|
ඉතාලියේ හැදුන ලංකාවේ වෙස් බඳින අයියයි නංගියි
ලොව අද නර්තනයට හිමිවී තිබෙන්නේ විශේෂිත වූ ස්ථානයකි. සාම්ප්‍රදායික නර්තනය සේම ඉන් ඔබ්බට ගොස් වූ නිර්මාණශිලී වෛවාරණ නර්තනාංගයන්ගෙන් අද ලෝකයම හැඩ වී ඇති සේය. එසේම වර්තමානයේ නර්තනයට යොමු වන පිරිසේද යම් වර්ධනයක් දකින්නට හැකිවී තිබේ.
වසර ගණනාවක් පුරා නර්තනය හදාරමින් එය වේදිකාව මත ගෙනහැර පාමින් පැමිණි මලිඳුගේත් සයුරිගේත් ජීවිතවල විශේෂ දිනයකට කාලය ළං වෙමින් ඇත. නර්තන ශිල්පියෙකුගේ කලා ජීවිතයේ වටිනාම දිනය වන්නේ වෙස් පැළඳවීමයි. මලිඳු සහ සයුරි අයියා නගෝ දෙදෙනාද අද වෙස් පැළඳවිමේ මංගල්‍යයට සැරසෙති. එහිද යම් විශේෂත්වයක් වන්නේය. දෙදෙනාම කුඩා කල සිට උගත්තේ ඉතාලියේය. නමුත් අද ඔවුන් වෙස් පැළඳව්ිමේ මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ඒ දේශීය නර්තනයට සේම ශ්‍රී ලංකාවටද ඇති ඉමහත් ගෞරවය නිසාවෙනි. විදේශයේ සිට නර්තනයේ දස්කම් පාන මේ මලිඳු සහ සයුරි ගැන තොරතුරු සරසවියත් සමඟින් බෙදාහදා ගත්තේ ඔවුන්ගේ ආදරණීය මෑණියන් වන මානෙල් ජයශාන්ත. ඇයද කලක් මෙරට ගුරු වෘත්තියේ යෙදී සිටියදී දරු දැරියන් විශාල සංඛ්‍යාවකගේ නර්තන හැකියාවන් ඔපමට්ටම් කළ නර්තන ගුරුවරියකි. මේ අවස්ථාව ඇයගේ ජීවිතයේත් විශේෂිත අවස්ථාවක්. ඇය සහ ඇගේ සැමියා ඉතාලියේ පදිංචියට ගියේ 1998 වසරේදීය. ඊට පෙර ඇය දෙමටගොඩ ශාන්ත අන්තෝනි බාලිකාවේ නර්තන ගුරුවරියක් ලෙසින් සේවය කළාය. මේ යුවළගේ දරුවන් උපන්නේ ඉතාලියේදිය. දරුවන් දේශීය නර්තනය වගේම සිංහල භාෂාව හොඳින් කතා කරන්නත් පුරුදු විය.
කළුතර උපන් මානෙල් මෙන්ම ඇයගේ සැමියා සනත් ජයශාන්ත ද බෙර වාදනයේ දක්ෂයන්ය. මානෙල්හට කුඩා කාලයේදී ගුවන්විදුලි ළමා වැඩසටහන් කිහිපයකම දායක වන්නට අවස්ථාවද ලැබීය. කළුතර බාළිකාවෙන් සාමාන්‍ය පෙළ හදාරා උසස් පෙළට හොරණ ශ්‍රී පාලියට පැමිණි ගමන ඇයගේ නර්තනයට අඩිතාලම දැමීය. ජයශාන්ත පවුල දේශීය නර්තන සම්ප්‍රදායන්, බෙර වාදන, ජන නැටුම්, ජන ගායනා ඉතාලියේ විවිධ අවස්ථාවන් හැඩ කරති. පල්ලියේ නත්තල් උත්සවයේත් ඔවුන් දේශීය නර්තනයෙන් විචිත්‍රවත් කරන්නේ හරිම අපූරු ලෙසිනි. දරුවන් දෙනාම නර්තනයට උනන්දු වී ඇත්තේ වයස අවුරුදු තුන හතර පමණ කාලයේදීයි. ඔවුහු උඩරට, පහතරට, සබරගමු නර්තන සම්ප්‍රදායන් තුනම හදාරා ඇත. මලිඳු බෙර වාදනයට දස්කම් පානවා සේම ඉතාලියේ පාපන්දු කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩකයෙකි. “නර්තනයේදී ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් දුවගේ ලොකු උනන්දුවක් තියෙනවා. බොහොම ගෞරවනීය ලෙසින් අදාළ නර්තනයට ඇඳුම් නිර්මාණය කර ගැනීමට නිතරම ඇය වගබලා ගන්නවා. මගේ දරුවන් දෙන්නා ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මම එහි ඩාන්ස් ශ්‍රී ලංකා නර්තන නිකේතනය පවත්වාගෙන යනවා. එහිදී තවත් දූ පුතුන් රැසකගේ නර්තන හැකියාවන් ඔප මට්ටම් කරන්න හැකි වෙලා තියෙනවා. ඒ පිළිබවත් තියෙන්නේ ලොකු සතුටක්” දරුවන්ගේ මෑණියන් වන මානෙල් ජයශාන්ත සරසවියට පැවසුවාය.
|