වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




මහාසාර නුවර ගිහින් හිස් අතින්ම ගෙදර ඇවිත්

මහාසාර නුවර ගිහින් හිස් අතින්ම ගෙදර ඇවිත්

මහාසාර නාටකය පේරාදෙණියේ දී මුලින්ම රංගගත වෙන්නේ විශ්වවිද්‍යාලයේ සුළු සේවකයන් සහභාගී වුණු නිෂ්පාදනයක් ලෙස. මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමෙ, සිංහබාහු, පෙමතො ජායතී සෝකෝ වගේ නාට්‍ය මාලාවට එකතු වුණු මහාසාර නාටකය හාස්‍යෝත්පාදක නාට්‍යයක් ලෙසත් සලකන්න පුලුවන්. විශ්වවිද්‍යාලේ සුළු සේවිකාවන් නොසිටි නිසා පේරාදෙණිය අවටින් නටන්න ගයන්න පුලුවන් සේවක පවුල්වලටත් සම්බන්ධ ගැහැනු ළමයි තෝරා ගෙන තිබුණා. කුමාරදාස සේවකයා රජුගේ චරිතය කරන කොට බිසවගේ චරිතෙට තෝරගෙන තිබුණේ මනුලා බටුගෙදර නිළිය.

ඈ පස්සෙ කාලෙක සරච්චන්ද්‍රගේ පෙමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ ස්වර්ණතිලකාත් වෙනවා ජයලත් මනෝරත්න උද්දාල බමුණා වෙන කොට. මහාසාර දෙවන නිෂ්පාදනය 73/74 කාලේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලිකාවත් සමඟ සම්බන්ධ වෙලා ධම්ම ජාගොඩගේ සහාය නිෂ්පාදනයෙන් රංගගත වෙන්නේ. මහාචාර්ය සරච්චන්ද්‍ර කියන්නේ දෙවෙනි නිෂ්පාදනයේ නළු නිළියන් තමයි නාට්‍යයෙන් කියවෙන උපහාසය හොඳට මතු කර ගත්තේ කියලා. මෙන්න ඒ කට්ටිය. විජේරත්න වරකාගොඩ (රජු), අනුලා බුලත්සිංහල (බිසව),නිශ්ශංක දිද්දෙණිය (වැදි රජ), යසවඩ්ඨන සිටුවරයා විජය නන්දසිරි, ගාන්ධර්වයා අනුර ෆොන්සේකා, නගර සෝබනී ඉන්ද්‍රා රාමනායක, කෝසිං පඬිතුමා කරුණාරත්න හඟවත්ත.

මීට අමතරව මහාසාර නාට්‍යයට සම්බන්ධ බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නෑ කියලත් මතක් වෙනවා. සංගීතය අධ්‍යක්ෂණය කළ ප්‍රේමසිරි කේමදාස, බෙර වාදනය කළ සිරිසේන සූරියආරච්චි, නැටුම් නිමැ වූ ශ්‍රී මිහිරිපැන්න, සංවිධායක එස්. ඒ. ප්‍රේමරත්න, සැමියා ලෙස්ලි රත්නායක, අණ බෙරකරු ග්‍රැන්විල් රොඩ්රිගෝ, ගාන්ධර්වයා සම රංගනය වික්ටර් වික්‍රමගේ වැනි පිරිස මතක් වෙන කොට හිත දුකෙන් පිරෙනවා. අනෙක් ප්‍රධාන චරිත හා කණ්ඩායම් රංගන අතර රාජ පුරුෂයා විදියට ජය ශ්‍රී චන්ද්‍රජිත්, ජයසේකර අපොන්සු, ජයලත් මනෝරත්න ආදීන් හිටියා. මේ කණ්ඩායම අතරෙත් හිටපු දන්තුරේ බණ්ඩාරත්, ස්වර්ණමාලි පෙරේරාත් නිෂ්පාදන සහායෙන් දායක වූ ධම්මත් නිෂ්පාදක මහාචාර්ය සරච්චන්ද්‍ර අද අප අතරෙ නෑ.

කොළඹින් බැහැර දර්ශන අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලේ දර්ශන දෙකකට යන්න වුණේ සති අන්තයක. වෙනදාට වඩා කලින් නුවර ගිය නිසාත් 3.30 දර්ශනේට වෙලාව ඕනෑ තරම් තිබුණු නිසාත් නාට්‍යයට පෙර බීර බොන කණ්ඩායම නුවර ක්වීන්ස් හෝටලේට ගිහින් බීර බොනවා. මනෝ, දයා, මම, ජය ශ්‍රී, දන්තුරේ, හඟවත්ත. ඒ දවස්වල බීර බිලත් ලොකු ගාණක් නෙවි. හවසට කොහොමටත් සල්ලි ලැබෙනවා කියලා දන්න නිසා අතේ තිබුණු සල්ලිවලින් ලොක්කො වගේ බීර බීපි කට්ටියම. ට්‍රිනිටිය නුවර ටවුමෙ තියෙන නිසා කට්ටිය දවල් කෑමට ගියා. කෑම පාර්සල් ගෙනවිත් තිබුණා. ඒක අපි කට්ටිියෙම හිතට ඇල්ලුවේ නෑ.

මොනවා කරන්නද පිට පළාත්වල නාට්‍ය දර්ශනවලට ගියාම එහෙම අකරතැබ්බ වෙනවා. බඩගින්නට කෑවත් කෑම එක අප්සෙට්. අපේ සංවිධායක ඒස්. ඒ. ප්‍රේමරත්නටත් ඒක තේරිලා. ඊට වඩා ප්‍රශ්නයක් වගේ එයා එහෙට දුවනවා මෙහාට දුවනවා. අපි ඇහුවා මොකද කියලා. ප්‍රේම් කියනවා ඕගනයිසර්ස්ලා කවුරුත් පේන්න නෑ කියලා ලන්ච් පැකට් ටික දීලා ගියාට පස්සේ. හවස දෙක තුන වෙන කොට නරඹන්නොත් ටිකක් ඇවිත්. මේක් අප් කරන්න විදියක් නෑ ප්‍රේම් කියන කල්. සාමාන්‍යයෙන් දර්ශන දෙකට ඉස්සර වෙලා ගෙවන්න ඕනෑ නාට්‍යයේ මුදලින් භාගයක්වත්. නැතිනම් නාට්‍ය පටන් ගන්න සිරිතක් නෑ ඒ දවස්වල.

වෙලාව දැන් තුනයි, හතරයි, පහ, පහමාරත් වුණා. කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. දවල් බීපු බීර ආස්වාදයත් ඉවරවේගන ගිහින්. ආපහු බීර බොන්න ඇත්නම් හොඳයි කියලා අපිට හිතුණට අතේ සතේ නෑ උදේ ළඟ තිබුණු සල්ලිවලින් බීර බීපු නිසා. නාට්‍යය නොපෙන්නුවොත් සම්පූර්ණ ගානම ලැබෙන්නේ නෑ කියලා වික්ෂෝප වෙලා කට්ටිය. හය හමාර දර්ශනේ කිට්ටු වෙන්නත් ආවා. නාට්‍යය පෙන්නන පාටක් නෑ. වරකගොඩ හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් නිසා සංවිධායක ප්‍රේමරත්න වරක්ස් එක්ක පොලීසි ගිහින්. සංවිධායකයන් අහු වෙලාම නෑ. දැන් කාලේ වගේ ජංගම දුරකථනත් නැති එකේ කිසිම සංනිවේදනයක් නෑ.

අපිට වෙච්ච ඇබැද්දිය ආරංචි වෙලා පැණිදෙනියේ ඉන්න සිංහබාහු පොතේ ගුරු ටෙරන්ස් රණසිංහයි, පුෂ්පා දේවී මාලිනී රණසිංහයි රෑ අට විතර වෙන කොට ඒගොල්ලො අපේ දුක සැප බලන්න ඇවිත්. නාට්‍යය පෙන්නිල්ල නොකෙරෙන බව දැනගෙන කට්ටියම ගියා කටුකැලේ. එහේ තමයි මාලිනී අක්කගේ මහ ගෙදර. ටෙරී. මාලීනී එයාගේ නංගි ජයන්ති ද සිල්වා (දැන් මනෝගේ බිරිඳ) ඒගොල්ලන්ගේ පවුලේ කට්ටියට පින්සිද්ධ වෙන්න රෑට කෑමත්, ටෙරීට පින් සිද්ධ වෙන්න බීමත් ලැබුණා. ඔකෙස්ට්‍රා එකේ හිටපු චෙලෝ වාදනය කරන බර්ටි රණසිංහ සංවිධායක මල්ලි කෙනෙකුට පොලීසියේදී කිව්වාලු, ඔයගොල්ලො දන්නවද අපිට කොච්චර වැඩ තියෙනවද කියලා. අපි දැන් රෑ ගිහින් උදේ කොළඹ බහින්නේ ඊළඟ බස් එකෙන් තවත් ෂෝ එකකට යන්න. ඒ මල්ලිලාට බර්ටිගේ කතා ගාණක් නෑ. දවසක් නාස්ති කරලා අපේ කට්ටිය අතේ සතේ නැතුව පාන්දර කොළඹ ආවෙ.