කන්දක් සේමා එක්තරා ආකාරයක දේශපාලන සිදුවීමක්
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියෙකු දක්වන අදහස් ඇතුළත් අලුත්ම ලිපි මාලාව
කන්දක් සේමා
එක්තරා ආකාරයක දේශපාලන
සිදුවීමක්
සුමිත්‍රා රාහුබද්ධ
කලා කෘති කලාකරුවන්ට දරුවන් හා සමාන වන්නේය. මව්පියන් දරුවන් පණ මෙන් සුරකින්නාත්
මෙන් ඔවුහු ද තම කෘතින් මහත් ආදරයෙන් රචනා කරන්නේය. ඒවා සුරක්ෂිත කරන්නේය. ආදරණීය
පාඨකයා වෙනුවෙන් තිළිණ කරන්නේය. සාහිත්‍යකරුවන් තම කෘති පිළිබඳ සිහිපත් කරන මං
සලකුණු ඔස්සේ අද කතා බහට පැමිනුණේ සම්මානලාභි ප්‍රවීණ ලේඛිකාවක වන සුමිත්‍රා
රාහුබද්ධ. ඇය විසින් රචනා කරන ලද කෘති රැසක් අතුරින් මං සලකුණු වෙනුවෙන් තෝරා ගත්තේ
බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ කෘතියක් වූ ‘කන්දක් සේමා’ කෘතිය යි. කන්දක් සේමා කෘතිය
2010 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ඇතුළුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයීය සාහිත්‍ය
සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා.
කන්දක් සේමා නවකතාව සිනමා නිර්මාණයක් ලෙසින්ද නිර්මාණ වී ලබන වසරේදී තිරගතවීමට
සූදානම් ඇති අතරේ කන්දක් සේමා නවකතාව පිළිබඳ වූ තවත් තොරතුරු අපි ඇයගෙන් විමසමු.
කන්දක් සේමා කතාබහට ලක්වීමට විශේෂ හේතුව ලෙස ඔබට හැඟෙන්නේ?
මේ කතාවේ පසුබිම ගත්තොත් දැක්වෙන්නේ ලාංකේය ස්ත්‍රියක් ජපානයට ගිය ගමනේ්දී
බලාපොරොත්තු වූ දෙය, එයින් ඉෂ්ඨ වූ දෙය වගේම ඒ සිදුවීම් සමඟින් ඇය ඇය ලෙසින් නැඟී
සිටින ආකාරය යි. කන්දක් සේමා නවකතාව විශේෂ කොට සළකන්නේ මේ නවකතාව ඒ පසුබිම තුළ
කාන්තාවකට සිදු වන දේ පිළිබඳව අසා තිබුණද දැගනෙත නොතිබුණු කතාවක් ගෙන ඒමයි. මැද
පෙරදිග යන කාන්තාව ගැන අපි නොයෙකුත් තොරතුරු විස්තර අහලා දැකලා තියෙනවා.
මැදපෙරදිග
යන කාන්තාව මුහුණ දෙන ප්‍රශ්න ගැන අපි දැනුවත්. ඒ වුණත් බටහිර රටවලට යන අපේ කාන්තාව
ගැන අපි දන්නේ නැහැ. ජපානයට යන කාන්තාවෝ ගැන අපි දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි
ජපානයට කාන්තාවෝ යනවාද කියලාවත් අපි දන්නේ නැහැ. ජපානයේ නීගතා, නගෝනා වැනි පළාත් වල
අපේ සිංහල කාන්තාවන් රැසක් ජීවත් වෙනවා. කන්දක් සේමා නවකතාව තුළ ජීවන් වන්නේ ඔවුන්.
එය අපට අලුත් අත්දැකීමක් ලෙසින් විශේෂ වුණා.
අපේ කාන්තාවන් පමණක් කොහොමද නීගතාව, නගෝනා පදිංචිකරුවන් වුණේ?
ඒ සම්බන්ධව ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඉතිහාසයේදී නීගතාවේ වයස්ගත පුරුෂයන්
විවාහකර ගන්න එහි කාන්තාවන් කැමැති වුණේ නැහැ. ඒකට හේතුව වුණේ ගංගාවක්. ෂිනානෝ
ගංගාව පිටාර ගැලීම තමයි ප්‍රධානතම හේතුව. ෂිනානෝ ගඟ හැමදාම පිටාර ගැලුවා. ඒකට හේතු
වුනේ කන්දක්. ෂිනානෝ ගංඟාව මුහුදට වැටෙන්න පෙර මේ කන්ද බාධකයක් ලෙසින් නැඟි සිටියා.
ඒ නිසාම ෂිනානෝ ගඟේ වතුරට මුහුදට ගලන්න ලැබුණේ නැහැ. මේ කන්ද කපන්න අවශ්‍ය වුණා. මේ
කන්ද කපන කාලයේදී තමයි නීගතාවේ පිරිමින් විවාහ කර ගැනීම එහි කාන්තාවන් ප්‍රතික්ෂේප
කළේ.
කන්ද කැපුවේ පිරිමි. යන්ත්‍ර සූත්‍ර, යානවාහන නොතිබුණු ඒ කාලයේ කන්දේ කපන පස් තම
පිට මත තබගෙන කිලෝමීටර් ගණනාවක් දුර යාමට නීගතාවේ කාන්තාවන්ට සිදු වුණා. කාන්තාවන්ට
මෙය මහා දුක්ඛදායක දෙයක් වුණා. ඇත්තටම ඒක ලෙහසි පහසු දෙයක් නෙවෙයි. මේ හේතුව නිසා
නිගතාවේ පුරුෂයන් සමඟ විවාහ නොවීමට එහි කාන්තාවන් සම්මුතියකට පැමිණුනා. එය
සම්ප්‍රදායක් ලෙසින් නිර්මාණය වී නීගතාවේ කාන්තාව එහි පිරිමින් අතහැර ටෝකියෝ වැනි
නගර වෙත යාමට හේතු වුණා.
ජපානය කියන්නේ වෙනත් රටක පුද්ගලයෙකුට ලෙහෙසියට පහසුවට ඇතුල් වෙන්න පුළුවන් රටක්
නොවෙයි. ඒ වුණත් පිලිපීනය, ඉන්දියාව සහ ලංකාව වැනි රටවලින් කාන්තාවන් විවාහ කරගෙන
කැඳවාගෙන ඒමට නීගතාවේ පුරුෂයන්ට අවසරය ලැබුණා. සිංහල කාන්තාවට නීගතාවට යාමට මේක
තමයි පදනම වුණේ. ඒ අනුව ගිය කාන්තාවක් විඳි අත්දැකීම් සම්භාරය තමයි කන්දක් සේමා
කතාවෙන් කියවෙන්නේ.
කන්දක් සේමා තුළ ඔබ දුටු කතාව කුමක්ද?
මේ සිදුවීම එක්තරා ආකාරයක දේශපාලනික සිදුවීමක්. මේ විදියට නීගතාවේ මහළු ගොවියන්ට
කසාද බන්දලා දෙන්න රැගෙන ගියේ බොහොම ළාබාල තරුණියන්. ඒක අතීතයේදී වෙළෙඳ ව්‍යාපාරයක්
වුණා. මේ තත්ත්වයට පත් වූ බොහොමයක් කාන්තාවන් ජීවිතයේ විවිධ ගැටළුවලට මුහුණු දුන්
අය. ජපානය වැනි රටකට ගිය පසු ඇයගේ ඥාතින් හිතන්නේ ඇයගේ ජීවිතය සියලු සැප සම්පතින්
සෞභාග්‍යයෙන් පිරි යනු ඇති බවයි. ගිය පසු ඒ පරිසරයට අනුගත වීම වගේම භාෂා ප්‍රශ්නයත්
ප්‍රබල ලෙසින් අත්විඳින්න සිදු වෙන දෙයක්. වයස්ගත පිරිමියෙක් සමඟින් ජීවත් වීම වගේම
සෘතු හතරකටත් ඇය මුහුණ දිය යුතු වෙනවා. රැකියා ප්‍රශ්නයත් එහෙමමයි. නීගතාවේ
තියෙන්නේ සැප පහසු ජීවිතයක් නොවෙයි. ඔහු ගොවියෙක් වුණොත් උදේ පාන්දර සිට රාත්‍රි
කළුවර වැටෙනකල් ඔහු ගොවිතැන් කටයුතු වල නිරත වෙනවා. එහිදී බිරිඳත් සැමියා සමඟින්
හරි හරියට වැඩ කටයුතු කළ යුතු වෙනවා. නීගතාවේ මුදල් හම්බ කිරීම ලෙහෙසි පහසු එකක්
නෙවෙයි. කන්දක් සේමා නවකතාවේ නූපා ලංකාවෙන් නීගතාවට ගොස් තම ධෛර්යයෙන් නැගී සිටින
අපේ සිංහල තරුණ කාත්නාවක්.
නූපා කන්දක් සේමා කරා ගෙන ආවේ කෙසේද?
එක්තරා තරුණ කාන්තාවක් මගේ දුල දුලාය කියවලා ජපානයේ සිට සිට මට කතා කළා. ඒ අනුව ඇය
මුහුණ දුන් තත්ත්වය පවසන්න මට කතා කළා. සාමාන්‍ය කතාවක් කියලා හිතුවත් දවසක් දෙකක්
කතා කරන විට මෙහි යම් දෙයක් තිබෙන බව මට තේරුම් ගියා. මාස දෙකක් පමණ දවසට පැය එක
හමාරක් විතර අපි කතා කළා. ඇය කී දේ මා අසා සිටියා.
ඇය ඉතාම හොඳින් සන්නිවේදනය කළ හැකි කාන්තාවක්. ඇය කතා කළේ ඇයට සිදු වූ පීඩාව. ඒක ඒක
පාර්ශවීයයි. එහි අපූර්වත්වය මට දැනුණා නමුත් මෙහි සමාජ ආර්ථික පසුබිම, පරිසරය ඇයට
කියන්න බැහැ. ඒ නිසා මම නීගතාවට යන්න තීරණය කළා. එහි මම වැඩියෙන්ම ප්‍රිය කළේ
ෂිනානෝ ගංඟාවට. නීගතාවට ගිය මම ඇයවත් හොයා ගත්තා. මට අවශ්‍ය තොරතුරු ලබා ගන්න ඇය
තමයි මගේ මග පෙන්වන්නිය වුණේ.
කන්දක් සේමා ඇයගේ සත්‍ය කතාවද?
මේක අර කාන්තාවගේ කතාවම නොවෙයි. ඒ ඔස්සේ නිර්මාණය කල වෙනත් කතාවක්. ඒ කාන්තාව මුහුණ
දුන් සියලු දේ මෙය නොවෙයි. ඇය මහළු ජපන් ජාතිකයෙකු සමඟ විවාහ වෙලා ගිය පසු ඇය
බලාපොරොත්තු වූ දෙය සිදු වුණේ නැහැ. නමුත් මගේ කතාවේ නූපා ඇයට වඩා ගොඩක් වෙනස්. ඇය
බොහෝ අභියෝගවලට මුහුණ දිය යුතුයි. තරුණ කාන්තාවක වශයෙන් මහළු සැමිියෙකු සමඟ ජීවත්
වීම, තරුණියකට ඇතිවන හැඟීම්, සැමියාගේ අකමැත්ත මත ඔහුගෙන් දරුවෙකු හදා ගැනීම, එහි
සමාජයට හුරු වීම, සංස්කෘතියට හැඩ ගැසීම, භාෂා ප්‍රශ්නය ආදි නොයෙකුත් ගැටළු රැසක් ඇය
හමුවේ තිබෙනවා. සියලු කරදර හමුවේ නූපා, නූපා ලෙසින් නැඟි සිටියා. ඒ කියන්නේ
හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ඒ වගේ තවත් අය නීගතාවේ ඉන්නවා. නමුත් ඒ හැමෝම නැඟී
සිටින්නේ ජපානයට ගිය පිනෙන් නෙවෙයි. ඔවුන්ගේ හොඳ හිත, කල්පනාව සහ ධෛර්ය නිසා.
කන්දක් සේමා තුළ කාන්තාව විශේෂිතද?
කාන්තාව වෙනුවෙන් මගේ හිතේ තියෙන දයාව සහ කරුණාව නිසා ඇතැමුන් මා කාන්තාවන්
වෙනුවෙන් ලියන කෙනෙක් හැටියට හඳුන්වනවා. නමුත් මා ලියන්නේ කාන්තාවන් වෙනුවෙන් පමණක්
නොවෙයි. කන්දක් සේමා කෘතිය බැලුවහොත් නූපාගේ සැමියා මසායා චරිතය නූපාගේ චරිතය වගේම
පාඨක අනුකම්පාවට දයාවට පාත්‍ර වූ චරිතයක්. මේ අතරින් කාන්තාව කියන චරිතය විශේෂ
කිරීමට ඇතැමුන් උනන්දු වෙනවා. නමුත් මම ලියන්නේ පොදුවේ මනුෂ්‍යත්වය ගැනයි. එහිදි
පිරිමියාද ගැහැනියද කියන එක මට වැදගත් නැහැ. කන්දක් සේමා තුළ මසායා සාන් දෙස
බැලුවහොත් එය හොඳින් තේරුම් ගන්න පුළුවන්.
ජපානය සුන්දරත්වයෙන් පිරි රටක්. එය ඔබේ නිර්මාණ තුළ දැක්වෙන්නේ?
ජපානය කියන්නේ ඉතා සුන්දර රටක්. සකුරා මලින් පිරි පරිසරය ගෙන දෙන්නේ වෙනස්ම
සුන්දරත්වයක්. ජපානයේ නීගතාවට ගිය පසු මම මුලින්ම ගියේ ෂිනානෝ ගඟ බලන්න. ෂිනානෝ ගඟ
මගේ හිතගත් සුන්දර ස්ථානයක්. ෂිනානෝ ගඟ දෙපසත් රූගත කිරීම් සිදු කළා. එහි තිබෙන
තවත් විශේෂිත තැනක් තමයි ඖකියගාරා වනාන්තරය. කෙතරම් සුන්දර වුණත් ජපානය සියදිවි නසා
ගන්නා රටක්. මේ වනාන්තරයේදී තමයි එහි මිනිසුන් සියදිවි නසා ගන්නේ. සියදිවි නසා
ගැනීම වළක්වන්න රාජ්‍ය සංවිධාන වගේම රාජ්‍ය නොවන සංවිධානත් ඉදිරිපත් වෙලා සිටිනවා.
සියදිවි නසා ගැනීම අධෛර්යමත් කරන විවිධ බෝඩ් එහි ප්‍රදර්ශනය කිරීම එහි විශේෂයි. ණය
ගෙවා ගන්න නොහැකි නම් ණය ගෙවන බවට පොරොන්දු වගේම ප්‍රේම සම්බන්ධතා නිසා සියදිවි නසා
ගන්න අයටත් පවුලේ අනෙක් අය හිතන්න විවිධ දේ එහි ප්‍රදර්ශනය කෙරෙනවා. එතැනත් යම්
සාහිත්‍යයක් තියෙනවා.
උගියාමා පන්සලත් මේ නවකතාව තුළ විශේෂිත ස්ථානයක්. මම මේ පන්සලට ගියේ අර කාන්තාව
සමඟ. එහි මිනිසුන්ට නම් දෙන්නේ පන්සලෙන්. ඇයගේ සැමියාට හොඳ පිළිගැනීමක් තිබුණා.
පන්සලේ තියෙන වටිනාම නම දීලා තියෙන්නේ ඇයගේ සැමියාට. අපේ රටේ වගේම එහිදී පඬුරු ගැට
ගසා තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඒවා ඉතාම පිළිවෙලට හරිම ලස්සනට අමුණා තිබුණා.
කන්දක් සේමා චිත්‍රපටය වෙනුවෙනුත් අපි යොදා ගත්තේ මේ පන්සලයි.
මේ සමඟ සබැඳි ජපානයේ ජනජීවිතය?
මම ගිය ගමනේදී අපි සමඟින් සංගීතඥයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ තවත්
කලාකාරිණියක් සම්බන්ධ වුණා. මේ සංගීතවේදියා ගේ නිවෙසට මට රාත්‍රි භෝජන සංග‍්‍රහයකට
ආරාධනා ලැබුණා. එහි ගිය පසු ඔහු කැමැතිම සංගීත භාණ්ඩය වාදනය කර පෙන්නුවා. නවකතාවට
සමිෂෙන් වාදනය ඇතුළත් කරන්න එය විශාල බලපෑමක් කළා. කන්දක් සේමා තුළ ඉතා අපූරු
ලෙසින් සමිෂෙන් වාදනය කෙරෙනවා. ඉන්පසු ඔහු බටනලාව වාදනය කළා. වසර ගණනාවක් පුරා ඔහු
වාදනය කළ ඒ බටනළාව මට තෑගි කළා. ඔවුන් තුළ විශාල ආදර කරුණාවක් තියෙනවා. ඒ වගේම
ජපානයේ තේ කෝප්පයක් නිර්මාණය කිරීම තුළ පවා තිබෙන්නේ කලාවක්.
යතේජා ඥානරත්න
ඡායාරූපය – මාලන් කරුණාරත්න
|