වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




තිස්ස අනුන්ගේ සිත් නොරිදා තමන්ගේ සිත රිදවා ගත්තා

තිස්ස අනුන්ගේ සිත් නොරිදා තමන්ගේ සිත රිදවා ගත්තා

අසංකා අබේසේකර

‘සමීප රූප – තිස්ස අබේසේකර අභිනන්දන උළෙල’ ඊයේ (27) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී අජිත් ගලප්පත්ති විසින් රචිත ‘තිස්ස... තිස්ස...’ ග්‍රන්ථය සහ රෝහණ දන්දෙනිය විසින් සම්පාදිත ‘නික්ම නොගිය අප්‍රමාණ මිනිසා - තිස්ස අබේසේකර’ ලිපි සරණිය ද එළි දැක්විණි. සුදත් රෝහණ අධ්‍යක්‍ෂණය කළ තිස්ස අබේසේකර වාර්තා චිත්‍රපටය මෙම අවස්ථාවේදී තිරගත කෙරිණි. ටෙලි නිර්මාණවේදින්ගේ සංසදයට විසි වසරක් සපිරීම නිමිත්තෙන් එහි ප්‍රථම සභාපතිවරයා වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් හට උපහාර පිරිනැමීම වෙනුවෙන් මෙම අභිනන්දන උළෙල පැවැත්විණි. මෙහිදී තිස්ස අබේසේකර වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි.

කෘතහස්ත සිනමාවේදියකු වූ ආචාර්ය තිස්ස අබේසේකර අප අතරින් නික්ම දැනට සිව් වසරකි. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු, තිර රචකයකු, විචාරකයකු, ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු මෙන්ම ඉංගී‍්‍රසි සිංහල භාෂා ද්විත්වයේම ලේඛකයකු ලෙසද කටයුතු කළ හෙතෙම සිනමා ගුරුවරයකු වශයෙන් ද ලාංකේය සිනමාව වෙනුවෙන් කළ සේවය අනුපමේය ය. හැටේ දශකයේ මුල් භාගයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ගම්පෙරළියෙන්’ සිය සිනමා ගමන ආරම්භ කළ අබේසේකරයන් අපට දායාද කළ දැවැන්ත නිර්මාණ රැසකි. “වැලිකතර,නිධානය, ගඟ අද්දර, කරුමක්කාරයෝ, විරාගය” වැනි දැවැන්ත නිර්මාණ හරහා ඔහු ගොඩනැඟූ චරිත අදටත් ජීවමානව වැජඹෙති.

මෙරට කලා ක්ෂේත්‍රයේ මේ කීර්තිධර සිනමාවේදියා වෙනුවෙන් වූ මෙම අභිනන්දන උළෙල කාගෙත් පැසසුමට ලක්වෙද්දී එහි වූ තවත් සුවිශේෂී චරිතයක් වූයේ ලේඛන ප්‍රතිභාවත්, රංගන ප්‍රතිභාවත් උරුමකරගත් අසංකා අබේසේකරය. මීට වසර ගණනකට පෙර ඈ ඔබ හමුවට පැමිණියේ රිදී තිරයෙනි. ගෝඩ් කිං, අහසින් පොළෙවට, හෙවණැලි ඇද මිනිස්සු, සංඛපාලි, කරුමක්කාරයෝ වැනි සිනමා නිර්මාණ තුළින් ප්‍රේක්‍ෂක හමුවට පැමිණි ඇය පසුව සිය රංගන දිවියට තිත තැබුවාය.

ආචාර්ය තිස්ස අබේසේකරයන් ගේ පි‍්‍රය බිරිය ලෙසින් වසර ගණනක් පුරා තමා ළඟ සිටි තම ආදරණීය සැමියා පිළිබඳ සෙනෙහසේ මතකය ඈ සිහිපත් කළේ මේ අයුරින්.

“ඔහු අප අතරින් වෙන්වෙලා දැනට සිව් වසරක් ගත වෙලා. ඇත්තටම ඔහු නැති වුණා කියලා මට දැනෙන්නත් ගොඩක් කාලයක් ගත වුණා. මාසයක් දෙකක් විතර යන කල්ම ගෙදර ෆෝන් එක රිං වුණාම ඔහු මට කෝල් කරනවා කියලා හිතුනේ. සෑහෙන කාලයක් ගත වුණාට පස්සෙ තමයි මම තේරුම් ගත්තේ ඔහු වෙන්වෙලා කියලා. ඒ කාලයේදි නම් ඔහු නැති අඩුව මට තදින්ම දැණුනා. ඇත්තටම කාලය ගත වෙද්දි මම හැමදේම තේරුම් ගත්තා.

මගේ මතකෙට එන්නෙ තිස්ස මට හමු වුණ මුල්ම දවස. ඒ 1972 වසරේ අගභාගයේ දී. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගෙ ගෙදරදි තමයි මුලින්ම මම ඔහුව දැක්කේ. එදා දැක්කා විතරයි, එකිනෙකා හඳුනා ගත්තේ නැහැ. ඊට පසුව ඔහු මට යළිත් මුණ ගැසුනේ 1974 වසරෙදි. ඒ ඔහුගේ ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයෙදි. මමත් එහි රංගනයෙන් දායක වුණා. 1978 වසරෙදි ඔහු නිර්මාණය කළ ‘ගඟට උඩින් කොක්කු ගියා’ රූපවාහිනී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළෙත් මම. ඒක මහවැලිය වෙනුවෙන් හැදූ ජාත්‍යන්තර රූපවාහිනී චිත්‍රපටයක්. මේ රංගනය තමයි මගේ රංඟන ජීවිතයේ අවසන් රංඟනය.

1979 වසර අපේ ජීවිතයේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කළ අවුරුද්දක් වුණා. දහසක් බලාපොරොත්තු සමඟින් ඔහුත් මමත් විවාහ දිවියට එළැඹුණා. ඒ වෙනකොටත් මට රංගනයට ආරාධනා රැසක් ලැබිලයි තිබුණේ. මොකද කරන්නේ කියලා මම තිස්සගෙන් ඇහුවම ඔහුගේ පිළිතුර වුණේ ‘කළ යුත්තේ මොකක්ද කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕන’ කියන එකයි. එහිදී මට ඕනෙම තීරණයක් ගන්න අවස්ථාව තිබුණත් එහි ඊට වඩා බැරෑරුම් අර්ථයක් තියෙන බව මම එදා තේරුම් ගත්තා. ඒ නිසා මම ආශා කළත් රංගනයට සමු දෙන්න මම තීරණය කළා. මොකද මම හැමදේකටම වඩා පවුල් ජීවිතයට සහ ඔහුට ආදරය කළ නිසා. ඉරණම අනුව තමයි හැමදේම තීරණය කෙරෙන්නේ. ඒ ගැන අබමල් රේණුවක තරම්වත් පසුතැවීමක් නැහැ.

තිස්ස කියන්නේ කරුණාවන්ත හදවතක් තියෙන උතුම් මනුෂ්‍යයෙක්. ඔහුට තියෙන්නේ උණුවෙන හදවතක්. ඔහුට යම් තැනකදි වැරදුනා නම් ඒ වැරදුනෙත් ඒ නිසාමයි. කාටවත් බැහැ කියන්න බැරිකමක් ඔහුට තිබුණා. කාගෙවත් හදවතක් රිදවන්න ඔහු කැමැති වුණේ නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට යම් යම් සිදුවීම්වලදි ඔහු අනුන්ගේ හිත් නොරිදවා තමන්ගේ හිත රිදවා ගත් අවස්ථා එමටයි. තිස්ස නිරන්තරයෙන්ම මමයි දරුවො දෙන්නයි ළඟින්ම හිටියා. ඔහු නිර්මාණ හැම එකක්ම වගේ කළේ ගෙදරදීමයි. ගෙදර වගකීම් සියල්ලම වගේ මගේ අතට ගත්තේ නිර්මාණකරණය වෙනුවෙන් ඔහු නිදහස් කරන්නයි. එයට වුවමනා වූ නිදහස් පරිසරයක් මම අපේ නිවසේ ඇති කළා. මම දරුවො දෙන්නා හැදුවෙත් ඔහුගේ ඒ කටයුතුවලට කිසිම බාධාවක් නොවන විදියට. ඔහු නිදහසේ තිර රචනා ලියන දිහා මම ආසාවෙන් බලාගෙන හිටියා.

ඒ වගේම තමයි ඔහු කවදාවත් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් නිර්මාණ කළේ නැහැ. කවදාවත්ම ඔහු සිනමාව මුදල් හම්බ කරන්න යොදා ගත්තේ නැහැ. සමහර දැවැන්ත නිර්මාණ ආරම්භ කරන්න කලින් වෙනත් විවිධ වූ වාර්තාමය නිර්මාණ කරලා ගෙදරට ඕන කරන මුදල් හොයලා දුන්නා. සමහර අවස්ථාවල දී ඒ මුදල් මදි වුණ දවසුත් නොතිබුණාම නොවෙයි. මම හරිම පරිස්සමට තමයි ඒ සල්ලි වියදම් කළේ. ඒ වගේම ණය වුණ අවස්ථාත් නැතුවාම නොවෙයි. ඔහු ණය වුණේ මටවත් දරුවන්ටවත් කන්න දෙන්න නොවෙයි. ඔහු ණය වුණා නම් ඒ නිර්මාණ වෙනුවෙන්. නිර්මාණවලට වටිනාකමක් දෙන්න තමයි. ඇත්තටම තිස්ස කවදාවත් සිනමාවෙන් මුදල් හම්බ කළේ නැහැ. අදටත් මමයි දරුවො දෙන්නයි ජීවත් වෙන්නේ කුලී නිවසක.

අපේ කලා ක්ෂේත්‍රයට තමන් කළ සේවාව ගැන විශාල තෘප්තියක් ඔහුගේ හිතේ තිබුණා. ඔහු අප අතරින් නික්මී ගියේ අමරණීය නිර්මාණ රැසක් රටට ඉතුරු කරලා. ඒ වුණත් යම් යම් අවස්ථාවලදි ඔහුගේ හිතේ කලකිරීම් නොතිබුණාම නොවෙයි. කවදාවත් තිස්ස ඒ ගැන වැඩිපුර හිතුවෙ නැහැ. විදෙස් රටවලින් පවා ඔහුට ආරාධනා ලැබුණත් මවුබිමට වඩා ඒ කිසිවකට ඔහු තැන දුන්නේ නැහැ. ඔහු ඕනි වුණේ රටට සේවය කරන්න. අපේ දරුවො දෙන්නත් එහෙමයි. අපි දෙන්නගෙම කලා හැකියාවන් ඔවුන්ට පිහිටලා තියෙනවා. ඒ වගේම හොඳට ලියන්නත් පුළුවන්. නමුත් ඒ දෙන්නාම කලාව තෝරා ගත්තෙ නැහැ. දුව ස්වෙන්ලානා මනෝ විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. පුතා දිමිත්‍ර නීති අංශයෙන් ඉදිරියට යන්නයි බලාපොරොත්තුව.

තිස්සගේ නිර්මාණ වෙනුවෙන් තවත් කළ යුතු බොහෝ දේ තියෙනවා. ඔහුගේ චිත්‍රපට, ටෙලි නාට්‍ය සංරක්‍ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුනත් දරුවො තාම ඉගෙන ගන්න නිසා ඒ වෙනුවෙන් කැප වෙන්න අමාරුයි. ඒ දෙන්නා ස්ථාවරයකට ආවාම මේ කටයුතු ආරම්භ කරන්නයි මම හිතාගෙන ඉන්නේ. දැනටමත් මම ඔහුගේ කෘති කිහිපයක් නැවත මුද්‍රණය කළා. ඔහුගේ Bringing Tony Home කෘතිය සිංහලට පරිවර්තනය කළා. තිස්ස මිය යන්න පෙර සිනමාව, ඉතිහාසය, සංගීතය පිළිබඳ කෘති රචනා කරන්නට සූදානමින් හිටියේ. නමුත් අවාසනාවට ඔහුට ඒ අවස්ථාව මඟ හැරුණා. ඒ වෙනුවෙන් කළ සටහන් තියලා තිබුණත් මට ඒවා ගළපාගන්න තරමක් අපහසුයි. අදටත් මම උත්සාහ කරන්නේ ඒ දේවල් ගළපන්න. හැකි ඉක්මනින් ඒ කෘති එළිදක්වන්න වගේම තව තිරනාටක කිහිපයක් එළි දක්වන්නටත් බලාපොරොත්තු වෙනවා.”