වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ යයි නම් තනිව අන්ධකාරේ

ඔබ යයි නම් තනිව අන්ධකාරේ

55 සිනමාව ගැන 15 දී හැරී බලමු

අපේ කතානාද ඉතිහාසයේ බිහි වූ හොඳම ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපට අතරින් දහයක් තෝරන්නට යැයි මට පැවසුවහොත් මා එයට අනිවාර්යෙන් එකතු කර ගන්නා චිත්‍රපට අතරට මාතලන් එක් වනු ඇත. ප්‍රධාන ප්‍රවාහය යැයි මා සඳහන් කරන චිත්‍රපට ගොන්නට අපේ බොහෝ දෙනා පවසන්නේ වාණිජ චිත්‍රපට නැතහොත් කොමර්ෂල් ච්ත්‍රපට යනුවෙනි.

මාතලන් තිරගත කොට ලබන 26 වැනිදාට අවුරුදු 60 කි. මාතලන් තිරගත වූයේ 1955 වසරේදීය. මුල්ම සිංහල කතානාද චිත්‍රපටය තිරගත කර එම වසරට අට වසරක් සපිරිණි. 1955 වසරේ තිරගතව ඇත්තේ චිත්‍රපට හතකි. මේ අතරින් තුනක්ම අධ්‍යක්ෂණය සඳහා ඉන්දියානු අධ්‍යක්ෂවරුන් දායක වූහ. එනම් සුරංගනී (කේ. වෙම්බු), මාතලන් (ඒ. එස්. නාගරාජන්), පෙරකදෝරු බෑණා (ඒ. බී. රාජ්), මතභේදය චිත්‍රපටය බී. එම්. ඩබ්ලිව. ජයමාන්න අධ්‍යක්ෂණය කරන ලද අතර, අශෝකා හා පොඩි පුතා අධ්‍යක්ෂණය කරන ලද්දේ සිරිසේන විමලවීරය. 'සැඩ සුළං' අධ්‍යක්ෂණය කරන ලද්දේ ටී. සෝමසේකරන් විසිනි. මුල්ම සිංහල කථානාද චිත්‍රපට බිහි වූයේ ඉන්දියානු සිනමාකරුවන් අතරින් වුවත්, ශ්‍රී ලාංකික දෙමළ ජාතික සිනමාකරුවෙක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද්දේ එයින් වසර අටකට පසුවය.

ඒ සෝමසේකරන් අධ්‍යක්ෂණය කරන ලද 'සැඩ සුළං' චිත්‍රපටයයි. මේ වන විට ලංකාවේ සිනමා චිත්‍රාගාර දෙකක් ආරම්භ වී තිබිණි. එහෙත් 1955 වසරේ තිරගත වූ චිත්‍රපට විමසා බලන කළ එහි ලාංකික චිත්‍රාගාරවල රූ ගන්වා තිබුණේ 'අශෝකා හා පොඩි පුතා' පමණි. එය ද විමලවීරයන්ගේ නවජීවන චිත්‍රාගාරයේදීය. මෙරට මුල්ම චිත්‍රාගාරය වූ කඳානේ 'සුන්දර සවුන්ඩ්' චිත්‍රාගාරයේ හිමිකරු වූයේ එස්. එම්. නායගම් වුව ද ඔහු මෙම වසරේ නිපද වූ එකම චිත්‍රපටය වන 'මාතලන්' රූපගත කරන ලද්දේ ඉන්දියාවේදීය. 1955 සිනමාව බොහෝ දෙනා විචාරයට ලක් නොකළත් සිනමා කර්මාන්තයේ එක් අපූරු වර්ෂයක් ලෙස හැඳින්වීම යුක්ති සහගත වෙයි. විමලවීර මාස්ටර් තමාගේ 'නවජීවන' චිත්‍රපට සමාගමෙන් බැහැරව වෙනත් සමාගමක් වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද එකම චිත්‍රපටය වනුයේ අශෝකා'ය.

අශෝකා චිත්‍රපටයේ අවසානය ශෝකාන්තයකි. එහෙත් මුල් සතියේ එම අවසානය බාර ගන්නට අපේ ප්‍රේක්ෂකයන් කැමැති වී නැත. එබැවින් එහි පෙම් යුවල සොහොනේ දුමාරය මැදින් නැවත එක්වන ආකාරයේ දර්ශනයක් චිත්‍රපටයට අමුතුවෙන් ඈදිණ. බෙග් මාස්ටර් 'තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ' යනුවෙන් කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ පද රචනයට, පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතයට ගී ගයද්දී සුමිත් බිබිලේ සහ පුෂ්පා ජෙනට් දුමාරය මැදින් එක් වූහ. පී. එල්. ඒ. සෝමපාල මුල්වරට සිනමා සංගීතයට අවතීර්ණ වූයේ එයිනි. කෙසේ වෙතත් මෙම වසරේ වඩාත්ම අවධානයට පාත්‍ර විය යුත්තේ 'සැඩ සුළං', 'මාතලන්' හා 'පොඩි පුතා'ය.

මේ අතරින් 'සැඩ සුළං' අතිශය ජනප්‍රිය ගීත රාශියක් සමඟ නිර්මාණය වූවකි. සෝමසේකරන් යනු අපේ සිනමාවේ එසේ මෙසේ බඩුවක් නොවේ. 'සුජාතා' චිත්‍රපටය හරහා සිංහල චිත්‍රපටය ව්‍යාපාරයක් බවට පත් කරන්න ධනය යෙද වූයේ කේ. ගුණරත්නම් වුව ද එයට මොළය යෙද වූයේ ටී. සෝමසේකරන්ය. සෝමසේකරන් යාපනයේ උපන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයේම නිපුන් කෙනෙකු යැයි මට පැවසුවේ අභාවප්‍රාප්ත ජෝ අබේවික්‍රමයන්ය. සෝමසේකරන්ගේ සමීපතම මිතුරන් අතර එක් අයකු වූයේ ආනන්ද සමරකෝන්ය. ජෝ අබේවික්‍රම නමැති විශිෂ්ට නළුවාණන් සිනමාවට හඳුන්වාදීමේ ගෞරවයේ වැඩි කොටසක් උරුම කර ගනු ලබනුයේ සෝමසේකරන්ය.

මුල්වරට සිංහල චිත්‍රපටයකට පූර්ව ප්‍රචාරක පටයක් සුජාතා සඳහා හඳුන්වා දුන්නේත්, අපේ චිත්‍රපටයකට තරු සංකල්පය ගෙනාවේත්, අමුතුම තාලේ ප්‍රචාරක වැඩ පිළිවෙලක් ගෙනාවේත් සෝමසේකරන්ය. එහි නිෂ්පාදන කළමනාකාරවරයා වූයේ ඔහුය. එමෙන්ම බොහෝ තැන්වල සඳහන් වූයේ ටී. සෝමසේකරන්ගේ 'සුජාතා' ලෙසය. කෙසේ වෙතත් සුජාතා ලැබූ අධි සාර්ථකත්වයෙන් පසු සෝමසේකරන් හා ගුණරත්නම් අතර ආරාවුලත් හට ගැනිණි. මේ ආරාවුල අවසාන වූයේ සෝමසේකරන් සිනමාස් සමාගමෙන් වෙන්ව තමාගේම 'ෆිල්ම් සිලෝන්' සමාගම ගොඩ නැඟීමය. මෙම ෆිල්ම් සිලෝන් සමාගමට මුදල් ආයෝජනය කරන ලද එක් තැනැත්තෙකු වූයේ සිලෝන් තියටර්ස් අධිපති ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර්ය.

'රේඛාව' චිත්‍රපටය සඳහා මුදල් යොදවන්න යැයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එකල සර් ගාඩිනර්ගෙන් ඉල්ලද්දී ඔහු එතෙක් තමා දුටු හොඳම සිංහල චිත්‍රපටය ලෙස පෙන්වා දී ඇත්තේ 'සැඩ සුළං'ය. 'සැඩ සුළං' චිත්‍රපටයේ බොහෝ නළු නිළියන් 'සුජාතා' චිත්‍රපටයට දායක වූ නළු නිළියන්ය. එහි රඟපෑ ඩොමී ජයවර්ධන ද සැඩ සුළං චිත්‍රපටයට සහභාගි වූවත් චිත්‍රපටය අතරමඟදී ආරාවුලක් ඇතිවීමෙන් ඔහු එයින් ඉවත් විය. මේ සම්බන්ධයෙන් ඩොමී සහ සෝමසේකරන්ගේ අරගලය කෙළවර වූයේ උසාවියෙනි. එයින් ඩොමී ජය ලද්දේය. සුජාතා චිත්‍රපටයේ සුජාතා ලෙස රඟපෑ ෆ්ලොරිඩා සැඩ සුළං චිත්‍රපටයේ රඟපෑව ද ප්‍රේම් - ෆ්ලොරීඩා යුවළ නැවත කිසිදු චිත්‍රපටයක එකට රඟපෑ බවක් පළ වන්නේ නැත. ෆ්ලොරීඩා සුජාතාවෙන් පසු නැවත සිනමාස් චිත්‍රපටයක රඟපෑවේ ද නැත. 'සැඩ සුළං' චිත්‍රපටය ආරම්භ වනුයේ සිර ගෙදරක දර්ශනයකිනි. එහි සිරගත කරන ලද ප්‍රේම් ජයන්ත් නැතහොත් සුනිල් අතීතාවර්ජනයක යෙදෙයි.

කුඩා දැරියක් සුවිසල් නිවෙසක එහි ඇති ප්‍රභූවරුන්ගේ පින්තූර පෙන්වයි. එයින් එක් පින්තූරයක සිටිනුයේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවලයි. දැරිය දරුවාට අවවාද කරනුයේ කවදාක හෝ සර් ජෝන් කොතලාවල කෙනෙක් වන ලෙසය. 'ජීවන මේ ගමන සංසාරේ' යනුවෙන් මේ දරු දෙදෙනා වේදිකාවක අනතුරුව ගී ගයති. 'ඔබ යයි නම් තනිව අන්ධකාරේ - ඔබට ආලෝකේ' යන මේ ගීතයට රැඟුමෙන් දායක වූයේ අද ප්‍රවීණ නර්තනාචාරිණී පද්මිණී දහනායක සහ ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ දයා අබේසේකරය. දයා අබේසේකර, කරුණාරත්න අබේසේකරයන්ගේ බාල සොහොයුරාය. පද්මිණි ඒ අවදියේ ඉන්දියාවේදී නර්තනය හදාරමින් උන්නාය.

සැඩ සුළං චිත්‍රපටයේ සංගීතය දක්ෂිණමූර්තිගෙනි. ආනන්ද සමරකෝන් එහි ගී රචනා කරන ලදී. සුජාතා හා සැඩ සුළං නිර්මාණාත්මකව සසඳද්දී බොහෝ කරුණුවලින් එකිනෙක හා සමානය. සැඩ සුළං චිත්‍රපටයේ ගායනය සඳහා ඉන්දියානු ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් ද දායක වූවාය. මේ සඳහා ඒ අවදියේදී සෝමසේකරන් විසින් රුපියල් හැට දහසක මුදලක් ගෙවන ලදී. 1955 දී හැට දහසක් යනු අද ලක්ෂ තිහක පමණ මුදලකි. එයට අමතරව තවත් අගනා චොක්ලට් පාර්සලයක් ද ලතාට තිළිණ ලෙස ලබා දුන් වග වාර්තා වේ. සැඩ සුළං ලංකාවේ වැඩිම ගීත ගණනක් ඇතුළත් චිත්‍රපටවලින් එකකි.

සෝමසේකරන් මෙරට මුල් යුගයේ සිටි ජනප්‍රියම සිනමාකරුවෙකි. ඔහු අත දිග හැර වියදම් කරන්නෙකු ලෙස ද පතලය. ඔහුගේ ස්වර්ණමය යුගයේ දී කෙතරම් සරු ලෙස ජීවත් වූවා ද කිවහොත් උදෑසන 10.00 ට ඒ දවස්වල රත්මලාන ගුවන් තොටුපලට යන්නේ මදුරාසිය බලා යන්නටය. සවස 3.00 ට ඔහු එම යානයෙන් නැවත එයි. ඒ ගමන ගොස් ඇත්තේ කොණ්ඩය කපා ගෙන එන්නටය. පහළොස් වසරකට පසු ඔහු මිය යනුයේ අන්ත අසරණ විදියටය.

මාතලන් චිත්‍රපටයට පාදක වනුයේ දකුණු ඉන්දියානු දෙමළ ජනකතාවකි. මේ බව චිත්‍රපටය ආරම්භයේම එහි නාමාවලියේ සඳහන් කරනු ලැබේ. ඒ අනුව මෙහි එන ඇඳුම් පැළඳුම් සියල්ල එම ඌරුවට සකස් කළ වග ද සටහන් වේ. මාතලන් චිත්‍රපටය පිළිබඳ එකල පළ වූ විචාරයන් පවසා ඇත්තේ එය දෙමළ චිත්‍රපටයක් තනිකරම සිංහලෙන් කළ අවස්ථාවක් ලෙසය. එහෙත් හැට වසරකට පසු වුව (1955 යනු අප උපදින්නට කලකට ඉහතය) මාතලන් එම අභූත චෝදනාවෙන් මුදාලන්නට මම කැමැත්තෙමි. මාතලන් චිත්‍රපටයට ප්‍රස්තුත වනුයේ ගැමි තරුණියක සිප ගන්නට තැත් කළ සල්ලාල රාජ කුමරෙකු පිළිබඳ කතාවකි. මහමඟදී ඇය සිප ගන්නට තැත් කරන කුමරුගේ මුහුණට තමා තල වේලමින් සිටි කුල්ල ඇල්ලීමට තරම් මෙම ගැමි යුවතිය වූ චිත්‍රවල්ලී නිර්භීතය. ඇය ජීවත් වනුයේ ඇගේ පියා සමඟය.

තමාට වූ අවමානය ගැන කෝප වන කුමරු එනම් චිත්‍රාරම්භ ඇය විවාහ කර ගනී. ඒ කිසි කලක ඇය සමඟ කිසිදු සබඳකමක් නොතබා, දිවි ඇති තෙක් ඇය සියළු යස ඉසුරු සහිතව තැබුව ද ඔහුගේ සමීපයටවත් නොඑන්නට ඉඩ නොදෙන බව දිව්රා පවසමිනි. එසේ නම් කවදාක හෝ තම සැමියාගෙන් එනම් චිත්‍රාරම්භගෙන්ම දරුවකු ජනිත කොට, ඒ දරුවා ලවා සැමියාට කසෙන් තලන බවට චිත්‍රවල්ලි ද අභියෝග කරයි. චිත්‍රපටය පුරා අනතුරුව විහිද යනුයේ සියළු රජ සැප සහිතව විසුව ද අස්වාමිකව සිරගත වන චිත්‍රවල්ලී ඉතා සූක්ෂම අන්දමින් රජුට දාව දරුවකු ලබා ගැනීමයි. රහසිගතව සිය මුත්තනුවන් ළඟ වැඩෙන මේ දරුවා මව වෙනුවෙන් සිය යුතුකම ඉෂ්ට කර ගන්නට බාර ගනී. වාසියකට සිටිනුයේ ඒ වන විට රජ පදවිය දරන චිත්‍රාරම්භ මෙන්ම මේ තරුණයා ද පෙනුමෙන් එක සමානවීමය. ඉඳින් තරුණයා කරනුයේ රට කළඹන වැඩය.

මාතලන් චිත්‍රපටයේ එන ජන කතාවම එයට පෙර දෙමළ චිත්‍රපයටකට පාදක විය. ඒ 1943 වසරේ නිර්මාණය කරන ලද මංගම්මා සබඳම් චිත්‍රපටයයි. එහි රන්ජන් හා වසුන්දරා දේවි ප්‍රධාන චරිත රඟපෑහ. එහි නිෂ්පාදක මදුරාසියේ ජෙමිණි චිත්‍රපට සමාගමේ අධිපති එස්. එස්. වාසන්ය. ජෙමිණි සමාගමේ දෙවැනි නිෂ්පාදනය වූයේ මංගම්මා සබඳම්ය. එහෙත් මංගම්මා සබඳම් කතාවම සිංහල චිත්‍රපටයට නැගුව ද මේ චිත්‍රපට දෙක කිසිසේත් එකිනෙකට පෑහීමක් නොකළ යුතුය. එය සහමුලින්ම කේ. හියුගෝ ප්‍රනාන්දුට කරන බලවත්ම අසාධාරණයකි. මාතලන් චිත්‍රපටයේ කතා රචකයා හියුගෝ මාස්ටර්ය.

මාතලන් ගැන ලියන්නට පටන් ගෙන සැඩ සුළං ගැන වැඩිපුර ලියූ නිසා හියුගෝ මාස්ටර් හා මාතලන් ගැන ලිවීම පස්සට තබමි.