වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතය පුරාවට මා ළඟ සිටි මගේ අම්මා

ජීවිතය පුරාවට මා ළඟ සිටි මගේ අම්මා

සනෝජා බිබිලේ මියගිය මවගේ මතකය අතර...

දයාබර මෑණියනි, ජීවිතයේ යථා ස්වභාවය මට පසක් කළ පහන් සිළුව ඔබමය. පහනෙන් නැඟෙන ආලෝකය සේ ඔබ අප හදවත් ආලෝකමත් කළෙහිය.

පහනෙහි තෙල් අවසන් වූ පසුව පහන් සිළුව පහන අතහැර ගියා සේ ඔබ ද අප අතැර ගියාය. ඔබගේ දෙණ අසල දැල්වෙන පහන් සිළුව දෙස බලාගෙන මම ඔබ පිළිබඳ සිහිපත් කරමි. මම ඔබ හා ගෙවුණු අතීතය සිහිපත් කරමි.

මිය යන විට හැත්තෑ හතක් තරම් වයසැති වූ ඔබ ඊට පෙර සිටියේ කොතරම් ශ්‍රේෂඨ ගුණාංගවලින් හෙබි මවක් ලෙසින්දැයි මට සිහිපත් වෙයි. මීට වසරකට පෙර බැඳුණු ඒ අතීතයෙහි ඔබ කෙරෙහි වූ ශක්තිය, නොසැලෙන ගුණය, කරුණා ගුණය, එඩිතර බව කෙතරම්දැයි මට පසක් වන්නේ දැන්ය. ඔබට වුවමනා වූයේ සිය දරුවන්ට හොඳ මවක් වන්නටය. සිය සැමියාට දයාබර බිරිඳක් වන්නටය. ඒ සඳහා මවක්, බිරිඳක් ලෙස ඔබ කළ යුතු දේ කළේය.

බොහෝ කැප කිරීම් ද කළේය. මගේ මතකයට අනුව එකල මම දඩබ්බර දැරියක වීමි. කිසිවකු කියන දෙයක් නාසන, මට වුවමනා දෙය පමණක් කරන දඟකාර දැරියක වූ මා යහමඟට රැගෙන පැමිණීමට ඔබ ගත් වෙහෙස අපමණය. ඒ නිසා ඔබ මට දුන් දඬුවම් ද එමටය. ඒ සියල්ල ඔබ සිදු කළේ මා හට යහපත් මාවතක් තනා දීමටය.

ඒ බව මම අද දනිමි. ඔබ කෙරෙහි වූ නොබියව තීරණ ගැනීමේ හැකියාවත්, යමක් මෙසේ සිදුවිය යුතු යැයි ඔබ කියූ අයුරින්ම එය සිදු කළ යුතු වීමත් ආදී ගුණාංග අඩු නැතිව මගේ ජීවිතයට පැමිණිනි. ඒ ඔබගේ ඇසුරෙන් බව මට සිහිපත් වන්නේ මේ අතීතය මෙනෙහි කරන මොහෙතෙහිය.

ඔබ අප සියලු දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ගත් වෙහෙස කොතරම්ද යැයි මගේ මතකයට නැඟේ. ඒ ඔස්සේ ඔබ අපට මනා දිවිපෙවතක් ප්‍රාර්ථනා කළ බව මම දනිමි. අනාගතය සාර්ථක කර ගත හැකි ක්‍රමවේදය තිබෙන්නේ අප අධ්‍යපනය මඟින් ලබන සාර්ථක බව මත යැයි ඔබ නිතර කියන අයුරු මම අසා ඇත්තෙමි. එනමුදු අධ්‍යාපනයෙන් ඔබ අපේක්ෂා කළ ස්ථානයට ළඟා වීමට මට නොහැකි විය.

වරක් ආසියානු රූප රාජිනියන්ගේ තරගයක් සඳහා විදේශ ගත වූ මොහොතක ඔබ මා එහි නැවතී සිටිමින් අධ්‍යාපනය හැදෑරිය යුතු යැයි පැවසූ අයුරු මට අද මෙන් මතකය. ඒ සඳහා කළ යුතු සියලු දේ ඔබ නොපිරිහෙලා ඉටු කළේ හැකි ඉක්මණිනි. එනමුදු මගේ තිබුණා වූ මුරණ්ඩු ගති ඒ සියල්ල පරදා පෙරට පැමිණියේ ඉබේමය. මම පෙරළා මගේ මව් රට බලා පැමිණියෙමි. ඒ ඔබගේ බලාපොරොත්තුª දෙවැනි වරටත් සුන් කරමිනි.

අධ්‍යාපනය ලබන්නට වඩා මගේ සිත දිනාගත් ක්ෂේත්‍රය වූයේ කලාව ය. රංගනයට මම බෙහෙවින් ආදරය කළෙමි. ඒ මගේ සිතෙහි ගොඩ නැ¼ගුණු ආදරණීය බව නිසාම, මම ඔබගේ අකැමැත්ත ද නොතකා, මගේ කැමැත්තට අනුගත වීමි.එකල ඔබ සිතෙහි ඒ කරුණ සම්බන්ධ මා පිළිබඳ අහිතක් ඉපදුණ ද, පසු කාලයෙහි මා රඟපෑ චිත්‍රපට නරඹා සොඳුරු මදහසක් මුවඟට නංවා ගන්නා අයුරු මම දිටිමි. පියාණන්ද කලාවට බෙහෙවින් ආදරය කළ බව මම දනිමි. විශේෂයෙන්ම රංගනයට බෙහෙවින් ආදරය කළ ඔහුට ඉන් ඈත්වීමට සිදුවූයේ ඔබගේ ආදරණීය ඉල්ලීම නිසාය. ඔබට වුවමනා වූයේ පියාණන් අපගේ අසලම රැෙඳන්නටය. අප සියලුදෙනාම එක සෙවණෙහි වසන්නටය.

ඒ අතීත මතක අතර සැරිසරන මම පියවි ලොවට පිවිසෙන්නේ ඔබට ආචාර පුද කරන්නට පැමිණෙන හිතවතුන්ගේ කතාබහ අතරිනි. වරෙක මම අතීතය සිහිපත් කරමින් පසුතැවිලි වෙමි. ඒ ඔබ හදවතෙහි ගොඩනඟා ගත් පැතුම් මාළිගා කිසිවක් ඉටු කරන්නට මට නොහැකි වූ නිසාවෙනි. නමුදු ඔබගේ දියණිය ලෙස ඔබට කළ යුතු යුතුකම් සියල්ල ඉටු කිරීමට හැකිවීමෙන් මම යම් සහනයක් ලදිමි. මගේ සියලු රංගන කටයුතු නවතා දමා මම ඔබ වෙනුවෙන්ම කැපවීමි.

ඔබ අසනීප වූයේ එක් වරමය. මීට වසරකට පෙර ඇති වූ රෝගය පිළිබඳ හඳුනා ගැනීමට කොළඹ ජාතික රෝහලට අපි ඔබව ඇතුළත් කළෙමු. දෙපා නඟා, විහිළු තහළු කරමින් ඇවිද ගිය ඔබ ඉන් ඉවතට පැමිණියේ ඒ කිසිවකුඳු නැතිවමය. කලබලයට පත් වූ අප ඔබව රැගෙන ගියේ මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර මූලික රෝහලටය. එහි වෛද්‍යවරුන් හා හෙද - හෙදියන්ගේ සාත්තු ලැබූ ඔබ පෙර පරිදි කතාබහේ නිරත වූයේ අප හදවත්වල සැනසුම් සුසුමක් දල්වමිනි.

ඊට පසුව නැවත නැවතත් ඔබ අසනීප වූයේය. අවසාන වරට අප ඔබව රෝහල් ගත කළේ පසුගිය සතියෙහිය. මේ සියලු කාලයෙහිම මම ඔබ අසලම රැඳුණෙමි. මගේ සොහොයුරු – සොහොයුරියෝ ද එසේමය. එහෙත් ඒ සතිය මට දැනුණේ දිගු වසරක් ගත වූ අයුරිනි. වෙනදා මෙන් නොව ඔබ අප අතැර යන්නට සැරසෙනවා කියන අදහස මගේ යටි සිතෙහි හොල්මන් කළෙහිය. ඒ නිසා ඒ සම්බන්ධ විවිධ දෑ පිළිබඳ මා මිතුරු - මිතුරියන් සමඟ කතාබහ කළ අයුරු මතකයට නැගෙන්නේ සිහිනයක් ලෙසිනි.

මේ අතර මුල්ලේරියා රෝහලෙහි එක් වාට්ටුවක බිත්ති සායම් පින්තාරු කිරීමට මම එහි සේවා වනිතා ඒකකයට පොරොන්දු වී සිටියෙමි. ඒ සඳහා අවශ්‍ය වන මුදල මා අත නොවීය. ඒ පිළිබඳ මා ඔබට පැවසූයේ යම් සහනයක් පතාගෙනය. ඔබ ඒ අසා සිනහ වූයේ යමක් පවසන්නට මෙනි. ඔබගේ ඒ සිනහවෙන් පවසන්නට ඇත්තේ මුදල් ලැබෙන බව නොවේදැයි මම දැනුදු සිහිපත් කරමි. ඔබ මිය ගිය පුවත අසන්නට පෙර මා සිටියේ නෙට්බෝල් සංගමයේ රැස්වීමක් සඳහා සහභාගිවීමට ගමන් කරමිනි.

ඒ යන අතරමඟදී මගේ රථය අන් අයකුගේ රථයේ ගැටුණේ ඉබේමය. අත් ඔරලෝසුව දෙස බැලූ මගේ නෙතට සවස 4.45 යන්න සටහන්ව තිබූ බව මතකය. මා ඉක්මනින් නෙට්බෝල් සංගමයේ රැස්වීමට ගොස් මගේ අසුනෙහි ඉඳගත්තා පමණි. ඔබ මෙලොව හැරගිය බව මට දුරකථනයෙන් දැනුම් දුන්නේ මගේ සොහොයුරියයි. ඔබ මෙලොව හැර ගොස් තිබුණේත්, මගේ රථය මා අතින් අන් රථයක ගැටුණේත් 4.45 ට ම ය. ඒ සිදුවීම මා සිත පුදුමයට පත් කළ බව මම පවසමි. එය කිසිදු දිනෙක මගේ සිතින් මැකී නොයන බව ද මම දනිමි.

මේ කුමක් වුව ද දයාබර මෑණියනි, ඔබ අප සැම හැරදා ගියාය. ඒ ස්වභාව ධර්මය නැමැති ලියැවිල්ලෙහි ලියැවුණු පරිදිය. ඒ ලියැවිල්ල අනුව අප කවුරු වුව ද මෙලොවින් සමුගත යුතුය. ඒ නියමයට අනුව ඔබ මෙලොවින් සමුගත්ත ද කෙදිනක හෝ යහපත් තැනක උපදින බව පමණක් මම දනිමි.