වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




රටින් පිට මනාලයෝ

රටින් පිට මනාලයෝ

බොලිවුඩ් සිනමාව ලෝකය පුරා අතිශය ජනප්‍රිය වූ කලාවක්. කෙතරම්ද කිව්වොත් හින්දි සිනමා පටයක් නොබැලූ කෙනෙක් නොමැති තරම්. මේ අතරේ බොලිවුඩ් තරු වලට පෙම් බඳීන තරුණ තරුණියන් ද නැතුවාම නෙවෙයි. ඒ වගේ කෙනෙක් සමගින් හෝ විවාහ වීම ඔවුන්ගේ හීන බවට පත් වෙලා. රසික ආදරය නොමඳව දිනූ මේ තරු හිත් දිනා ගත් අයත් ඉන්නවා. ඒ අය සිනමාව තුළ වගේම පිටත් ඉන්නවා. අමිතාබ් - ජයා, ධර්මේන්ද්‍ර - හේමාමාලිනි වගේම ඉන් පසු පරම්පරා නියෝජනය කරමින් අජේ දේව්ගන් - කාජල් වැනි තරු පවුල් ඉතාම සාර්ථක පවුල් ජිවිත ගතකරනවා.

මේ අතරේ කලා ලොවෙන් බැහැරව තම ඉරණම්කරුවන් සොයා ගත් ජනප්‍රිය හින්දි නිළියන් කිහිප දෙනෙකුත් සිටිනවා. ඔවුන් විවාහයෙන් පසු පෙර පරිදිම සිනමාවට සිය දායකත්වය නොදුන්නත් සිනමාවෙන් ඈත් නොවෙන්නත් වග බලාගෙන තියෙනවා. හැබැයි මේ හැමෝම විවාහ වෙලා තියෙන්නෙත් ඉන්දියාවෙන් බැහැරව වෙසෙන ඉන්දියානුවන් සමඟින්. ඇතැමුන් ඒක දැක්කේ කාලයකට එන මෝස්තරයක් විදියට.

1984 වසරේ ඉන්දීය සුරූපිනිය වූ ජුහි චව්ලාගේ විවාහය සිදු වුණේ ජායි මෙහ්තා සමගින්. බහුජාතික සමාගමි හිමිකරුවෙකු වන ඔහුට බ්‍රිතාන්‍යයේ පුරවැසිකම හිමියි. 1997වසරේ ජුහි ජායි මෙහ්තා සමඟ විවාහය සිදු වුණේ වැඩි ප්‍රසිද්ධයකින් නම් නෙවෙයි. 2001 වසරේදි දියණිය ජාන්වි සහ 2003 වසරේදී පුතු අර්ජුන් මේ දෙදෙනාගේ ආදරණිය කැදැල්ලට එක් වුණා. ජුහි වගේම ජායි මෙහ්තා ද ඉන්දිය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ සුපිරි නළු ශාරුක් සමඟින් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය උසුලනවා.

1980 සහ 90 දශක බොලිවුඩයෙන් ලෝකයේම ආකර්ශනය දිනාගත් මධුරි ඩික්සිත්ගේ ඉරණම්කාරයා වුණේ අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකු වූ ශී‍්‍ර රාම් මාධව් නේනේ. ශෙල්‍ය වෛද්‍යවරයෙකු වූ නේනේ සහ මධුරි අතර විවාහය සිදු වුණේ 1999 වසරේදී. වසර ගණනාවක් අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටි නේනේ - මධුරි යුවළ පසුගිය 2011වසරේදී ඉන්දියාවේ ස්ථිර පදිංචියට පැමිනුණා. ඒ වගේම මධුරි කියන්නේ ලෝකයේ ඉහළම ආදායම් ලබන මව්වරුන්ගෙන් කෙනෙක්.

මෝස්තර නිර්මාණ ශිල්පයෙන් බොලිවුඩයට පැමිණි ශිල්පා ෂෙට්ටි බොලිවුඩය පමණක් නොව දෙමළ, තෙළිඟු, කණ්ණඩ චිත්‍රපට රැසක් හැඩ කළ තරුවක්. වර්තමානයේ සාර්ථක ව්‍යාපාරික කාන්තවක ලෙසින් කාර්යබහුල ඇයගේ හිත නතර වුණෙත් විදේශයක වෙසෙන ඉන්දියානුවෙක් ළඟ. අක්ෂේ කුමාර් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටි ශිල්පා 2000 වසරේදී ඒ හිතවත්කමට තිත තබා 2009 වසරේදී ලන්ඩනයේ කෝටිපති ව්‍යපාරිකයෙකු වූ රාජ් කුන්ද්‍රා සමඟින් විවාහ දිවියට එළැඹුණා. මේ වන විට අවන්හල් කිහිපයකම හිමිකාරීත්වය දරණ ශිල්පා කායවර්ධක චිකිත්සකවරියක ලෙසින්ද කටයුතු කරනවා. ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩාමේ හිමිකාරිත්වයත් රාජ් සහ ශිල්පාට හිමියි.

මොහබතීන්, ෆිදා, ටජ් මහල් වැනි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ නිළියක සේම නිරෑපිකාවද වන කිම් ෂර්මාගේ විවාහ සිදු වූයේ කේන්යාවේ ව්‍යාපාරිකයෙකු වන අලී පුන්ජානි සමඟින්. විවාහය දක්වාම ඇයගේ ආදර සම්බන්ධය රහසක්ව පැවැති අතර විවාහය ප්‍රසිද්ධ වූයේ පුදුම ආරංචියක් ලෙසින්. බොලිවුඩ් තරු පමණක් නොවෙයි ඉන්දියේ සුප්‍රසිද්ධ ටෙනිස් තරුවක් වූ සානියා මිර්සාගේ හිත ගන්නත් ඉන්දියානුවෙකුට බැරි වුණා. ඇයගේ ආදරයට හිමිකම් කියන්නේ පාකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩක ෂොයිබ් මලික්.