වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




V. I. P  සුන්දර බණ්ඩා 23දා බොරුල්ලට එයි

සුගත් සමරකෝන් ආපසු වේදිකාවට

V. I. P  සුන්දර බණ්ඩා 23දා බොරුල්ලට එයි

ප්‍රවීණ අධ්‍යක්ෂ සුගත් සමරකෝන්ගේ විප්ලවීය මෙන්ම හාසේ‍යීත්පාදක නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන 'V. I. P සුන්දර බණ්ඩා' නාට්‍යයේ අගනුවර මංගල දර්ශනය මේ මස 23 වැනි ඉරිදා 6.30 ට බොරැල්ල වයි. එම්. බී. ඒ. රඟහලේදී වේදිකා ගත වෙයි.

මෙම වේදිකා නාට්‍යයේ ජනප්‍රිය රූපවාහිනි රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන සමඟ සංජය සමරකෝන් ප්‍රධාන චරිත සඳහා පණ පොවන අතර ඔවුන් වේදිකා රංගනයකට එක් වන්නේ ප්‍රථම වතාවටය. ඔවුන් මෙන්ම මෙහි රින්ස්ලි වීරරත්න, චන්දු ඉඹුලාන, රංජිත් විතාරණ, නලින් ගරුගේ, සුරංග චන්ද්‍රසිරි, ලසන්ත සමරකෝන්, නෝබට් පෙරේරා, ෆිලීෂියන් පෙරේරා, ප්‍රියංග විශ්වජිත්, වසන්ති සෙනරත්, ප්‍රියා විතානාරච්චි, සත්‍යා ලක්මාලි ආදී රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙයි. සංගීත නිර්මාණයෙන් රමේෂ් ජයසිංහත්, අංග රචනයෙන් කවින්ද චතුරංගත්, වේදිකා පරිපාලනයෙන් නෝබට් පෙරේරා සමඟ සුරංග චන්ද්‍රසිරි සහාය වෙති. වේදිකා කළමනාකරණය නලින් ගුරුගේ ගෙනි. විදුලි ආලෝකකරණය සුනිල් සමරකෝන්ගෙනි. V. I. P සුන්දර බණ්ඩා සමන්ත වීරකෝන්ගේ නිෂ්පාදනයකි.

ප්‍රවීණ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් උතුරේ රාහුල හිමි, කමාන්ඩෝ දියසේන ආදී 80 දශකයේ ජනප්‍රිය වූ වේදිකා නාට්‍ය රැසක් මෙන්ම මෑත කාලයේ සිනමාවට විජය කුවේණි, ඇහැලේපොල කුමාරිහාමි හා තිරගතවීමට නියමිත ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් පැමිණියෙකි. 'අපේ කාලයේ පටාචාරා' චිත්‍රපටයේද නිර්මාණකරුවාය.