වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මට ඕනෙ හොඳම දුෂ්ටයා වෙන්නයි

මට ඕනෙ හොඳම දුෂ්ටයා වෙන්නයි

නිශාන්ත අමරසිංහ හඳුනාගනිමු

මේ ඉන්නේ තරුමලි නාට්‍යයේ සිරිසේන. ගමේ ඉන්න තරුමලීව පැහැරගෙන යන චණ්ඩියා. කැමරාව ඉදිරියේ නපුරුකම් පෑවාට සැබෑ ජීවිතයේ නම් ඔහු තැන්පත් තරුණයෙක්.

නිශාන්ත අමරසිංහ

මේ කෙටි සටහන ඔහු ගැන.

නිශාන්ත උපන්නෙ බොරැල්ලේ. වයස අවුරුදු දොළහෙ විතර ඉඳන් ඔහු ගමේ කළ නාට්‍යවලට දායක වුණා. ඒ නිසා වේදිකාව නිශාන්තට නුහුරු තැනක් වූයේ නැහැ.

ගමේ වේදිකා නාට්‍ය කරකර හිටපු මාව මුලින්ම රූපවාහිනියක වැඩසටහනකට එක්කගෙන ගියේ අනුර ජයසේකර. එතැන හිටියා ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයා. ඔහු මාව දැකලා සරා සහ සුබා නාට්‍යයට මාව ගත්තා. ඒක තමයි මගෙ පළමු රංගනය.

නිශාන්තට ඊළඟට නාට්‍ය රැසකට රඟපාන්න ආරාධනා ලැබෙනවා. ගෞතමී, කාව්‍යා, සුදුහාමිනේ, පතිනි, හිරු දහසක් යට, අහස සේ නුඹ අනන්තයි ඉන් කිහිපයක්. ඒ විතරක් නෙවෙයි ඉරාජ් වීරරත්නගේ චිත්ති මරීනා ගීතයේ වීඩියෝවෙත් නිශාන්ත ප්‍රධාන චරිතයක් මවනවා.

මේ ඔක්කොම නිර්මාණවල දුෂ්ට චරිතයි මං කළේ. ඇත්තටම කිව්වොත් මං හරිම ආසයි දුෂ්ට චරිත කරන්න. මට ඕනෙ හොඳ දුෂ්ටයෙකු වෙන්නයි. ඒ වෙනුවෙන් මං දමිළ චිත්‍රපට නරඹනවා.

නළුවකු වුණු මුල් කාලයේ නිශාන්ත අපමණ දුකක් විඳලා තියනවා ඉදිරියට යන්න. ඔහු ඒ ගැන කිවවේ මෙහෙමයි.

පුදුම කට්ටක් මං ඒ දවස්වල කෑවේ. දවසක් බස් නැතුව කිලෝමීටර් පහළොවක් විතර පයින් ආවා. අනන්තවත් හැරිලා ඇවිත් තියනවා ලොකේෂන් වලට ගිහින්. සමහර අය එන්න කියනවා චරිතයක් තියනව කියලා. ගියට පස්සෙ කියනවා පසුව දන්වන්නම්ලු. එහෙම සිද්ධීන් ගොඩක් වුණා. ඒවා සේරම මං සුන්දරව විඳගත්තා. මේ ගිය සතියේ දවසක මගෙ ගුරුවරයා වන ලක්ෂ්මන් පුෂ්පකුමාර සර් මට පැත්තකට කතා කරලා කිව්වා “උඹ දැන් හොඳයි කියලා” ඔහු ලෙහෙසියෙන් කෙනෙකුට හොඳයි කියන්නේ නැහැ. අර මං කාපු කට්ටෙ ප්‍රතිඵලය තමයි ඒ මට ලැබුණෙ.

නිශාන්ත ඉන්න තවත් නිර්මාණයක් මේ දවස්වල විකාශය වනවා. ඒ තිමිරි ගිර. එහි ඔහු රත්නෙ.

ලැබෙන චරිතයන්ට මං උපරිම සාධාරණයක් ඉටු කරනවා. ඒක මගෙ වගකීමක්. මට කවදාහරි මං කරන දුෂ්ට චරිතයක් දැකලා රසිකයෙන් මට බැන්නොත් ඒක මට සතුටක්.

නිශාන්ත මේ වනතෙක් උදව් කළ ලක්ෂ්මන් පුෂ්පකුමාර, ධනුෂ්ක එන්. පෙරේරා, තරංග නිරිඇල්ල, මහේන්ද්‍ර කුලසේකර, රාජසිංහ ලෝලුවාගොඩ ඇතුළු පිරිසව මතක් කළේ බොහොම ආදරයෙන්.

මේ නිශාන්තගේ දුරකථන අංකයයි. 0715564786