|
අද අප අතර නැති කලාකරුවකු පිළිබඳ ළඟම නෑයකුගේ සංවේදී සටහන හිටියා නම් මේ අවුරුද්දට කපුගේට හැත්තෑවයි
විශිෂ්ට ගායන ශිල්පියෙකු, සංගීතවේදියකු මෙන්ම මානව දයාවෙන් පිරිපුන් කලාකරුවකු ලෙසින් පොදු ජනයා අතර ප්‍රකටව සිටි විශාරද ගුණදාස කපුගේ අප අතරින් වියෝ වී මේ වන විට වසර දොළහක් ගත වී ඇත. මේ සුවිශේෂී කලාකරුවාගේ හැත්තෑ වන ජන්ම දිනය ද යෙදී තිබුණේ මේ මස හත් වෙනිදාටය. දහස් ගණන් රසික සිත් ඇද බැඳ ගත් මේ මානව දයාවෙන් පිරිපුන් මේ සොඳුරු ගායන ශිල්පී කපුගේ පිළිබඳ මතකය සිහිපත් කිරීමේ අදහසින් අප පැමිණියේ කපුගේ මහතාගේ භාර්යාව වූ ප්‍රේමා කපුගේ මහත්මිය හමුවන්නටය. 45/18, කනත්ත පාර, තලපත්පිටිය, නුගේගොඩ ලිපිනයේ නිවහනට වී අපි ඇයත් සමඟ සංවේදී කතාබහකට එක් වුණෙමු. ඔබේ දයාබර සැමියා පිළිබඳ සුවිශේෂී කටයුත්තකට ඔබ සූදානම් වෙනවා කියලා දැනගන්න ලැබුණා? කපුගේ නැති වෙලා මේ වසරට අවුරුදු දොළහක්. ඒ වාගේම එයාගේ හැත්තෑ වන ජන්ම දිනයත් යෙදිලා තියෙන්නේ මේ වසරට. ඒ නිසාම මම එතුමන් වෙනුවෙන් සුවිශේෂී සිහිපත් කිිරීමක් සිද්ධ කරන්න අදහස් කළා. ඔබ අදහස් කරන ඒ සුවිශේෂී සිහිපත් කිරීම කවර ආකාරයේ දෙයක්ද? මානව හිතවාදී කලාකාරයා මට විතරක් පොදු පුද්ගලයෙක් නෙමේ. මේ රටේම ජනතාවගේ පොදු වස්තුවක් වෙලා හිටිය පුද්ගලයෙක්. මේ සුවිශේෂී කලාකාරයා ජන්මය ලැබුවේ හත්වෙනිදා දවසක. ඒ කියන්නේ 1945 අගෝස්තු 07 වැනිදා. මේ හතේ ඉලක්කම සුවිශේෂී අංකයක්. ඒ වගේම කපුගේ ජීවත් වෙලා හිටියා නම් මේ අගෝස්තු මාසයේ හත් වෙනිදාට වසර හැත්තෑවක් සපිරෙනවා. මම අදහස් කළා මේ හත් වෙනිදා කියන දිනයේ සුවිශේෂී වාසනාවන්ත හත කියන 1 ඉලක්කමට බිංදුවක් එකතු කරලා කපුගේට හැත්තෑවයි කියලා විශාල ප්‍රසංගයක් කරන්න. කවද ද කොහෙද මේ කපුගේට 70 යි ප්‍රසංගය පවත්වන්නේ?
කපුගේට 70 යි ඔබගේ තනි උත්සාහයක ප්‍රතිඵලයක්ද? කපුගේ පදනමෙන් තමයි මෙය සංවිධානය කරන්නේ. එදා ඉඳලම ගුණදාස කපුගේ නම් වූ මේ මානව හිතවාදී කලාකාරයාට ආදරය කළ බොහෝ පිරිසකගේ දායකත්වය මෙයට ලැබෙනවා. වෛද්‍ය කපිල සූරියආරච්චි, උමයංගනා සූරියආරච්චි මේ කටයුත්තේදී විශාල කැප කිරීමක් සිද්ධ කරනවා. මේ සුවිශේෂි ප්‍රසංගය කපුගේට ආදරය කළ සියලු සහෘදයන්ට නොමිලයේම තිළිණ කරන්න ද ඔබ අදහස් කර ඇත්තේ? කපුගේට 70 යි අපි කරන්නේ නොමිලේ. මේ සඳහා අපි රටේ ජනාධිපති, අගමැති ඇතුළු සියලු දොනාට ආරාධනා කරනවා. එදාට මේ රටේ කපුගේට ආදරය කළ ඕනෑම කෙනෙකුට මේ ප්‍රසංගය රස විඳින්න එන්න පුළුවන්. කපුගේ ගී එකතුවක් එදාට එළි දක්වනවාද? කපුගේ අතින් නිර්මාණය වූ ගීත ගායනා ඇතුළත් ගී පොතක් එදාට එළිදක්වනවා. වෛද්‍ය සූරියආරච්චි තමයි ඒ පොත සම්පාදනය කරන්නේ. අපි මේ පොත සොඳුරු අඩහැරැය නමින් නම් කරලා තියෙනවා. ඒ වගේම කපුගේට 70 යි කියලා ඔහුගේ ගී ඇතුළත් සී. ඩී. පටයක් එළි දක්වන්න. අපි සූදානම් කරලා තියෙනවා.
නෑ. අපි මීට කලිනුත් ප්‍රකම්පන නමින් ප්‍රසංග කීපයක් වරින් වර පැවැත් වූවා. මහත්තයා නැති වෙලා අවුරුද්දකින් අපි ප්‍රකම්පන ප්‍රසංගයක් පැවැත්වූවා. අපේ එක මූලික අරමුණක් තමයි කපුගේ ගායනා කළ ගීත යළි යළිත් අලුත් පරම්පරාවට හඳුන්වා දීම. කපුගේ වියෝවෙන් පසු ඔබගේ ජීවිතය ගෙවී යන්නේ කොහොමද? නැටුම් උපාධිධාරී ගුරුවරියක් වශයෙන් අවුරුදු තිස් හතරක් සේවය කරලා දැන් විශ්‍රාමිකව කල් ගෙවනවා. කපුගේ නැති වෙලා අවුරුදු දොළහක් ගෙවිලා ගියත් එයා තවම මගේ ළඟ ඉන්නවා වගේ හැඟීමක් මා තුළ තියෙන්නේ. එයාගේ ආශිර්වාදය අදටත් මටත් දරුවන්ටත් තියෙනවා. එයා නැති වුණු අප්‍රේල් තුන් වෙනිදාට මම දානමාන දීලා එයාට පින් පෙත් පමුණනවා. එයා ජීවත් වෙලා ඉන්න කාලෙත් එයාගේ උපන් දිනයට මම කළේ සංඝයා වහන්සේලා වඩම්මලා දානමාන දීම. දරුවන් තිදෙනා ගැන අලුත් තොරතුරු කොහොමද? පුතා සුමන මිත්‍ර කපුගේ. එයා විශ්ව සංගීතය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක්. තාත්තාගේම අඩි පාරේ යනවා. සජනි තරණි දුව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසින් කටයතු කරනවා. රිද්මා මිත්‍ර නයනතාරා දුව ඉතාලියේ පැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට කටයුතු කරනවා. පුතා මිත්‍ර තාත්තාගේම දක්ෂතා ඉදිරියට රැගෙන යන්න දැන්මම පටන් අරන්? පුතා එංගලන්තයේ ඉඳලා ඉගෙන ගෙන ලංකාවට ආවට පස්සේ මුලින්ම කළ ඉසුර රණකෙළි ටෙලි නාට්‍යයට සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලැබුවා. කපුගේට 70 යි ප්‍රසංගයේ කපුගේ වෙනුවෙන්ම වෛද්‍ය කපිල සූරියආරච්චි ගීතයක් ලියලා තියෙනවා. මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය මිත්‍ර කපුගේ. මේ ප්‍රසංගය එදාට නිමා වෙන්නේ මිත්‍ර පුතා ගායනා කරන මේ ගීතයත් සමඟ. මේ ගීතය පුරාවටම පියාගේ දැක්ම ගැන කියවෙනවා. තාත්තා තමන් ළඟ අදටත් ඉඳිමින් ඒ දැක්ම ඉදිරියට ගෙනි යන්න පුතාට ආශිර්වාද කරනවා කියන අදහස තමයි එදාට මිත්‍ර ගීිතයෙන් කියන්නේ. කපුගේ ජීවතුන් අතර සිටියදී ඔබට කියා තිබුණා නේද දූ දරුවන් පිරිවරා ගෙන යන නැවක කපිතාන් ඔබ බව? ඒක ඇත්ත. මම ජීවිතය පටන් ගත්තේ කුප්පි ලාම්පු එළියෙන් ළිඳෙන් වතුර ඇදලා. බොහෝ දුක් විඳලා තමයි මම ජීවිතය ජය ගත්තේ. අද මේ ඉන්න තත්ත්වයට එන්න බොහෝ දුක්වින්දා. කපුගේ නැමැති මේ දැවැන්ත මනුස්සයාට මට කළ හැකි එකම උපහාරය තමයි දරුවෝ තුන් දෙනාට හොඳට උගන්වන එක. ඒක මම අද වෙන කොට ඉෂ්ට කරලා ඉවරයි. එදා මහත්තයා නෙමෙයි මේ ගෙවල් හැදුවේ. මගේම උත්සාහයෙන් තමයි ඒ දේ ගොඩ නැඟුවේ. ඒ හින්දම තමයි එයත් මම ගැන ඔය විදියට කියන්න ඇත්තේ.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ නිවසේදී. මානවසිංහයන්ගේ දෙවැනි දියණිය වූ මංජුලා මගේ හොඳ මිතුරියක්. ඒ දවස්වල මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. ඒ වගේම බැසිල් මිහිරිපැන්නගේ ජනවේගය බැලේ කණ්ඩායමේ සමාජිකාවක්. මානවසිංහයන්ගේ දියණියත් එහි සාමාජිකාවක්. ඇගේ උපන් දින උත්සවයට ගිහින් ඉන්න කොට තමයි මුලින්ම කපුගේ මට මුණ ගැහුණේ. ඔබේ සැමියාගේ ගීතත් අද වෙනකොට කොල්ල කාලද? අපේ කිසිම අවසරයක් නැතුව සමහරු මහත්තයාගේ ගීත ගායනා කරනවා, සල්ලි හොයනවා. අද වෙනකන් මම කපුගේ ගීත පිට කාටවත් දීලත් නෑ, විකුණලත් නෑ. මගෙත් දරුවො ඉන්නවා. ඒ අයට මේ ගීතවල අයිතිය තියෙනවා. ඒවා ගායනා කරන්න මගේ දරුවන්ට පුළුවන්. කපුගේට ආදරය කළ බිරිඳ වශයෙන් මගේ වගකීමක් ඒ වටිනා ගී නිර්මාණ මගේ දරුවන්ට, රටේ දරුවන්ට ආරක්ෂා කර දීම. කපුගේ නැමැති මේ ජනතා හිතවාදී කලාකරුවා වෙනුවෙන් සදා මතකකයේ රැඳෙන වැඩ පිළිවෙළක් ගොඩ නඟන්න අදහසක් නැද්ද? ගුණදාස කපුගේ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතා හිතවාදී කලාකරුවෙක්. එදා ඔහු රැඳිලා හිටියේ මිනිසුන් අතර. කොච්චර ජනප්‍රිය වුණත් ජනප්‍රියත්වය ඔළුවේ තියාගෙන කටයුතු කළේ නැහැ. අපේ අදහසක් තියෙනවා එතුමා නමින් මියුසික් ඇකඩමියක් ආරම්භ කරන්න. මේ මානව හිතවාදී කලාකරුවා මිය ගියත් හරි ඔහු වටා සිටි ඔහුගෙන් උදවු උපකාර ලැබූවන් ඔබලාවත් අමතක කර දැමුවාද? මහත්තයා ජීවත් වෙලා ඉන්න කාලේ එයාලට උදවු කළා කියලා මහත්තයා නැති වුණාට මම ඒ අයගෙන් පෙරළා උදව් බලාපොරොත්තු වුණේ නැහැ. එහෙම උදව් අරගෙන පසුව අපිව අමතක කළ උදවියත් අපි අතර ඕනෑ තරම් ඉන්නවා. ඔබේ පුතු මිත්‍ර දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලැබ විශ්ව සංගීතය උදෙසා උපාධිය ලබන කොට පියා මෙලොවින් සමුගෙන? ඒ ශෝචනීය තත්ත්වයට මගේ පුතාට වගේම මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. කපුගේ වියෝව මගේ පුතාට ලොකු කම්පනයක් ඇති කළා. පුතා නිවාඩුවකට ගෙදර ඇවිත් ඉන්න කොට තමයි එදා කපුගේ ඩුබායි ෂෝ එකට පිටත්ව ගියේ. පුතා තාත්තාට කිව්වා මම කාලෙකට පස්සේ ගෙදර ආවේ, තාත්තේ ගෙදර ඉන්න කියලා. ඒ වෙන කොට කපුගේ මේ ෂෝ එකට අත්තිකාරම් පවා අරන් තිබුණ නිසා පුතාව අස්වසල මේ ගමන ගියේ. ඒ යන දවසේ පුතයි තාත්තයි තමයි ගෙදර කෑම ඉව්වෙත්. කපුගේ හරි ආසයි පරිප්පුයි, හාල්මැස්සො බැඳුමයි එක්ක බත් කන්න. දෙන්නම එදා ගෙදර ඉව්වෙ මේ කෑම. ඒ ගිය ගමන අවසානයේ ඩුබායිවල ෂෝ එක ඉවර කරලා කටුනායකට ආවට පස්සේ තමයි ගුවන් යානා පර්යන්තයේදී බස් එකේ දොර ඇරිල බිමට වැටිලා වෙච්ච අනතුරින් නැති වුණේ. එයා ලොකු බලාපොරොත්තුවකින් හිටියා කවද හරි පුතා උපාධිය අරන් ලොකු තැනකට එනවා දකින්න. එයා කිව්වේ මම මැරුණත් කමක් නැහැ පුතා ඒ තැනට ඇවිත් කියලා. මට පුතා උපාධිය ලබන දවසේ ඔය සිද්ධිය මතක් වෙලා හොඳටම ඇඬුණා. අද කපුගේ හිටියා නම් මොන තරම් සතුටක් ලබයි ද?
|