වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




කොහේවත් නැති කුමාරගේ කරවල ඩෙවල්

කොහේවත් නැති කුමාරගේ කරවල ඩෙවල්

කුමාර වඳුරැස්ස මේ දවස්වල ඉන්නේ කල්පිටිය පැත්තේ. ඒ සරත් ධර්මසිරිගේ නවතම ටෙලි සිතුවමේ රූගත කිරීම් සිදු වෙන්නේ එහෙ නිසා. කුමාරත් ඒකෙ චරිතයක් මවනවා. කල්පිටිය කරවලවලට බොහොම ප්‍රසිද්ධයිනෙ. කුමාර මේ පැත්තට එන්න කලින් කරවල ගැන තොරතුරු හොයලලු ඇවිත් තියෙන්නේ. ඒ හින්දම ඔහු විවේකී දිනවල කරවල කඩයක් කඩයක් ගානෙ ඇවිදිනවලු. මෙහෙම ඇවිදින ගමන් කුමාරට අමුතු කරවල වර්ගයක් හම්බු වෙලා.

එහෙට හරවලා බැලුවලු, ඇඟිල්ලෙන් ඔබලත් බැලුවලු. ඊට පස්සේ කෑල්ලක් අරගෙන නහයට තියලත් බැලුවලු. සුවඳින් නම් හරිම ෂෝක්ලු. ඉතින් කුමාර ගත්තලු ඒ කරවලවලින් කිලෝ දෙකක්ම. ඔන්න එදා හවස කට්ටිය පොඩ්ඩක් සෙන්ටමෙන්ටල් වෙලා ළඟ තිබුණු රෙස්ටුරන්ට් එකක. එතැන තිබුණු බයිට් ජාති කුමාරට අල්ලලා නැහැ. පදම ටිකක් වැඩි වේගෙන එද්දී කුමාරට මතක් වුණාලු අර කරවල කූරි ගැන. වහාම ආවලු වාහනේ ගාවට. කරවල කූරියෙකුත් අරගෙන කෙළින්ම ගියාලු හෝටලයේ කුස්සියට.

මල්ලි . . . මෙහාට එනවා.

කුමාර කුස්සියේ උයන කොලුවට කතා කළාලු.

ඇයි සර්?

ඔහු බයාදු විදිහට කුමාර ගාවට ඇවිල්ලා.

මෙන්න මේ කරවල කූරියාව හදල දෙනවා . . .

තෙල් දාල ද සර් . . .

නැහැ. මට මේ කූරියව ඩෙවල් දාලා දෙනවා . . .

ඩෙවල් දාන්න . . . කරවල කූරියව? අනේ සර්, මං අවුරුදු ගාණක් තිස්සේ හෝටලයේ උයනවා. මේ ඇහැව්වමයි කරවල ඩෙවල් එකක් ගැන.

කොලුවා එහෙම කියද්දියි කුමාරට තමන් කිව්වේ මොකක් ද කියලා පැහැදිලි වුණේ. ඊට පසුව හිමිහිට ෂේප් එකේ අර කූරියව ආයෙත් වාහනේට දාලා හොරෙන්ම මේසයේ වාඩි වෙලා. ඒත් ළඟින් ආව කරවල ගඳ නිසා කුමාරට වෙච්ච දේ පිරිසට නොකියා ඉන්න බැරි වුණාලු


දූරියන් හින්දා වෙච්ච දෙයක්

පසුගිය සතියේ නමක් ගමක් නැති කතාව නොගිය හින්දා ඔබ බලන්නට ඇති එහෙම වුණේ ඇයි කියලා. ඒ කතාවලට අදාළ කවුරුත් බැන්න හින්දා නෙවෙයි නමක් ගමක් නැති කතාවක් ලිව්වේ නැත්තේ. හැමදාමත් ඒවා කියන කොට අගයක් නැහැනෙ. හරි, මේ සතියේ නම් එහෙම කතාවක් ලියනවා. මෙදා පාරත් කතා නායිකාව ජනප්‍රිය නිළියක්. මෙයා දූරියන් කන්න හරිම ආසයිලු. දූරියන් කියන පළතුර ගැන දන්නවනෙ. දූරියන් සුවඳ දූරියන් කන අයට සුවඳක් වුණාට දූරියන් නොකන අයට ගඳක්. ඒ බව නොකන අය හොඳට දන්නවනෙ. ඔන්න දවසක් මේ නිළිය රූගත කිරීමක් නිම වෙලා නිෂ්පාදන වාහනයේ ගෙදර එමින් සිටියා. ඔය අතරේ දැක්කා පාරේ තැනක දූරියන් තියාගෙන වෙළෙන්දෙක් විකුණනවා. වහාම වාහනය නවත්තපු මෙයා පැනලා ගිහින් දූරියන් ගෙඩි තුනක්ම ගත්තා.

වාහනයේ හිටියා දූරියන් ඇලජික් කිහිප දෙනෙක්. දැන් එයාලා හෙනට දොස් කියනවා මේ නිළියට. එතන එකම යුද්දයක්. බැරිම තැන නිළිය කිව්වා, මං බස් එකේ යන්නම්, ඔයාලා යන්න කියලා. දූරියන් ගෙඩි තුනත් අරගෙන ළඟම තිබුණු බස් ස්ටෑන්ඩ් එකට ගියා. තමන් නිළියක් හින්දා සාමාන්‍ය බස් එකක යන්න බැහැනෙ. අත දාලා නැග්ගා ආව ඒ/සී බස් එකකට. ටික වෙලාවයි ගත වුණේ. දූරියන් සුවඳ පැතිරුණා මුළු බස් එක පුරාම. සමහරු නහය අල්ලගෙන කොන්දොස්තරට බනිනවා. බැරිම තැන කොන්දොස්තර අර නිළි නෝනට තත්ත්වෙ පැහැදිලි කරලා දූරියන් ගෙඩි තුනත් එක්ක බස් එකෙන් බැස්සුවා. අනේ අප්පොච්චියේ මෙයාට වෙච්ච දෙයක්. දැන් මොකද කරන්නේ. ගෙදර යන්නත් එපායැ. ගියා ළඟ ත්‍රීවිල් පාක් එකකට. එතන තිබුණේ එකම එක ත්‍රීවිල් එකයි. ඒකෙ හිටපු කෙනාගෙන් නිළිය මුලින්ම ඇහැව්වේ මොනවද දන්නවද?

මල්ලි සාමාන්‍යයෙන් දූරියන් කනවද?

අර ත්‍රීවිල් උන්නැහේ ඔව් කියලා කිව්වා.

ආයෙ වචන දෙකක් නැහැ, ගාණ අහන්නෙත් නැතුව අර නිළිය ඒ ත්‍රීවිල් එකට නැගලා ගෙදර ගියාලු.