සහ තවත් තරුණයන් දෙදෙනෙකි. මේ ඉල්ලාම් අප හා එක් වූ අයුරුය.

මේ මියුසික් වීඩියෝ එක කරන්න දිමුතු කාලිංග හා සිතුම් සමරජීව මට සහාය වුණා. ඇත්තෙන්ම අපි තුන්දෙනාගෙන් සමන්විත කණ්ඩායම තමයි මේ වැඩේ කළේ. මියුසික් වීඩියෝ එකක් ෆිල්ම් එකක් වෙනුවෙන් කරන එක අලුත් දෙයක් නොවේ. ඒක කාලයක් තිස්සේ තිබිලා තියෙනවා. හැබැයි මේ වගේ ඉහළ තලයක ඉඳන් හදපු මුල්ම ප්‍රමෝෂනල් මියුසික් වීඩියෝ එක මේක වෙන්නැති. අලුතින් සෙට් හදලා කරපු පළමුවැනි වතාව වෙන්නැති.

අතුරුගිරිය ප්‍රදේශයේ පරණ වලව්වක සෙට් එක ගහලා තමයි අපි මේ රූගත කිරීම් කළේ. කවදාහරි, කවුරුහරි මේ චිත්‍රපට නරඹද්දී ඒකත් එක්ක බද්ධ වෙන විදිහට තමයි මේ මියුසික් වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ මියුසික් වීඩියෝ එකේ සිංග් කරන්නේ නිරෝෂානේ. එයා සිංග් කරන හැම තැනකම ඒ චිත්‍රපටයේ රූප රාමු එක්ක ලින්ක් වෙන විදිහටයි අපි මේක නිර්මාණය කර තියෙන්නේ. චිත්‍රපටයේ රූප රාමු කිහිපයක් හැරුනාම නිරෝෂා සිංග් කරන ෂොට් ටිකක් විතරයි මියුසික් වීඩියෝ එකේ තියෙන්නේ.

ප්‍රසන්න විතානගේ මහතා අපට පූර්ණ නිදහස දුන්නා මේ මියුසික් වීඩියෝ එක අපට ඕනෑ විදියට කරන්න. එයා ඇඟිලි ගහන්නේ නෑ කියලා. ඊට පස්සේ තමයි අපි වැඩේට බැස්සේ. අවුට් පුට් එක හොඳටම ආවා.