|
සල්ලි නම් මෙන්න
සිනමාව අද ලෝකයේ මුදල් ඉපයෙන ප්‍රධානතම ක්ෂේත්‍රයක් බවට පත් වෙලා. ආදායම් - වියදම්, ලාභ - අලාභ සමඟින් සිනමා ක්ෂේත්‍රය පුරාම තිබෙන්නේ දැවැන්ත තරගයක්. හොලිවුඩය සිනමා කර්මාන්ත අතරේ ප්‍රමුඛස්ථානය හිමිකරගෙන සිටියද බොලිවුඩයද ඊට නොදෙවෙනි ලෙසින් තරඟකාරීව ඉදිරියට ඇවිත්. ඒකට තවත් හොඳම උදාහරණයක් පසුගිය කාලයේ පෙන්නුම් කළා. බොලිවුඩ් තරු වන අම්තාබ් බච්චන්, සල්මන් ඛාන්, අක්ෂේ කුමාර් ලෝකයේ ඉහළම මුදල් අය කරන නළුවන් අතර සිටින බව ෆෝබ්ස් සඟරාව ප්‍රසිද්ධ කළා. හොලිවුඩයේ සිට හොංකොං සහ බොලිවුඩ් දක්වාම ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිරිපත් කළ මේ ලේඛනය අනුව අමිතාබ් සහ සල්මන් හත් වැනි ස්ථානයේ සිටින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 33.5ක ආදායමක් ලබමින්. එය හොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි ඩ්වේන් ජොන්සන් සහ ජොනි ඩෙප්ටත් වඩා වැඩි ආදායමක්. මේ බොලිවුඩ් තරු දෙකට පසුව සිටින්නේ සටන්කාමි නළුවෙකු වන අක්ෂේ කුමාර්. ඔහුගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 32.5ක්. අමිතාබ්ගේ වසර 50ක් වූ සිනමා ජීවිතයේ චිත්‍රපට 150ට අධික සංඛ්‍යවකට දායක වෙලා තිබෙනවා. වයසට ගියත් ඔහුගේ රංගනය වෙනුවෙන් තිබෙන ඉල්ලුම නම් අඩුවෙලා නැහැ. ෆෝබ්ස් වාර්තාව අනුව වයස අවුරුදු 72ක් වන අමිතාබ් ඊළඟට වයසින් වැඩි ටේකන් චිත්‍රපට මාලාවේ ලියම් නීසන්ට (63) වඩා වැඩි ආදායමක් ලබාගන්න සමත් වෙලා. සල්මන් ඛාන් අසූව දශකයේ සිටම ජනපි‍්‍රය බොලිවුඩ් තරුවක්. ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ 1989 වසරේ තිරගත වූ මේනේ පෙයාර් කියා චිත්‍රපටය යි. සුපිරි නළු අක්ෂේ කුමාර්ගේ රංගන දිවියේද ඔහු දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 150 වඩා ඉහළයි. ඒ අතරේ ඔහු විශාල ජනපි‍්‍රයත්වයක් ලබා ගත්තේ කිලාඩි චිත්‍රපටයෙන්. මේ තුන්දෙනාට අමතරව ශාරුක් ඛාන් 18 වැනි ස්ථානයත් රන්බිර් කපූර් 30 වැනි ස්ථානයත් හිමි කර ගනිමින් කොහොම හරි මේ නම් අතරට ඇතුළත් වෙලා. ඉහළම ආදායම් ලබන නළුවන්ගේ ලැයිස්තුවේ ඉන්නෙත් 35 දෙනෙක් විතරයි. ෆෝබ්ස් වාර්තාවට අනුව ශාරුක්ගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 26ක් සහ රන්බීර්ගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 15ක්. ශාරුක් බොලිවුඩයේ ලියනාඩෝ ඩිකැප්රිඩයෝ ලෙසින් නම් කර තිබුණත් ඔහුට ලියනාඩෝ තරම් ඉහළ ආදායමක් නම් ලබා ගන්න හැකි වුණේ නැහැ. ඒ වුණත් හැපි නිව් ඉයර්, චෙන්නායි එක්ස්ප්‍රස් වැනි චිත්‍රපට තුළින් ඔහු ඉහළ ආදායමක් ලබා ගන්න සමත් වුණා. එය හොලිවුඩයේ විල් ස්මිත්, මැට් ඩෙමෝන් සහ හියු ජැක්මන් වැනි නළුවන්ගේ ආදායමට සමාන ආදායමක්. රන්බීර් මේ ඉහළම ආදායම් ලැබූ නළුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වුණේ පළමු වතාවටයි. ෆෝබ්ස් සඟරාවේ අදහස නම් ඔහු දායක වූ රෝයි, බොම්බේ වෙල්වට් චිත්‍රපට නිසා මේ තත්ත්වයට පැමිණුන බවයි.
|