වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




කොයි තට්ටුවේද තාත්තේ අපේ ගේ තියෙන්නේ

කොයි තට්ටුවේද තාත්තේ අපේ ගේ තියෙන්නේ

වසර කිහිපයක් ගත වූ අරුමය යැයි වරෙක මට සිතේ. ඒ කාලය නුපන් දරුවා පිළිබඳ මසිත පිළිසිඳ ගත් වේදනාව සෙමෙන් යටපත් කළාය. තවත් වරෙක ඒ සිතුවිල්ල මතක මං පෙතට නොපිවිසිය යුතුය යන සිතුවිල්ලක් බවට පත් වූයේ අහම්බයෙනි. මා එසේ පවසන්නේ මෙතෙක් අප සිව්දෙනා සිටි නිවෙස හැරදා යන්නට කාලය පැමිණි හෙයිනි.

නව නිවෙස පිහිටියේ අලුත් තට්ටු නිවාස සංකීර්ණයකය. අප ඒ අසලින් බසින විට දහවල ළඟා වී තිබිණි. සිව්දෙනා අත වූ බෑග් ඔසවා ගත් අපි තට්ටු නිවාස සංකීර්ණය දෙසට බැලුම් හෙළුවෙමු. ඒ නව නිවෙස පිහිටි තට්ටුව කුමක්ද යන සිතුවිල්ල පෙරදැරිවය. මම පුතු රුවන් හා දියණිය සිඟිතිගේත් උවන දෙස බැලීමි. ඔවුන්ගේ උවනෙහි ද වූයේ ඒ පැනයමය.

‘කොයි තට්ටුවේද තාත්තේ අපේ ගේ තියන්නේ’

පුතු රුවන් විමසුවෙ සිය සිත රැඳි සිතුවිල්ල සිතෙහිම තෙරපා ගෙන සිටීමට වූ අපහසුව නිසාමය.

‘ඉතිං යමු’

රුවන් පුතුගේ පැනයට පිළිතුරක් ලබා දෙන්නට මත්තෙන් සැමියා පෙරට ගමන් කළේය. කිසිදු වදනක් නොපවසාම අප තිදෙනාත් ඔහු පසුපස වැටිණි.

‘සර් ඔහොම ඉන්න. මම බඩු ටික දාන්නම් ලිෆ්ට් එකට’

අප ඉදිරියට පැමිණියේ මුරකරුවෙකි. හිස් වැස්ම ගලවා කිහිපවරක්ම හිස පහත් කර ආචාර කළ ඔහු මුවඟ නැගුණේ සුහද සිනහවකි. ඔහුගේ ක්‍රියාව නිසා අපට ද සිනහ නොවී සිටිය නොහැකි විය. සේනක ද ඊට පිළිතුරු සිනහවක් පෑවේය. මුරකරු අතොරක් නැතිව කියවන්නට වූයේ සේනකගෙන් නැගුණු ඒ සිනහවෙන් පණ ලද්දකු සේය. රුවන්, සිඟිතිට ඇඟිල්ලෙන් ඇන්නේ මේ අතරය. සිඟිති මෙතෙක් අපහසුවෙන් සඟවා ගෙන සිටි සිනහව එළියට පැන්නේ ’බකස්’ යන හඬිනි. දියණිය අතෙන් කට වසා ගත්තේ සිනහව පාලනය කිරීමට මෙනි. දරු දෙදෙනාගේ මේ ක්‍රියාව පිළිබඳ සැලකිලිමත් වී සිටි මගේ මුවඟට ද සිනාවක් නැගුණේ ඉබේටමය. සිදු වූ කිසිවක් නොදත් සේනක ආපසු හැරී බැලුවේ රවමිනි.

නිවාසවලට ඇතුල් වන තැන පිහිටියේ දිගු පඬි පෙළකි. පඬිපෙළ මත වාඩි වී සිටි ළමයින්ගේ නෙත් නතර වූයේ අප අසලය. පුතු හා දියණිය දෙසම බලා සිටි ඔවුන් මුහුණෙන් මුහුණ බලා ගත්තේ ඒ මොහොතෙහි අලුත් අමුත්තන් බලාපොරොත්තු නොවුණු විලාසයෙනි. සිටි අඩියේම සිටි ඔවුහු කිසිවෙකු කිසිවක් විමසන්නට පැමිණියේ නැත. දෙදරුවන්ගේ නෙත් යොමුව තිබුණේ ද මේ පිරිස දෙසටමය. තවමත් අපි එහි පිවිසි අලුත් අසල්වැසියෝ වෙමු.

නිවසට ඇතුළු වූ විගස කවුළුව අසලට පිවිසි මම එහි පියන්පතක් විවර කළෙමි. විවිර වූ කවුළුවෙන් හඹා ආ සිහින් සුළං රැල්ලක් මුළු නිවෙස පුරාම සක්මන් කළේ පැමිණි අමුත්තන් පිළිගන්නටය. සේනක මා අසලට ළං වූයේ නව නිවෙස පිළිබඳ තතු විමසන්නට මෙනි. සිඟිති හා රුවන් මුළු නිවෙස පුරාම දුව පැන යන අයුරු අප දෙදෙනා අසා සිටියේ සතුටිනි.

දිගු ගමනක නිරත වුව ද සේනක වෙහෙස ගැන නොතකා නිවසෙහි බඩු පිළිවෙළකට තබන්නට උත්සාහ ගත්තේය. ඔහු කවදත් එහෙමය. ඔහු පිළිබඳ මගේ සිතෙහි ඉපදුණේ පෙර නොවූ විරූ සෙනෙහසකි. එය හදවතින් විඳීමින් මා ඔහු කරන කටයුත්තට හවුල් වූයේ සිය කැමැත්තෙනි.

‘සිඟිති අයියත් එක්ක පැත්තකට වෙලා ඉන්න. දඟකරන්න එපා’

සේනක පැවසුවේ දඟ කරන දියණිය සිඟිතිව නතර කරන අදහස පෙරදැරිවය. දඟකාරියක් වූ ඈ සේනක පැවසූ කියුම විහිළුවකට ඈදා ගත්තාය.

‘ගණන් ගන්න එපා සේනක. පොඩි ළමයි ඔහොම තමයි’

සිඟිති පැවසුවේ සේනක එවැනි කියුමක් පැවසූ පසුව මා ඔහුට පවසන වදන් පෙළකි.

‘බලන්න සේනක, මේ කෙල්ල ඔයාට සේනක කියලා නේද කිව්වේ’

මම සේනකට ගතු කීමි.

‘කේලම් කියන්න එපා මාලතී’

සිඟිති නැවතත් පැවසූයේ අපව සිනහ ගස්සවමින්ය.

‘මොකක්ද කිව්වේ’

සේනක එක්වරම ඇසුවේ මුවඟට නැගුණු සිනහව සඟවා ගනිමිනි.

‘මාලතී කියලා කිව්වේ. මාලතී නේද මෙයාගේ නම?’

දියණිය මා වෙතට ඇඟිල්ල දිගු කළාය.

‘අල්ල ගන්න සේනක ඕකිව’

නැඟෙන සිනහ අතරින් මම පැවසීමි. සේනක සිනහ සෙමින් සිඟිතිව අල්ලා ගන්නට තැත් කළේය. සිය සොහොයුරු රුවන් සමඟ සිගිති ගේ පුරා දිව්වේ සේනකගෙන් බේරෙන්නටය. එක්වරම නිවෙසින් එළියට පැන්න සිඟිති, රුවන් සමඟ පඩි පෙළ දිගේ පහළට දිව ගියේය. සේනක ද ඔවුන් පසුපස ගියේ කෑ ගසමිණි. සේනක සිඟිතිව අල්ලා ගත්තේය. සියල්ලන්ටම දැනුණු සතුට උතුරා ගියේය.

‘මේකේ අපිත් ඉන්නවා. සද්ද අඩු කරලා හිටියොත් හොඳයි’

සිනහවත්, ඝෝෂාවත් නතර වූයේ අප අසලින් ඇසුණු ඒ ස්වරයෙනි. අප සිව්දෙනාම ඒ හඬ ආ ඉසව්ව බැලුවේ එක්වරමය.

‘හරි . . හරි . . . සමාවෙන්න’ සේනක පැවසුවේය.

මේ නිවාස සංකීර්ණයක් බව අප මතකයට නැඟුණේ එවිටය.