වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ තිර රචනයක් ලැබුණොත් සිංහල ඉගෙන ගන්න මම සූදානම්

ජුරාසික් පාක් එපා කියපු ප්‍රංශ නිළිය

හොඳ තිර රචනයක් ලැබුණොත් සිංහල ඉගෙන ගන්න මම සූදානම්

සම්මානනීය ජුලියට් බිනෝශ් ‘සරසවිය’ට කියයි

ග්‍රීක නාට්‍යකරු සොපෙක්ලීස්ගේ ඇන්ටිගනි නාට්‍යය ලොව පුරා වේදිකා නාට්‍ය රසවතුන්ගේ සිත් දිනා ගත්තකි. ගෙවුණු දශක තුනක කාලය තුළ පමණක් මේ අපූරු නිර්මාණය 12 වතාවක් පැරිසියේ වේදිකා ගත වී තිබේ. ඒ අධ්‍යක්ෂවරුන් 12 දෙනෙකුගේ මෙහෙයවීම යටතේය.

ගෙවුණු අප්‍රේල් මාසයේ ඇන්ටිගනි යළිත් වරක් ඉංග්‍රීසි නිෂ්පාදනයක් ලෙසින් පැරිසියේ මනරම් තිියටර් ඩි විලා ඩි පැරිස් ශාලාවේ වේදිකා ගත වන්නට නියමිතව තිබුණි. දින 15 ක් පුරා නොකඩවා වේදිකා ගත වුණු එය නැරැඹීම සඳහා ප්‍රවේශ පතක් සොයා ගන්නට නොහැකි විය. සියලුම ප්‍රවේශ පත් මාස කීපයක පටන් අලෙවි වී හමාරය.

එහෙත් ඉහත රඟහලේ වේදිකා පරිපාලන කණ්ඩායමේ සේවය කරන රියොඩොල්ෆ් ගෝමස් සමීප මිතුරෙකු වූ නිසාම ඉරිදාවක ඇනිටිගනී දැක ගැනීමෙ වාසනාව ලැබුණි. මෙවර නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය රඟදක්වනු ලැබුවේ ප්‍රකට ප්‍රංශ නිළි ජුලියට් බිනෝශ් විසිනි. ඇය බෙහෙවින් සුහද නිහතමානී තැනැත්තියක් බවත් සෑම සවස් යාමයකම රංගනයෙන් පසුව විනාඩි කීපයක් තමන් සමඟ කතාබහේ යෙදෙන බවත් මිතුරා කී විට විනාඩි කීපයක පුවත් සාකච්ඡාවක් ශ්‍රී ලාංකික පුවත්පතකට ලබා ගන්නට අවසර ඉල්ලා සිටියෙමි. ඇය කැමැත්ත දැක්වීලු. මේ එහි ප්‍රතිඵලයයි.

ජුලියට් බිනෝශ් බොහෝ විට ලාංකික සිනමා රසිකයන්ට නුපුරුදු නිළියක් වන්නට පුළුවන. එහෙත් ඇය වත්මන් අන්තර් ජාතික සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනන චරිතයකි. විශේෂයෙන් ප්‍රංශ කලාත්මක සිනමාවේ (ආර්ට් ෆිල්ම් හෝ ආර්ට් හවුස් නමින් හඳුන්වන ස්වාධීන නිෂ්පාදන) නම ගත් තැනැත්තියකි. වේදිකා නිළියකි. නෘත්‍යාංගනාවකි. ලේඛිකාවකි. වර්ෂ 1988 දී UNBEARABLE LIGHTNESS OF BEING  චිත්‍රපටයේ රඟපෑමෙන් ජාත්‍යන්තර සිනමාවේ මුල් පියවර තැබූ ජුලියට් බොහෝ දෙනාගේ අවධානයට පත් වූයේ 1996 දී ඇන්තනි මින්ගෙලාගේ ENGLISH PATIENT  චිත්‍රපටයේ රඟපාමින් හොඳම සහාය නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් පසුවය. එපමණක් නොවේ.

ලොව ප්‍රධානතම සිනමා සම්මාන උත්සව වන කෑන්ස්, බර්ලින් සහ වැනිස් යන උත්සව තුනේදීම ප්‍රධාන නිළි චරිතයට සම්මාන දිනාගත් එකම නිළිය ද ඇයයි. වර්ෂ 1993 දී වැනිස් උළෙලේදී ක්‍රිස්ටොෆ් කිස්ලොව්ස්කිගේ THREE COLORS BLUE චිත්‍රපටය ද, 1997 බර්ලින් උළෙලේදී ENGLISH PATIENT  චිත්‍රපටයට ද, 2010 දී කෑන්ස් හිදී CERTIFIED COPY වෙනුවෙන් ඇය හොඳම නිළි සම්මානය දිනා ගත්තාය.

1964 මාර්තු 9 වැනි දින පැරිසියේදී උපත ලැබූ ජුලියට් සිව් වරක් විවාහ වූවාය. ඒ සුප්‍රකට සිනමාකරු ලියොස් කැරැක්ස්, සිනමා නළු ඔලිවියර් ටාටිනස්, නළු බෙනෝ මැගිමෙල් හා සිනමාකරු සැන්ටියාගේ අමිග්‍රෝනා සමඟය.

සත්‍ය වශයෙන්ම ජුලියට් බිනෝශ් සුහදශීලී කාන්තාවකි. ඇය ප්‍රංශ සිනමාවෙත්, ලෝක සිනමාවේත් කැපී පෙනෙන, කතාබහට ලක් වන, ගෞරවයට පාත්‍ර වුණු කලාකාරියකි. එහෙත් ඇගේ නිහතමානී බවේ සීමාවන් පෙනෙන්නට නොමැත. කිසිදු දිනක අසා නොමැති, කියන්නට නොලැබෙන ලාංකික සිනමා පුවත්පතක් වෙනුවෙන් ඇය විනාඩි කීපයක් ලබා දුන්නා පමණක් නොවේ. මව්බිමේ තොරතුරු සිංහල සිනමාවේ තොරතුරු තවත් විනාඩි විස්සක පමණ කාලයක පුරා විමසා සිටියාය. මේ ඇය සමඟ ගත කළ කාලයේ දී සටහන් කර ගත් කතාබහයි.

චිත්‍රපට නිෂ්පාදකයන් තමන්ගේ නිර්මාණ සඳහා ඔබේ දින බලාපොරොත්තුවෙන් සිටිද්දී වේදිකා නාට්‍යක රඟන්නට ඔබ ඉදිරිපත් වුණේ ඇයි? නළුවෙකුට හෝ නිළියකට වේදිකාවේ රඟපෑම කොතරම් දුරට තමන්ගේ වෘත්තිය වෙනුවෙන් උපකාර වන්නේද?

මම හිතන්නේ ඇමරිකාව හා බොහෝ යුරෝපීය රටවල නළු නිළියන්ට ලැබෙන සුවිශේෂ වරප්‍රසාදයක් තමයි සිනමාව හා වේදිකා නාට්‍ය යන ක්ෂේත්‍ර දෙක විටින් විට තෝරා ගැනීමේ හැකියාව ලැබීම. ඔබ සිනමා නිළියක් නම්, අවසන් චිත්‍රපටයෙන් හොඳ වැටුපක් ලැබුණා නම් ඊළඟ චරිතය ලැබෙන තුරු ඔබට හැකියාව තියෙනවා වේදික නාට්‍යයක චරිතයක් රඟපාන්න. මගේ පරපුරේ ප්‍රංශ නිළියන් බොහොම දෙනෙක් රඟපෑමේ පාසැල්වලින් බිහිවුණු අය. ඒත් අපි තවම රඟපෑම ඉගෙන ගන්නවා. වේදිකාව තරම් වටිනා තැනක් නැහැ රඟපෑම ඉගෙන ගන්න. එය රඟපෑම ගැන පමණක් නොවෙයි තමන්ගේ ආත්ම අභිමානයට අභියෝග කරන්නක්.

ආත්ම විශ්වාසයට පදනම දමන්නක්. ආත්ම සංයමයට උපකාර වන්නක්. විශේෂයෙන් ඇන්ටිගනී වගේ නිර්මාණයකට දායක වීම විශාල අභියෝගයක්. එය හැමදාම සවස් යාමයට සංග්‍රාමයට යනවා වගේ කාර්යයක්. අනෙක මේ නිෂ්පාදනය ඉංග්‍රීසියෙන් බිහිවුණු එකක්. මා ඉංග්‍රීසි කතා කළත් එය මගේ මව් බස නෙවෙයි. ඔබ දකින්න ඇති ගෙවුණු සති දෙක පුරා යුරෝපයේ හැම රටකින්ම රසිකයෝ පැමිණියා එය නරඹන්නට. එයින් සියයට අනූනවයක් දෙනා ඇන්ටිගනී කළින් නරඹපු අය. බොහෝ දෙනෙක් එය හදාරලා තියෙනවා. මගේ වගකීම ඔවුන්ව සතුටු කිරීමයි. මෙය බෙහෙවින් වෙහෙස වී අංශක ගණනට හදාරලා සිදු කළ යුතු කාර්යයක්. මෙවැනි අභියෝග ලැබෙන්නේ වේදිකාවේදී පමණයි. වේදිකාව සමඟ සසඳන විට සිනමාව බොහෝ පැතිලි තැනක් කියලයි මට හිතෙන්නේ.

සෑම දිනකම නාට්‍ය ආරම්භ වන්නට පැය දෙකකට කළින් ඔබ ඔබේ කාමරයට වැදෙනා බවත් ඒ කාලය පුරා තමන්ට බාධා නොකරන මෙන් සියලු දෙනාට දන්වා ඇති බවත් දැනගන්නට ලැබුණා. මේ කාලය ඔබ ගත කරන්නේ කුමන කරුණක් සඳහාද?

මගේ රංගනයට මා සූදානම් වන්නේ ඒ පැය දෙකක කාලය තුළදියි. මේ කාලය තුළ මා නැවත නැවතත් දෙබස් පුහුණු වෙනවා. අංග චලනයන්. මගේම රංගනයන් ගැන ස්වයං විවේචනයක යෙදෙනවා. මේ කාලය තුළ මට ලැබෙනවා පෙර දිනයේ මගේ රංගනයේ වීඩියෝ පටය. එහි ඇතැම් තැන් නරඹා රඟපෑමේ අඩුපාඩු මා විසින්ම සොයා ගන්නවා.

මා හිතනවා නළුවෙක් හෝ නිළියක් වශයෙන් ඔබේ රඟපෑමේ හැකියාව හෝ විහැකියාව එසේත් නැතිනම් අඩුපාඩු ඔබ විසින්ම සොයා ගත යුතුයි කියා. අද විචාරකයන් බොහෝ දෙනෙක් නළු නිළියන්ගේ අඩුපාඩු කියන්නට කැමැති නැහැ. ගෙවුණු වසර හයක හතක කාලයේදී කිසිවෙක් කිසිම තැනක මගේ වැරැද්දක් කියලා නැහැ. ඒත් මම දන්නවා මගේ අතින් සිදුවන වැරැදි මොනවාද කියලා. තමන්ගේ වැරැද්ද තමන්ට හදා ගන්නට නොහැකි නම් ඔබට හොඳ නිළියක් විය නොහැකියි. ඉතිං නාට්‍යයට කළින් පැය දෙකක කාලයක් පුරා මා කරන්නේ හුදෙක්ම මගේ වැරැදි නිවැරැදි කර ගැනීමයි. එය භාවනාවක් වගේ දෙයක්.

ඔබ බොහෝ ප්‍රකට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ ප්‍රතික්ෂේප කරපු අයෙක්. වරෙක ස්ටීවන් ස්පීල්බර්ග් ගේ නිර්මාණයකට ඔබ අකමැත්ත ප්‍රකාශ කළා. ස්පීල්බර්ග් වගේ තැනැත්තෙක්ව ප්‍රතික්ෂේප කරන්න යම් අයෙකුට හැකියාව ලැබෙන්නේ කොහොමද?

(සිනහසෙමින්) ස්පීල්බර්ග් ලොව පාලන දෙවි කෙනෙක් නොවෙයි? ඔහුගේ චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කරපු පළමු නිළිය මම නොවෙයි. ඔබ දන්නවා යුරෝපයේ බොහෝ රටවල විශේෂයෙන් ප්‍රංශයේ තරු නැහැයි කියලා. සිටින්නේ නළු නිළියන් පමණයි. මම මගේ දවසට මුහුණ දෙන්නේ සාමාන්‍ය ආකාරයෙන්. මම ඔස්කාර් දිනා ගත්ත නිළියන් වෙන්න පුලුවන්. ඒත් මම සුපර් මාකට් යන්නේ තනියම. මම බයිසිකලෙන් තමයි පැරිසියේ හැම තැනම යන්නේ. මිනිස්සු මාව හඳුනා ගන්නවා. සිනහ වෙනවා. ඇතැම් විටක කතාබහ කරනවා. ඒත් සමරු සටහන් ඉල්ලන්නේ නැහැ. මම තරුවක් නොවෙයි. ස්පීල්බර්ග්ගේ චිත්‍රපටයකදී නළු නිළියන්ගේ දස්කම් ඉස්මතු වෙන්නේ කලාතුරකින් කියලයි මට හිතෙන්නේ. මා ඔහුගේ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළේ නිළියක් වශයෙන් කරන්නට යමක් මට එහි නොවුණු නිසයි.

තරුවක් වීමේ වුවමනාව ඔබ සතුව කිසි දිනක තිබුණේ නැද්ද?

නැහැ. මා රඟපෑම හැදෑරුවේ රඟපාන්න. මගේ ගුරුවරු කියා දුන්නේ රඟපෑම් පදනම මිස තාරකාව වීමේ පදනම නොවෙයි. පෞද්ගලිකව මා වාසනාවන්තයි මුල් කාලයේදී මුදල් හොයන්නට රඟපෑමේ වුවමනාවක් මට තිබුණේ නැති නිසා. මුල් චිත්‍රපට කීපයෙන් ලැබුණු ආර්ථික වාසියෙන් පසුව සහ කීර්ති නාමය නිසා ස්පිල්බර්ග් ජුරාසික් පාක් චිත්‍රපටයේ චරිතය මට ලබා දුන්නාම තෝරා ගැනිමේ අවස්ථාවක් මා ඉදිරියේ තිබුණා. මේ චිත්‍රපටය තෝරා ගත්තා නම් කිස්ලොව්ස්කිගේ බ්ලූ චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්නට මට සිදු වෙනවා. මේ චිත්‍රපටයේ චරිතය බොහොම සංකීර්ණ එකක්. ගැඹුරු එකක්. මම හිතන්නේ මගේ තෝරා ගැනීම හොඳයි. ජුරාසික් පාක් හි ලෝරා ඩර්න් ගේ චරිතය ගැන කිසිවෙක් කතා කළේ නැහැ. එහෙත් බ්ලූ හි චරිතය ගැන බොහෝ දෙනා කතා කරනවා. මට සම්මාන කීපයකුත් ලැබුණා.

ඔබ චිත්‍රපටයක් තෝරා ගන්නා විට තිර රචනයට අමතරව එහි අධ්‍යක්ෂවරයා ගැන විශේෂ සොයා බැලීමක් කරන බව දැනගන්නට ලැබෙනවා. මේ සොයා යාමේ තේරුම කුමක්ද?

මම අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික දිවිය ගැන සොයා බලන්නේ නැහැ (සිනහ සෙමින්) එහෙත් මගේ දිවිය කාර්යබහුලයි. නිළියක් වශයෙන් මෙන්ම අනෙක් කලා කටයුතුවල යෙදෙනා අතරම මගේ පෞද්ගලික දිවිය ගැන සැළකිලිමත් විය යුතුයි. මගේ දරුවන් දෙදෙනා (ඇය දියණියන් දෙදෙනෙකුගේ මවකි) ගැන සොයා බැලිය යුතුයි. මේ නිසා නිරපරාදේ විනාශ කරන්නට කාලයක් නැහැ. අපි කිසිම කෙනෙක් කැමැති නැහැ තමන්ගේ කාලය නිරපරාදේ විනාශ වෙනවා දකින්න විශේෂයෙන් මම කැමැති නැහැ.

මේ නිසා මම මුලින්ම සොයා බලන්නේ අධ්‍යක්ෂවරයාගේ අනෙක් නිර්මාණ මොනවාද කියායි. විශේෂයෙන් නවක අධ්‍යක්ෂවරුන්ගේ පෙර නිර්මාණ. අඩුම තරමින් ඔවුන්ගේ කෙටි චිත්‍රපටයක්වත් මා නරඹන්න ඉල්ලා සිටිනවා. ඒ වගේම තිර රචනය මා කැමැති නම් අධ්‍යක්ෂවරයා සමඟ දිගින් දිගටම ඔහු නිළියක් වශයෙන් මගෙන් බලාපොරොත්තු වන දේ ගැන කතා කරන්න මා උත්සාහ ගන්නවා. මේ ආකාරයෙන් පැය ගණනාවක් කතා කරද්දී මට වටහා ගන්න පුළුවන් ඔහු සමඟ වැඩ කරනවාද නැද්ද කියා.

මේ ආකාරයෙන් ඔබ බොහෝ අධ්‍යක්ෂවරුන්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවාද?

සත්‍ය වශයෙන්ම මෙය ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි. නිර්මාණයට දායක වෙන්න මගේ අකැමැත්ත ප්‍රකාශ කිරීම පමණයි.

බොහෝ සිතා මතා භාර ගත්තත් රූපගත කිරීම් අතරමඟදී ඔබට සිතිලා තියෙනවාද ඔබ ගත්තේ වැරැදි තීරණයක් කියලා?

එවැනි අවස්ථාවකට මම මුහුණ දීලා තියෙන්නේ එක් වතාවකදී පමණයි. මා වටා සිටි හැම දෙනාම කීවා ඒබල් ෆෙරාරාගේ මේරි චිත්‍රපටය භාර ගන්න එපා කියලා. ඒ ඔහු තරමක මතභේදකාරී අධ්‍යක්ෂවරයෙක් නිසා. මට හිතුණා ඔහු සමඟ වැඩ කරන්න. ඒත් රූපගත කිරීම් ආරම්භ වී සතියක් ගත වන විට මා තේරුම් ගත්තා මගේ තීරණය වැරැදි බව. සත්‍ය වශයෙන්ම ඔහු සමඟ වැඩ කිරීම අපහසුයි. (සිනහසෙමින්) මා මෙය ප්‍රකාශ කරන්නේ ඒබල් ඔබේ පුවත්පත කියවන්නේ නැති බව දන්නා නිසයි.

ඇතැම් ප්‍රංශ අධ්‍යක්ෂවරුන් හොලිවුඩ් පුරයෙන් ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කරනවා එහිදී තමන්ට ලැබෙන නිදහස අඩු යැයි කියමින්. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ප්‍රංශය හා ඇමරිකාව එකිනෙකට වෙනස් රටවල් දෙකක්. සිතුම් පැතුම් හා සිනමා ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන ආකාරය එකිනෙකට වෙනස්. හොලිවුඩ්පුරයේ බහුතරය සිනමාව ගැන සිතන්නේ හුදෙක්ම මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙසින් පමණයි. සිනමාවේ නාමයෙන් චිත්‍රපට නිපදවීමේ වුවමනාවක් ඔවුන්ට නැහැ. මෙයට වරදක් කියන්නට බැහැ. සත්‍ය වශයෙන්ම කර්මාන්තය ආරක්ෂා විය යුතුයි. ලාභයක් නොලබා කලා කාර්යයන්හි යෙදෙන්නට හැකියාව තිබෙන්නේ රජයට පමණයි.

ප්‍රංශ රජය මේ තත්ත්වය බොහෝ කාලයක පටන් වටහා ගෙන තියෙනවා. ප්‍රංශයේදී අපි කැමැති චිත්‍රපට කරන්නට ලැබෙන නිදහස හොලිවුඩ් පුරයේදී ලැබෙන්නේ නැහැ. හොලිවුඩ්පුරය කියන්නේ දැඩි නීතිවලට යටත් වුණු තැනක්. ඇත්තටම මට හිතා ගන්න බැහැ එවැනි තැනකින් සාර්ථක කලා කෘති බිහි වෙන්නේ කොහොමද කියලා. විශේෂයෙන් චිත්‍රපටයේ අවසන් පිටපතේ වගකීම බොහෝ විට අධ්‍යක්ෂවරයාට ලැබෙන්නේ නැහැ. ප්‍රංශයේ තත්ත්වය වෙනස්. මේ නිසයි අපේ අය හොලිවුඩ් හි වැඩ කරන්න අකැමැති.

මගේ රටේ එනම් ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ භාර ගන්නවාද?

මට වැදගත් වෙන්නේ අධ්‍යක්ෂවරයාගේ ජාතිය හෝ ආගම නොවෙයි. තිර රචනය පමණයි වැදගත් වෙන්නේ. ඒ වගේම මා කළින් කීවා වගේ අධ්‍යක්ෂවරයාගේ පෙර නිර්මාණ ගැන දැනගත යුතුයි. ඔබේ රටේ අධ්‍යක්ෂවරයෙක් මට හොඳ තිර රචනයක් ලබා දුන්නොත් ඔබේ මව් භාෂාව ඉගෙන ගන්න වුණත් මම ලැහැස්තියි.