වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




අනේ පුතේ මං කැමති නෑ ඒකට...

අනේ පුතේ මං කැමති නෑ ඒකට...

වසරේ ජනප්‍රියම නළුවාගේ අප්‍රකට ආදර කතාව

විශ්ව උන්නේ කල්පාන්ත සිහිනයක් දකිමිනි. දින කිහිපයකට පෙර තමා ඇස් ඉදිරියේ අහම්බෙන් හමු වූ යුවතී මෙතරම් බලාපොරොත්තු රැසක් හිත තුළ උපද්දවාවි යැයි විශ්ව නොසිතුවේය.

එදා නිවාඩු දිනයක් වූ බැවින් තරමක් පමා වී අවදි වූ ඔහු දුරකථනය අතට ගත්තේය. ඇයගෙන් මඟහැරුණු ඇමතුමක්වත් නොමැත. බලාපොරොත්තු විරහිත දිනයක ඒවිද, ඔහු වරක් දෙවරක් නොව සියවතාවක් කල්පනා කළේය. ජංගම දුරකථනය අතට ගත් හෙතෙම ‘එරන්දි’ යන නම තිබූ තැන නැවතුණේය. කොළ පැහැති බොත්තම ඔබා ක්ෂණිකව රතු පැහැ බොත්තම එබුවේය. හිතට ගෙවදුණේ චකිතයකි. නමුදු හිත නිරතුරුව සොයන්නේ ඇයයි. නැවතත් විශ්ව කොළ පැහැ බොත්තම තද කළේය.

‘හෙලෝ . . .’

‘ගුඩ් මෝනිං’

‘මොර්නිං නංගි . . . කොහොමද’

‘හොඳයි’

‘මං ඔයාට කීප වතාවක් කතා කළේ දෙයක් කියන්න’

‘මොකක්ද කාරණාව . . .’

‘එදා දැක්ක දවසේ මට ඔයා ගැන කැමැත්තක් ඇති වුණා. ඒක කියන්නයි මෙච්චර කල් කතා කළේ’

විශ්ව බලාපොරොත්තුව ඉටු කර ගත්තේය. උදෑසනම තමාගේ බලාපොරොත්තුව ඉටුකර ගැනිමට හැකිවීම ගැන ඔහු උන්නේ ප්‍රීිතියෙනි.

‘මට ඒක තීරණය කරන්න බෑ. ඉස්සෙල්ලාම අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්න’

‘හරි මං අහන්නං’

තවත් ආ ගිය කතා රැසකට පසුව විශ්ව දුරකථනය විසන්ධි කළේ සතුට හිත මත වපුරා ගනිමිනි. ඔහු නැවතත් කල්පනා කරන්නට පටන් ගත්තේය. තම හිත මත ආදරය වැපිරූ ඒ නිල් ඇස් විශ්වට පෙනුණේය.

‘මං මගේ රසිකාවක් බඳින්න ආසයි’ මීට දින කිහිපයකට ඉහත විශ්ව සරසවිය පුවත්පතට කී කතාව ඔහුගේ හිතට ආවේය. ඔහු නැවත දුරකථනය අතට ගත්තේය. දැන් බියක්, චකිතයක් නොමැත.

‘හෙලෝ නංගි මේ මම’

‘ඔව් අයියේ’

‘ඔයා ජීවත් වුණේ පිටරට. ඔයා ලංකාවේ ෆිල්ම්, ටෙලි බලලා තියෙනවාද?’

‘ඔව්’

ඈ ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට ගැන බෝහෝ දෑ කීවේය. කතා කරන්නට තිබූ ආශාව නිසාම විශ්ව සියල්ල අසා උන්නේය.

‘එතකොට ඔයා මං ඉන්න ඒව බලලා තියෙනවාද’

‘ඔව් . . හැම එකක්ම බලලා තියෙනවා. සදාදර ජෝති චිත්‍රපටය කවද්ද එන්නේ?’

දෙදෙනා පැටලුනේ දිගු කතාවකටය.

‘මං මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. . .මං බඳීන කෙනා මගේ රසිකාවක් වෙන්නම ඕනේ. ඒකයි ඇහුවේ. මං තාත්තගෙන් අහනවා . . එතෙකං . . .

‘හරි’

‘තාත්තයි අම්මයි කැමැති වුණත් ඔයා මට කැමැති නැත්නං මොකද කරන්නේ?’

එරන්දි පිළිතුරු දුන්නේ සුන්දර සිනහවකිනි.

ඒ සිනහව තුළ සැඟව තිබුණේ ප්‍රසිද්ධ නොකළ කැමැත්තක් බව විශ්වට දැනුණේය. දැන් මේ කතාන්දරය තාත්තාට කිව යුතුය. ඉන් පසු එරන්දිගේ තාත්තාට කිව යුතුය. එය මහා බැරෑරුම් කටයුත්තකි. මුලින්ම විශ්ව මේ කතාන්දරය කීවෙ අම්මාටය. ඉන් පසුව අම්මාගෙන් කතාව ආවේ අක්කාගේ කනටය. දැන් තාත්තාට කිව යුතුය. විශ්ව ඒ මොහොත උදාවන තෙක් උන්නේ නොඉවසිල්ලෙනි. තාත්තා කොළඹ ගෙදරට පැමිණියේ දින ගණනාවකට පසුවය. විශ්ව තාත්තාගේ වටේ කැරකෙමින් උන්නේ මේ කතා කීමටය.

‘පප්ප අද මොකද කරන්නේ’

තාත්තා කොළඹ ගෙදරට පැමිණ පැය පහකට හයකට පසුව විශ්ව ඇසුවේය.

චූටි මහත්තයා මං දැන් යන්න හදන්නේ මීටින් එකකට’

බලාපොරොත්තු බිඳුණු බවක් විශ්වට දැනුණි.

‘ඇයි මොකද?’

‘නෑ මේ . . . මේ . . . නිකං’

තාත්තා පිටව ගියේය. කියන්නට තිබූ දේ කියා ගන්නට බැරිවීම ගැන විශ්ව දුක් වුණේය. දෑස් පියවෙමින් තිබුණි. නැවත දුරකථනය විශ්ව අතට ගත්තේ යාන්තමින් දෑස් අරිමිනි.

‘ඔව් පප්ප කියන්න’

‘චුටි මහත්තයා කාර් එක කැඩුණ මගදී’

‘කොහෙද?’

‘රාජගිරියේ . . . මං හදාගෙන යන්නං, මොකෝ කරන්නේ’

‘පප්ප මං ඔය තැනට එන්නං’

‘නෑ ඕන නෑ’

‘නෑ නෑ මං දැන් පිට වෙන්නං’

විශ්ව වහා නැගී උන්නේ මේ කාරණාව තාත්තාට පවසන්නට හොඳම වේලාව ඇවිදින් බව දැනගෙනමය. වේගයෙන් රාජගිරියට විශ්ව පැමිණෙන විටත් වාහනේ කටයුතු ඇරැඹී තිබුණි. වාහනය වටා රවුමක් ගැසූ විශ්ව තාත්තා වටේ ද රවුමක් කැරැකුණේය.

‘පප්ප . . . මට මේ දෙයක් තියෙනවා කියන්න’

‘මොකක්ද . . . මොකක් සම්බන්ධව ද?’

‘මේ ගෑනු ළමයෙක් සම්බන්ධව’

තාත්තාගේ මුවඟට ඉබේටම නැගුණේ හසරැල්ලකි.

‘ඉතිං . . .’

‘එයා කියනවා ගෙදරින් අහන්න කියලා.’

තාත්තා ගෑනු ළමයා ගැන සියලු දේ ඇසුවේය. සියලු තොරතුරු අසනා විට වාහනය ද පිළිසකර කිරීමට අවසන්ව තිබුණි.

‘ඉතිං අහනවා ගිහිං’

තාත්තා වාහනයේ නැඟී යන්නට ගියේය. විශ්වට දැනුණේ විශ්වයේ සිටින නිස්කලංකම පුද්ගලයා තමා බවය. පසුදා උදෑසනම විශ්ව එරන්දිගේ පියා ඇමතුවේය.

‘ගුඩ් මෝර්නිං මිස්ටර් පි‍්‍රයන්ත’

‘ඔව්’

‘මං මේ විශ්ව කොඩිකාර

‘ආ . . ඔව් කියන්න . . . ඉතිං’

‘මට අංකල්ව හම්බ වෙන්න ඕනෙ කාරණාවකට’

‘මොකක්ද කාරනවා’

‘නෑ ඒක මෙහෙම ෆෝන් එකෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි’

‘නෑ කමක් නෑ කියන්න’

අංකල්ගේ දුව සම්බන්ධ කාරණාවක්’

‘අනේ පුතේ මං කැමති නැහැ ඒකට. මොකද එයා ඉන්නේ වෙනම පැත්තකනේ. අනෙක තවම ඉගෙන ගන්නවනේ.

එරන්දිගේ තාත්තා කියූ කතාව විශ්වට වැටහුණේ මඟකදීය.

‘නෑ අංකල් රඟපෑම සම්බන්ධ දෙයක් නෙවෙයි’

‘එහෙනං’

‘මං මං අංකල්ගේ දුවට කැමතියි’

විශ්ව තම අදහස අමු අමුවේම මුදා හැරියේය.

හරි පුතා අපි හමුවෙලා කතා කරමු.

විශ්ව දුරකථනය විසන්ධි කළේ බලාපොරොත්තු රැසක් පොදි බැඳ ගනිමිනි.

- ලබන සතියට