වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - අනෝකි ආදා චිත්‍රපටයේ කාර්මික අංශය ගැන හැඳින්වීමක් කරන්න?

සුනිල් චන්ද්‍රසේකර, යාගොඩමුල්ල, කොටුගොඩ

අර්ජුන් - අනෝකි ආදා නමින් චිත්‍රපට දෙකක් හින්දි සිනමාවේ තිබෙනවා. එයින් පළමුවැන්න 1948 වසරේ මෙහෙබුබ් නැමැති විශිෂ්ඨ සිනමාකරුවා විසින් නිර්මාණය කළ චිත්‍රපටයයි. එහි සුරේන්ද්‍ර, නසීම් බානු, රීහාන් ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කළා. එහි සංගීතය නවුෂාඩ්ගෙන්. කැමරාව ෆර්ඩීන් ඉරානිගෙන්. සංස්කරණය කළේ සම්සුදීන් කිද්දි. දෙවැනි චිත්‍රපටය 1973 වසරේ නිර්මාණය කළ චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කුන්දන් කුමාර්, රඟපෑවේ ජිතේන්ද්‍ර, රේඛා, විනෝද් ඛන්නා, නසීර් හුසේන් ආදීන් එහි චරිත නිරූපණය කළා. එහි කැමරාකරණයෙන් දුර්ගා ප්‍රසාද්, සංගීතයෙන් ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්, සංස්කරණයෙන් කමලකාර්, කර්කානිෂ් දායක වුණා.

ප්‍රශ්නය - රජ වැඩකාරයෝ සිංහල චිත්‍රපටයේම කතා තේමාව රැගත් එහි හින්දි චිත්‍රපටය කුමක්ද? එහි රඟපෑ නළු නිළියන් කවුද?

චන්දන දේවප්‍රිය, රත්මලාන

අර්ජුන් - චිත්‍රපටය අන්දර් බහාර්. රඟපෑවේ අනිල් කපූර්, ජැකී රොෆ්, මුන් මුන් සෙන් සහ ඩැනී චරිත නිරූපණය කළා.

ප්‍රශ්නය - ප්‍රවීණ හින්දි නළු රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ හින්දි චිත්‍රපට මොනවාද?

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන්, වෙන්නප්පුව

අර්ජුන් - බර්සාත්, ආග්, ආන්, සංගම්, මේරානාම් ජෝකර්, බොබී, ශ්‍රී 420, ආවාරා, සත්‍යම් සිවම් සුන්දරම්, ප්‍රේම් රෝග්, රාම් තේරී ගංගා මයිලි.

ප්‍රශ්නය - ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකා රඟපාන කවුද රජා, කස්තුරි සුවඳ සහ ආවා සොයා ආදරේ යන චිත්‍රපට පිටපත් නැද්ද?

ආර්. ඒ. අමරසිංහ, පෙතියගොඩ, කැලණිය

අර්ජුන් - තිබෙනවා.

ප්‍රශ්නය - හාර ලක්ෂය චිත්‍රපටය නිපදවීමේදී සත්‍ය සිදුවීමට සම්බන්ධ වූ මෝටර් රථයම අළුත්වැඩියා කර චිත්‍රපට ජවනිකාව සඳහා යොදා ගත් බව අසා ඇත්තෙමි. එම මෝටර් රථය දැනට කවුරුන් සතුව තිබේද?

විමල් රණසිංහ, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14

අර්ජුන් - එම මෝටර් රථය චිත්‍රපටයට යොදා ගත්තේ නැහැ. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා මරදාන හන්දියේදී එය යොදා ගත්තා. දැන් නම් කා සතුව තිබෙනවාදැයි දන්නේ නැහැ.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුනගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10