වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




අපි දෙන්නට වැඩිය කේන්ති යන්නේ නැහැ

සජාඩ් මේ 22 දා යුග දිවියට
 

අපි දෙන්නට වැඩිය කේන්ති යන්නේ නැහැ

ගායන ශිල්පී සජාඩ් හසන්

මට කියන්න නම් එපා කියාගෙන ගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ කෙනා තමයි සජාඩ් හසන්. මේ වන විට ඔහු නව පරපුරේ ගායකයින් අතර පෙරමුණේ සිටින චරිතයක් කිව්වොත් වැරැදි නැහැ. සජාඩ් ගැයූ සිහින හොරා, දෑසේ වෙළෙමින් මා වැනි ගීත නිතර දෙවේලේ ගුවන් විදුලි නාළිකා ඔස්සේ අපට ඇහෙනවා. අනිද්දා ඒ කියන්නේ 22 වැනිදා සජාඩ්ගේ ජීවිතයේ සුවිශේෂී දිනයක්. තවත් විදිහකින් කිව්වොත් එළඹෙන සෙනසුරාදා ඉඳලා සජාඩ්ගේ තනිකඩ ජීවිතයට විරාමයක් තැබෙනවා. එහෙම වෙන්නේ සජාඩ් විවාහ වන නිසයි. කාටත් කලින් තමන්ගේ ආදරවන්තිය ගැන හා හා පුරා කියලා සජාඩ් කිව්වේ අපිට. ඔන්න එහෙනම් අහගන්නකෝ සජාඩ්ගේ ආදර කතාව.

සජාඩ් මුලින්ම කියන්නකෝ ඇගේ නම?

අස්රා ඉස්තිකර්.

එතකොට අස්රගේ පදිංචිය?

කොළඹ.

ඔබගේ ගම නුවර කටුගස්තොට. නුවර ඉන්න ඔබට කොහොමද කොළඹ අස්රාව මුණ ගැහෙන්නේ?

ඇයව මට මුණ ගැහුණේ විවාහ යෝජනාවකින්.

යෝජනාව පැමිණෙන්නට පෙර ඔබ ඇයව හඳුනනවාද?

ඔව්. එයාලා අපේ තාත්තගේ හිතවතුන්. ඒ හිතවත්කම මත මට ඒ පාර්ශවයෙන් විවාහ යෝජනාව ආවා.

කොහෙදි ද ඔබ දෙපොළ මුලින්ම හමු වුණේ?

අපේ ගෙදරදි. එදා අපි ගොඩක් දේවල් කතා කළා.

මොනවද කතා කළේ?

අපි දෙන්නට දෙන්නා ගැළපෙනවාද කියලා බැලුවා. හරියටම හරි. දෙන්නා හොඳටම සෙට්.

ඇයි ඔබ අස්රාට කැමැති වුණේ?

එයා හරි අවංකයි. කියන්න තියෙන දේවල් කෙළින්ම කියනවා. මට හුඟක් ආදරෙයි.

ඔබට වගේම ඔබ තුළ සිටින ගායකයාටත් අස්රා ආදරේ ඇති?

ඔව්. ඇය මගේ ගීතවලට හුඟක් ආසයි. විශේෂයෙන් සෙනෙහෙ ගලලා කියන මගේ අලුත්ම ගීතය ඇය නිිතරම රස විඳිනවා.

ඔබ ගායකයකු හින්ද ද දන්නේ නැහැ ඇය ඔබව විවාහ කරගන්න හදන්නේ?

ඇය මගේ ගීත රස විඳිනවා පමණයි. ඇයට අවශ්‍ය නැහැ මම කොච්චර කල් ගායනයේ යෙදෙනවාද නැද්ද කියන කාරණය. මොකද මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඒ පැත්තෙනුත් ඉදිරියට යන්න එපායැ.

ඔබට බය නැති ද ප්‍රසිද්ධියේ විවාහ වෙන්න?

ඒ මොකටද?

සමහර ජනප්‍රිය ගායකයෝ විවාහ වන්නේ ඉතාම රහසින්. තමන්ගේ ජනප්‍රියත්වය අඩු වේවි කියලා හිතාගෙනයි එහෙම කරන්නේ?

මම නම් එහෙම නැහැ. මගේ වටා ඉන්න රසිකයින් මම බැන්දට පසුවත් ළඟ හිඳියි කියලා විශ්වාසයි. මොකද ඇතැම් අවස්ථාවලදී ඔවුන්මයි විමසන්නේ විවාහ වන දවස කවදාද කියලා.

කොහෙද ඔබේ විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ?

මවුන්ට්ලැවීනියා හෝටලයේ. එදාට වෙස්ටන් විදිහට අඳින්නයි අපි හිතාගෙන ඉන්නේ.

එතකොට දෙවැනි ගමන?

නුවරදී ඒ උත්සවය සිද්ධ වේවි.

ඔබ හා අස්රාගේ සම්බන්ධයට දැන් කොපමණ කාලයක්ද?

අවුරුද්දක් විතර.

මේ කාලය අතරතුරදී නොහොඳ නෝක්කාඩුකම් සිද්ධ වෙන්නත් ඇති?

ආදරවන්තයින් වුණාම ඒ වගේ දේවල් වෙනවා. කොහොමත් අපි දෙන්නටම වැඩිය කේන්ති යන්නේ නැහැ. ඒ හින්දා ඉතාම කෙටියෙන් රණ්ඩු සරුවල් ඉවර වෙනවා.

විවාහයෙන් අනතුරුව මොන වගේ ඉඩක් ද ඔබ පවුල් ජීවිතය වෙනුවෙන් ලබා දෙන්නේ?

ඒ වෙනුවෙන් කොහොමත් ඉතාම වැඩි ඉඩක් වෙන් වෙනවා. එහෙම වුණා කියලා මගේ සංගීත කටයුතු අතපසු කරගන්නේ නැහැ. ඒවත් පෙර පරිදිම කරගෙන යනවා.

ඔබේ පියා මේ වන විට ජීවතුන් අතර නැහැ. අනපේක්ෂිත ලෙස ඔහු ඔබලාගෙන් සමුගත්තා?

තාත්තා නැති වෙලා දැනට මාස නවයයි. අපේ ප්‍රොපෝසල් එක එද්දී තාත්තා ජීවතුන් අතර හිටියා. ඔහු ගොඩක් කැමැති වුණා මම අස්රාව විවාහ කර ගන්න එකට. නමුත් අපි දෙන්නා විවාහ වෙද්දී තාත්තා අප අතරේ නැහැ. ඒ ගැන මතක් වෙද්දිත් ඇස්වලට කඳුළු උණනවා. මොකද තාත්තා තමයි මගේ සංගීත කටයුතුවලදී යෝධ සෙවනැල්ලක් වගේ පස්සෙන් හිටියේ. ඔහු හින්දා තමයි මම සිංදු කියන්න පටන් ගත්තේ. අපේ ගේ එහා පැත්තේ පන්සලක් තියෙනවා. අපි මුස්ලිම් වුණාට අපේ සබඳකම් තිබුණා පන්සලත් එක්ක. එහි ලොකු හාමුදුරුවෝ සමඟ තාත්තා ඉතාම මිත්‍රයි. තාත්තාගේ මඟ පෙන්වීම යටතේ මම බෞද්ධ ගීතයක් පවා කළා. එච්චර හොඳ පියෙක් මෙතරම් ඉක්මනට අප හැර යයි කියලා හිතුවේ නැහැ.

ඔබේ පියා වෙනුවෙන් විවාහය දින විශේෂ මුකුත් කරනවාද?

එදින ඔහුව සිහිපත් කිරීමක් සිදු කරනවා. මා දන්නවා තාත්තා කොහේ හිටියත් මට ආශිර්වාද කරාවි.

විවාහයෙන් පසුව ඔබ දෙපොළ කොහෙද පදිංචි වෙන්න ඉන්නේ?

අස්රා ගුරුවරියක්. ඇය කොළඹ සේවය කරන්නේ. බැඳලා අපි දෙන්නා කොළඹයි නුවරයි ඉන්නවා. මොකද මගේ ව්‍යාපාර කටයුතුවලට නුවර ඉන්නම ඕනෑ.