වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඔතෙලෝ මුද්‍රා නාට්‍යයකට

ඔතෙලෝ මුද්‍රා නාට්‍යයකට

රවිබන්දු කරළියට

මහා නාට්‍යකරු විලියම් ශේක්ෂ්පියර් විසින් නිර්මාණය කළ ඔතෙලෝ වේදිකා නාට්‍යය ඇසුරින් ප්‍රවීන නර්තන ශිල්පි රවිබන්දු විද්‍යාපති නිර්මාණය කළ ඔතෙලෝ මුද්‍රා නාට්‍ය වේදිකා ගත කිරීම ලබන 23 වැනිදා ලයනල් වෙන්ඩ්ට්හිදී සිදු කිරීමට නියමිතව ඇත.

ඔතෙලෝ යනු විලියම් ශේක්ෂ්පියර් විසින් රචනා කළ The Tradgedy of Othelo - The Moor of Venice වේදිකා නාට්‍යය හැඳින්වූ කෙටි නාමය යි. ඔතෙලෝ වේදිකා නාට්‍යය ලොව ප්‍රථමවරට වේදිකා ගත වූයේ 1604 වසරේ ලන්ඩනයේ පිහිටි වයිට්හෝල් මන්දිරයේදීය. ඔතෙලෝ, ඩෙස්ඩිමෝනා, ඉයාගෝ, එමලියා ආදි වූ චරිත ගෙන එන මෙම කතා පුවත දේශීය නර්තනයට අනුව රංග වින්‍යාසයන් යොදා ගනිමින් රවිබන්දු විද්‍යාපතීන් කළ නව නිර්මාණය ගැන සරසවිය කළ කතාබහ මෙලෙස සටහන් විය.

“ලෝකයේ බොහෝ රටවල විවිධ නාට්‍ය කෘති ඇසුරෙන් මුද්‍රා නාට්‍ය නිර්මාණය වෙනවා. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය වේවා, ග්‍රීක නාට්‍ය වේවා, තාගෝර්ගේ හෝ වේවා මේ ඇසුරෙන් නෘත්‍ය නාට්‍ය හෝ මුද්‍රා නාට්‍ය බිහි වෙනවා. මේ සියල්ල අතරින් ශේක්ස්පියර්ගේ නාට්‍ය වඩාත්ම නර්තනෝචිත බව මගේ හැඟීමයි. මම කුඩා කාලයේ පටන්ම ශේක්ෂ්පියර්ගේ නාට්‍ය ප්‍රිය කළා. විශේෂයෙන් ශෝකාන්ත නාට්‍යවලට වැඩි ඇල්මක් දැක්වූවා. මම මීට පෙරත් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය දෙකක් වූ ජුලියස් සීසර් සහ මැක්බත් ඇසුරින් මුද්‍රා නාට්‍ය නිර්මාණය කළා. ඔතෙලෝහි චරිත තුළ තියෙන්නා වූ සංකීර්ණ මනෝභාවයන් මගේ සිත ගත්තා.

ඔතෙලෝ නම් චරිතය කළු ජාතික පුද්ගල චරිතයක්. නමුත් ඔහු වැනීසියානු රාජ්‍යයේ හමුදාපති ලෙසින් උසස්වීමක් ලබන්නේ සම්පූර්ණ සුදු සමාජයක් ඇතුළත. ‘මම කල්ලෙක්’ කියන හීනමානයත් ඔහුගේ හිතේ තියෙනවා. ඒවගේම අභිමානයකුත් තියෙනවා. බොහොම අභිමානවත්, අවංක, ඉතා තදබල ලෙස ස්වකීය බිරිඳට ප්‍රේම කරන පුද්ගලයෙක් හැටියට. ඒ වගේම ඩෙස්ඩිමෝනා කියන්නේ පිරිසිදු ප්‍රේමයේ සංකේතය. සමස්ත තේමාවම කූඨප්‍රාප්තිය කරා රැගෙන යන කුමන්ත්‍රණකරුවා ඉයාගෝ. ඉයාගෝ චරිතයක් ලොකු සංකීර්ණතා ගොඩක් තියෙන චරිතයක්. කළු ජාතිකයෙකු තමන්ට වඩා ඉහළට යනු දැකීමේ ඊර්ෂ්‍යාව. ඒක එක්තරා විදියක දේශපාලනික අදහසක්. අනෙක් පැත්තෙන් සුදු තරුණියක මේ කළු ජාතිකයාට ප්‍රේම කිරීම පිළිබඳ ඊර්ෂ්‍යාව. ඇත්තටම එතැනින් මතු වෙන්නේ කළු සුදු භේදයම තමයි. හුදෙක් ඒ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම තමයි මේ සිදුවීම මරණ කිහිපයක් දක්වාම ගෙන යන්නේ. එමලියා මේ චරිත තුනට මැදි වෙන අනිත් චරිතය යි. ඩෙස්ඩිමෝනාගේ සේවිකාව වන ඇය ඉයාගෝගේ බිරිඳ යි. ඉයාගෝ ගේ කුමණ්ත්‍රණයට මැදි වන්නේ ඇයයි.”

මෙය වර්තමාන සමාජ පසුබිම වේදිකාවේ ගෙන හැර දැක්වීමක් ද ?

ඇත්තටම මේ චරිත අපේ සමාජයේත් දකින්න ලැබෙනවා. විශේෂයෙන් හිතලා ගේන්න වුවමනා වුණේ නැහැ. එකක් මුද්‍රා නාට්‍ය මාධ්‍ය අංලකාර, චමත්කාරජනක වර්ණවත් කලා මාධ්‍යයක්. ඒ තුළ තියෙන වර්ණවත් බව පවත්වා ගැනීම සඳහාම මම එක්තරා විදියකට ෆැන්ටසි ලක්ෂණය ඇඳුම් පැළඳුම්, වේශ නිරූපණයෙන් පවත්වා ගත්තා. සෘජුවම වර්තමානයට ආදේශ කරන්න උත්සාහ කළේ නැහැ. මේ චරිත එදා වගේම අදත් ජීවත් වෙනවා. ඒ සිදුවීම් අතීතයේ වර්තමානයේ වගේම අනාගතයේත් සිදු වෙනවා.

ශේක්ෂ්පියර් වචනයෙන් කී දේ ඔබට මෙහිදී අංග චලනයෙන් දක්වන්න ලැබීම අභියෝගයක් වෙන්න ඇති?

මෙතන විශාල අභියෝගයක් තියෙනවා. ශේක්ෂ්පියර් කියන්නේ වචනය අති ප්‍රභල ලෙස භාවිත කළ නාට්‍යකරුවෙක්. ඔතෙලෝ නාට්‍යයත් එලෙසමයි. එහි වචනය ප්‍රබල ලෙසින් දැක්වෙනවා. මෙහිදී විශාලතම අභියෝගය වන්නේ එවැනි නාට්‍යකරුවෙකුගේ කෘතියක් සම්පූර්ණයෙන්ම වචනයෙන් ඇත් වෙලා චලන මාධ්‍යයෙන් ඉදිරිපත් කිරිමයි. එතැනදී මම එක්තරා විදියක උපක්‍රමයක් විදියට ප්‍රධානම චරිත හතර පමණක් මුල්කරගෙන ඊට සම්බන්ධ අනු චරිත දෙකක් පමණක් යොදාගනිමින් කතාව විකාශනය කිරීමට අදහස් කළා. ඒකට එක හේතුවක් වන්නේ නර්තනය කියන්ගේ බොහෝ විස්තර වැල්වටාරම් කියන්න පුළුවන් මාධ්‍යක් නොවීමයි.

වෙනත් විදියකින් කිව්වොත් වචන, දෙබස්වලින් අපට හැඟීම් ප්‍රකාශ කරන්නත් පුළුවන් කරුණු කාරණා විස්තර කරන්නත් පුළුවන්. නැටුමින් කරුණු කාරණා විස්තර කරන්න බැරි වුණත් හැඟිම් ප්‍රකාශනය කරන්න පුළුවන්. නර්තනය කියන මාධ්‍යයේ මූලික පරමාර්ථය වන්නේ මානුෂික හැඟිම් ස්පර්ශ කිරීමයි. ඒ ඔස්සේ ඔතෙලෝහි ප්‍රධාන චරිත වටා ගෙතුණු මූලික කතා සාරය පමණක් විකාශනය කරමින් චරිතවල අභ්‍යන්තර සංකීර්ණ මනෝභාවයන් ඉදිරිපත් කරමින් ඒවායේ ගැටුම් අවස්ථා මතු කරමින් මුද්‍ර නාට්‍ය ඉදිරිපත් කරනවා.

සංගීතය, රංග වස්ත්‍ර භාවිතය ගැනත් පැහැදිලි කළොත්?

සංගීතය කියන්නේ මුද්‍රා නාට්‍යයක වැදගත්ම කොටසක්. ඒක හරියට රෙදි වනලා තියෙන වැලක් වගේ. වැල තමයි සංගීතය. එහි වනා තිබෙන වර්ණවත් රෙදි තමයි අපේ නර්තනය නොහොත් රංග වින්‍යාසය. යම් තැනකින් වැල කැඩුනොත් රෙදිටික සේරම බිම. ඒ නිසා සමස්ත කෘතියක් ලෙස ගලා යාමට සංගීතය ඉතාම වැදගත්.

මෙහි සංගීතය නිර්මාණයේ කළේ මගේ පුතා ජිතේන්ද්‍ර විද්‍යාපති. ප්‍රධාන වශයෙන්ම ඔහු බටහිර සංගීතයේ ක්‍රමවේදයන් බහුලව මේ සඳහා භාවිතා කර තිබෙනවා. විශේෂයෙන්ම භාරතීය අනන්‍යතාවය තිබෙන සිතාරය වගේ භාණ්ඩ හිතාමතාම බැහැර කළා. තෝරාගත් ප්‍රස්තුතය වගේම තෝරාගත් රංග වින්‍යාස ශෛලියටත් ගැළපෙන පරිදි බටහිර සංගීත ලක්ෂණ බොහොමයක් ඔතෙලෝ මුද්‍රා නාට්‍යයෙහි ඇතුළත්. බටහිර සංගීතයේ සංධ්වනිමය ගති ලක්ෂණ මුද්‍රා නාට්‍යය පුරාම තිබෙනවා. මෙහි නැටුමට පාදක වුණේ අපේ රංගන ශෛලීන්, චලනයන්. ඒ නිසා වැඩියෙන් අවනද්‍ය භාණ්ඩ යොදා ගන්නත් තීරණය කළා. රංග වස්ත්‍ර භාවිතයේදී දේශීය මෙන්ම බටහිර වශයෙන් එක්තරා ආකාරයක මිශ්‍ර කිරීමක් සිදු කළා. වර්ණ භාවිතයේදී භූමි වර්ණ යොදා ගැනීම විශේෂයි. පසුතල සැරසිළි සඳහා ලංකාවේ අපේ බලි ශාන්තිකර්ම වල යෙදෙන සැරසිළි ආකෘතිය වඩාත් නූතන අයුරකින් යොදා ගෙන තිබෙනවා.

ලාංකේය කලාව සමඟ මුද්‍රා නාට්‍ය කලාව සම්බන්ධ වෙන්නේ කුමන ආකාරයෙන්ද?

1930 දශකයේ අගභාගයේදී පමණ ලංකාවේ මුද්‍රා නාට්‍ය කලාව ආරම්භ වී 40 දශකයේ දී පමණ විකාශය වීම ඇරඹෙනවා. ඊට 1934 වසරේදී තාගෝර්තුමාගේ පැමිණීම මුල්වෙනවා. එහිදී තාගෝර් තුමාගේ නෘත්‍ය නටක ඇසුරු කළ චිත්‍රසේන, පණීභාරත, වසන්න කුමාර වැනි ශිල්පීන් එයින් ලද උත්තේජනයෙන් ඉන්දියාවට ගොස් ඒ පිළිබඳ ශිල්පීය ඥානය ලබාගැනීමට උනන්දු වුණා. තාගෝර්ගේ නාට්‍ය වගේම අනෙක් පසින් උදයශංකර්ගේ මුද්‍රා නාට්‍යවල ආභාෂයත් අපට ලැබුණා. තවත් පැත්තකින් බටහිර සම්භාව්‍ය මුද්‍රා නාට්‍ය කලාවේ යම් යම් අංගවල ආභාෂයත් මුල් වුණා. මේ තුළින් අපේ ශිල්පීන් 1940 දශකයේ විශේෂයෙන් ලාංකේය නර්තන ශෛලීන් මත පිහිටා මුද්‍රා නාට්‍ය කලාවක් බිහි කළා. එහි කලාත්මක කූඨප්‍රාප්තිය අපි දකින්නේ 1960 දශකයේදීයි. විශේෂයෙන්ම චිත්‍රසේනයන්ගේ ‘කරදිය’, ‘නලදමයන්ති’ නම් මුද්‍රා නාට්‍ය තුළින් දේශීය මුද්‍රා නාට්‍යයේ පැහැදිලි ප්‍රමිතිකරණය පෙන්නුම් කළා. ලාංකේය මුද්‍රා නාට්‍ය වෙනුවෙන් ආකෘතිකමය උදාහරණ ලෙසින් අපට මේ මුද්‍රා නාට්‍ය ද්විත්වය හඳුන්වන්න පුළුවන්.

චිත්‍රසේන යුගයෙන් පසු මෙරට මුද්‍රා නාට්‍ය කලාවේ ප්‍රගතිය?

දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ ගමන් මඟ බැලුවහොත් යම් යම් නැඟිම් බැසීම් දකින්න පුළුවන්. අනූව දශකයේදී රාජ්‍ය මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය සේම විශ්වවිද්‍යාල මට්ටමෙන් මුද්‍රා හැදෑැරීමට අවස්ථාව ලැබීම එහි වර්ධනයට රුකුළක් වුණා. මෙම ක්ෂේත්‍රයේ යම් මට්ටමක ප්‍රවණතා ඇතිවීමේ ලක්ෂණ දකින්න පුළුවන්. පොදුවේ ගත් කළ මේ වනවිට ලංකාවේ මුද්‍රා නාට්‍ය කලාවක් නැති තරම්. මන්ද මුද්‍රා නාට්‍ය නිෂ්පාදන නැහැ. ආධුනික නර්තන ශිල්පින්ට මෙම මාධ්‍ය පිළිබඳ දැනුම අඩුකම එයට ප්‍රධාන හේතුවක්. ඔවුන්ට පූර්වාදර්ශ වන කෘති පසුගිය කාලයේ අඛණ්ඩව නිර්මාණය වුණේ නැහැ.

බොහොම හුදකලා නිර්මාණ පමණක් බිහි වූ බව කියන්න පුළුවන්. මුද්‍රා නාට්‍ය බොහොම ප්‍රබල මාධ්‍යයක්. එහිදී භාෂාවේ බාධක බිඳ දමා අපිට ආංගික භාෂාවෙන් ප්‍රේක්ෂකයාගේ හැඟීම් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ තුළින් ප්‍රබල සමාජ විග්‍රහයන් පවා කළ හැකියි. පසුගිය කාලයේ යුද්ධය පිළිබඳව මුද්‍රා නාට්‍ය තුනක් නිර්මණය කළා. ඒ තුනටම පාදක වුණේ යුද්ධය නිසා මියගිය දරුවන්ගේ මව්වරුන්ගේ ශෝකාලාපය.

වර්තමානය වන විට මුද්‍රා නාට්‍යය වෙනුවෙන් උනන්දුවන පිරිස?

වර්තමානයේ තරුණ පිරිසේ බොහොමයක් මෙවැනි කලාවක් තිබෙන බවට දැනුවත් නැහැ. ඒ වගේම මනාව නර්තනයේ වේදිකා කලා මාධ්‍යයන්හි රංග වින්‍යාසයන්හි පුහුණුව ලත් ශිල්පීන් නැතිකමත් ප්‍රධාන හේතුවක්. මුද්‍රා නාට්‍යයක් වෙනුවෙන් දායක වන ශිල්පියෙකුට වේදිකාවේ නර්තනය පිළිබඳ හොඳ පුහුණුවක් තිබිය යුතු වෙනවා. මන්ද මෙහිදි භාව ප්‍රකාශ වන්නේත් හැඟිම් ඉදිරිපත් වන්නෙත් නර්තනය තුළින්. පොදු සාම්ප්‍රදායික නර්තන පුහුණුවට එහා ගිය නර්තන පුහුණුවක් මුද්‍රා නාට්‍ය ශිල්පියෙකුට තිබිය යුතු වෙනවා. එවැනි පුහුණු ශිල්පීන් අද අඩුයි. මුද්‍රා නාට්‍ය බිහි වෙනවා නම් ප්‍රේක්ෂකයෝ බිහි වෙනවා. ප්‍රේක්ෂකයෝ නැති නම් යළිත් කෘතියක් බිහිවීමේ ප්‍රවණතාව අඩු වෙනවා. මේ තත්ත්වය යටතේ මමත් අද කරන්නේ උඩු ගං බලා පිහිනීමක්.

අපේ සමස්ත නර්තන කලාව තුළම තිබෙන ප්‍රධානම ඛේදනීය තත්ත්වයක් දකින්න තිබෙනවා. වර්තමානයේ තරු සංකල්ප පසුපස යන්න බොහෝ තරුණ තරුණියන් ඇබ්බැහි වෙලා. මෙහිදී දේශීය නර්තන සම්ප්‍රදායන්ම පුහුණු විය යුතුයි කියලා මම කියන්නේ නැහැ. දේශීය හෝ බටහිර හෝ ඉන්දීය හෝ නව නර්තන සම්ප්‍රදායන් වැනි මේ කුමන අංශයක හෝ මනා පුහුණුවක් අවශ්‍ය යි. අද මේ තරු බොහොමයක් බිහි වන්නේ එවැනි පුහුණවක් නොමැතිවයි. ඔවුන් දක්ෂයි. හැකියාව තිබෙනවා. නමුත් ඒ හැකියාවෙන් ඔවුන් කරන්නේ කවුරුහරි හෝ ලබා අදාළ තරඟයට මුහුණ දෙන්න සුදුසු අංග සඳහා සූදානම්වීම පමණයි. ඊට පසු පරම්පරාවල අයට පූර්වාදර්ශ වෙන්නේ ඒ තත්ත්වය යි.

මුද්‍රා නාට්‍ය කලාවේ ඔබ දකින සුවිශේෂත්වය?

මුද්‍රා නාට්‍ය කියන්නේ සුභාවිත නාට්‍ය කලාවක්. කලාවේ පැවැත්ම සඳහා සුභාවිත කලාවන්හි බහුලත්වය තිබිය යුතුයි. අපට සුභාවිත ගීතය තිබෙනවා. සුභාවිත චිත්‍ර මූර්ති කලාවක් තිබෙනවා. සුභාවිත සාහිත්‍ය මගේම සිනමාවක් තිබෙනවා. මුද්‍රා නාට්‍ය සුභාවිත නර්තනයේ එක් ප්‍රධාන ධාරාවක්. දැන් අපේ රටේ නැටුම ලෙසින් බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටින්නේ වාණිජ්‍ය නර්තනය. බොහෝ දෙනෙක් අනුකරණය කරන්නේ ඒ තුළ තිබෙන ඉතාම අධිභූෂිත ලක්ෂණ පමණයි. එහිදී ඔවුන් ඇසුරු කරන්නේ ඇඳුම් පැළඳුම්, චලනයන් ආදියෙහි උවමනාවට වඩා වැඩියෙන් කෙරෙන දේ පමණයි. හොඳ කලාවේ ප්‍රබලම ලක්ෂණය එහි තිබෙන භාවනානුයෝගි බව හා සරළ චාම් බවයි. චාම් බව තිබෙන කලා කෘති වල මෙම චාම් බව දකින්නට පුළුවන්. අපේ අයට නොතේරෙන දෙයත් එයයි. එවිට බාල පරම්පරාව අනුගමනය කරන්නේ අධිභූෂත ලක්ෂණ පමණයි. සුභාවිත නර්තනයක් ලෙස ගෙන ඒමට නම් මුද්‍රා නාට්‍ය කෘති බිහිවීම අවශ්‍යය යි.

අගනුවරින් බැහැරව පේ‍්‍රක්ෂකයන්ට ඔතෙලෝ මුද්‍රා නාට්‍ය ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙනවාද?

නාට්‍ය කලාව සහ ගීත කලාව හැරුණු කොට නර්තනය වැනි අනෙතුක් කලා නිර්මාණ කොළඹ ආශ්‍රිතව පමණක් ඇසුරු කළ හැකි තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා.මේ සම්බන්ධයෙන් එයට පිළියමක් ලෙස පාසල් පද්ධතිය තුළ මෙය ව්‍යාප්ත කරන්න අදහසක් මා තුළ තිබෙනවා. පාසල් විෂය නිර්දේශයේ උසස් පෙළ නාට්‍යකරණය විෂයට පවා දැන් ඔතෙලෝ ඇතුළත් වෙලා තියෙනවා. එයම පමණක් නොව පාසල් අවධියේ පටන් රසඥතාව වර්ධනයට රුකුළක් ලෙසින් ඔතෙලෝ මුද්‍රා නාට්‍යය විවිධ පළාත්වල වේදිකා ගත කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. අවම පහසුකම් යටතේ වුණත් එය වේදිකා ගත කළ හැකියි.

ඔතෙලෝ මුද්‍රා නාට්‍යයේ පිරිවර?

ඔතෙලෝගේ චරිතයට පණ පොවන්නේ දයාන් චම්පික. වනමල් සිල්වා මෙහි ඩෙස්ඩිමෝනා වෙනවා. නූපති නිලම්බර ඉයාගෝ ලෙසත් දිනූෂා රණතුංග එමලියා ලෙසත් සහ කැෂියෝ ලෙසින් ගීත් ප්‍රේමචන්ද්‍රත් චරිත නිරූපණය කරනවා. ඊට අමතරව රවිබන්දු - සමන්ති විද්‍යායතනයේ සාමාජිකයන් දස දෙනෙක් පමණ රංගනයෙන් දායක වෙනවා. සංගීත නිර්මාණය ජිතේන්ද්‍ර විද්‍යාපති. ආලෝකකරණය සිදු කෙරෙන්නේ උපාලි ආරියසිරි විසින්.