වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඇයයි, මමයි සම වයසේ කටකතා හැදුණේ ඒ හින්දා

ඇයයි, මමයි සම වයසේ කටකතා හැදුණේ ඒ හින්දා

සුරේෂ් මාලියද්ද

හේ සප්ත ස්වරයේ නව මං සොයා යන නිර්මාණශීලී තරුණයකු බැව් මේ වන විට හාත්පස සමාජය හඳුනාගෙන හමාරය. ලොව නව සංගීත ප්‍රවණතා ගවේෂණය කරමින් හා එකී සම්ප්‍රදායන්ගේ මූලයන් හදාරමින් ඔහු නිරන්තරයෙන් ලාංකේය සංගීත භාවිතය යාවත්කාලීන කරලීමට නන් අයුරින් උර දෙන සංගීත ශිල්පියෙකි.

සුරේෂ් මාලියද්ද, නම ඇසූ විට ඉහත පූර්විකාව අතිශයෝක්තියෙන් බැහැර ප්‍රකාශයකැයි ඔබ නිගමනය කරනා වග මට විශ්වාසය. වත්මන් සංගීත කරළියේ නෙක විස්කම් පානා මේ සොඳුරු රසවතා අද මෙලෙසින් අප හා පිළිසඳරට එක් වේ.

* ‘සංගීත සංයෝජනය’ යන නව භාවිතය සමඟයි ඔබේ නම වර්තමාන සිනමා සංගීතයේ අප හඳුනා ගන්නේ. එතනින් මේ කතාබහට ප්‍රවේශය ලබා ගත්තොත්?

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘කුස පබා’ චිත්‍රපටයෙන් තමයි හරියටම ඒ හැරවුම සිදු වුණේ. එහි සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. සංගීත සංයෝජනයට මගේ තිබෙන හැකියාව ඔහු හඳුනා ගත්තේ චිත්‍රපටවල ගීත නිර්මාණය කරද්දී. ‘ආසයි මං පියාඹන්න’ ඇතුළු චිත්‍රපට කිහිපයක මම ඔහුත් එක්ක වැඩ කළා. ‘කුස පබා’ චිත්‍රපටයේදී ‘සංගීත සංයෝජනය’ යනුවෙන් ඔහු මට ඒ ටයිටල් එක ලබා දුන්නා. නමුත් සංගීත අධ්‍යක්ෂණය කළේ රෝහණ වීරසිංහ මහත්මයා. පසුබිම් සංගීතයට අමතරව එහි ගීත හයක්ම ඇතුළත් වුණා.

* මම හිතන්නේ මේ සහසම්බන්ධය ඉතා සාර්ථක සහ ප්‍රතිඵලදායක වුණා?

ඇත්තෙන්ම පසුගිය ‘දෙරණ’ සිනමා සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක්ම ලැබුණා ‘කුස පබා’ ගීත හා සංගීත නිර්මාණය වෙනුවෙන්. ඉතින් ඒක මට ලොකු දෙයක්. හේතුව ඒක රෝහණ වීරසිංහයන්ගෙයි මගෙයි හැකියාව මුසු වෙලා සිදු වුණ දෙයක් නිසා. ඔහු ඒ සම්මාන ලබා ගන්න වෙලාවෙත් මගේ නම සඳහන් කළා.

* රෝහණ වීරසිංහ කියන්නේ සිනමා සංගීතයට ආගන්තුකයෙක් නෙවෙයිනේ. ඇයි ඔහු වගේ දැවැන්තයෙක් මේ විදිහට ඔබේ දායකත්වය ලබා ගන්නට ඇත්තේ?

මට හිතෙනවා මෙහෙම. ඔහු හිතන්න ඇති මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක පරණ දේවල් රැකගෙන අලුත් නිර්මාණශීලී දෙයක් මට කරන්න පුළුවන් කියන කාරණය. මම අතින් ඔහුගේ තනුව මැරෙන්නේ නැහැ. ඔහු ඒක හොඳට දන්නවා. මගෙන් ඔහුගේ නිර්මාණයට යම් කිසි ආලෝකයක් ලැබෙන බවත් ඔහු දන්නවා. ඉතින් ඒ නිසයි එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මම සංගීතය ගොඩක් අහන කෙනෙක්, ලෝකෙම තියෙන. ගීතයක් අහපු ගමන් ඒකට කරන්න ඕනෑ සාත්තුව ඉක්මනට මගේ ඔළුවට එනවා. ඔහු ඒක දන්නවා. ඒ හඳුනා ගැනීම මා ලැබූ භාග්‍යයක්.

* බටහිර සංගීත සම්ප්‍රදායට වඩාත් නෑකම් කියන සංගීත ශෛලියක් තමයි ඔබේ නිර්මාණ හරහා අප වැඩිපුර දකින්නේ?

මගේ පෞද්ගලික නිර්මාණවලදී, ඒ කියන්නේ මගේ ගී තනු සහ සංගීත නිර්මාණවලදී ගොඩක් දුරට බටහිර පැත්තට බරයි. නමුත් රෝහණ වීරසිංහයන්ගේ ගීතයක් මම සංගීතවත් කරද්දී ඒකෙ තිබෙන හැඩතල උඩ තමයි මම යන්නේ. එතකොට මම ඉන්දියාවෙත් යනවා. එංගලන්තෙත් යනවා. හැම තැනම ගිහින් තමයි නිර්මාණයට අවශ්‍යය දේ ගන්නේ. හැබැයි ගීතයේ තියෙන හැඩරුව හඳුනාගන්න මට පුළුවන්. ඒ නිසා පටලවා ගන්නේ නැතිව වැඩේ කර ගන්න හැකියාව තියෙනවා.

* ඒ අවශ්‍ය දැනුමෙන් හා නිර්මාණ පරිකල්පනයෙන් ඔබ පොහොසත්?

ඔව්, දැන් ‘කුස පබා’ චිත්‍රපටයේ කසුන් කල්හාර ගයන ‘මධු චන්ද්‍ර යාමේ’ ගීතයට මම පාවිච්චි කරලා තියෙනවා ෆර්කෂන් ට්‍රැක්ස් දහ අටක්. ඒ කියන්නේ තාල් වාද්‍ය භාණ්ඩ. ඒ වගේ ගොඩක් දේවල්.

* තවත් චිත්‍රපට කිහිපයකටම ඔබ දායකත්වය ලබා දුන්නා?

ඊළඟ චිත්‍රපටය තමයි ‘සිරි පැරකුම්’. ඒකෙත් අර වගේම තමයි කටයුතු සිදු වුණේ. ඒකත් සාර්ථක වුණා. මේ දවස්වල කුලරත්න ආරියවංශගේ පුත් කල්ප ආරියවංශගේ චිත්‍රපටයක රෝහණ වීරසිංහයන් සමඟ සංගීත නිර්මාණ කටයුතු කරගෙන යනවා. එතකොට ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්රස් නෑ’ චිත්‍රපටයෙත් රෝහණ සහ මගේ සුසංයෝගය තිබෙනවා. ඊළඟට සුමිත්‍රා පීරිස්ගේ ‘වෛෂ්ණාවී’ චිත්‍රපටයේ මම නිමල් මෙන්ඩිස් සමඟ සංගීත සංයෝජනයට සම්බන්ධ වෙනවා. ඒ වගේම සනත් ගුණතිලකගේ ‘සිනහව අතරෙන්’ චිත්‍රපටයේ සංගිීත අධ්‍යක්ෂණයත් මට බාරදීලා තියෙනවා.

* එතනදී අලුත් වෙනසක් සිදු වෙනවා?

සනත් ගුණතිලක මහත්මයාට අවශ්‍ය වුණා නිරෝෂා විරාජිනීවත් මෙහි සංගීත පාර්ශවයට දායක කර ගන්න. ඒක ඔහුගේ යෝජනාවක්. නිරෝෂා මගේ සහායිකාව විදිහට නිර්මාණාත්මක පැත්තෙන් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.

* පසුගියදා ‘කේමදාස පදනම’ මගින් ඉදිරිපත් කළ කේමදාස ගුණානුස්මරණ ප්‍රසංගය සංගීතවත් කළේත් ඔබ. එයත් සුවිශේෂ අත්දැකීමක් වෙන්නට ඇති?

ඇත්තටම ඒ අවස්ථාව මට ගොඩක් වටිනවා. මේ කොන්සර්ට් එකේදී මම පියානෝ එකෙන් නැගිටලා සංගීතය මෙහෙයවන්න ඕනෑයි කියන අදහස කේමදාස පදනමේ තිබුණා. මියුසික් කන්ඩක්ට් කිරීම. ඉතින් එතනදි ඇත්තටම මට එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නෑ එහෙම කරන්න. හැබැයි මට ඕනෑ වුණේ නෑ ඒක වැරදියට කරන්නත්. ඒක නිසා මම ඊට සති දෙක, තුනකට කලින් ලන්ඩනයේ ඒ පිළිබඳ විශේෂ පාඨමාලාවක් හැදෑරුවා (Peter Fender Conducting Course) ප්‍රසාද් කියලා මගේ පාසල් මිතුරකු තමයි මට ඒ අවස්ථාව උදා කරලා දුන්නේ. මට සහතිකයකුත් හිමි වුණා. ඊට පස්සේ තමයි මම කේමදාසයන්ගේ ප්‍රසංගය සංගීතවත් කළේ.

* කේමදාසයන්ගේ ජනප්‍රිය ගී තනු රැසක් එදින අපේ ප්‍රවීණ ගායක, ගායකාවන් විසින් ගයනු ලැබුවා. ඒ ගී නිර්මාණවල සංගීත පාර්ශවයේ ඔබ යම් වෙනසක් සිදු කළාද?

ඇත්තටම මම විශේෂ දෙයක් සිදු කළේ නැහැ. මොකද ඒවායේ අලුතෙන් ඇරෙන්ජ් කරන්න කියලා දෙයක් තිබුණේ නැහැ. ඔහු විසින් ඒ සියලු දෙවල් කරලා තිබුණා. මම කළේ ඒවා පිරිසුදු කරලා ප්‍රකාශ කිරිමක් පමණයි. මොකද දැන් මේ වර්තමානය වෙන කොට අපට ඒවායේ තව පිරිසුදු කරීමේ අවශ්‍යතාවයක් තියෙනවා.

* අපේ රටේ ගෘහස්ත ප්‍රසංග කලාවේ ජනප්‍රිය යුගයක් මේ. ඔබට එවැනි ප්‍රසංග සඳහා නිරන්තරයෙන්ම ඇරැයුම් ලැබෙනවා?

මෙතනදි මම විශේෂයෙන්ම කතා කළ යුතු වෙනවා විශාරද නන්දා මාලිනියගේ ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය ගැන. ඇය වසර විසි පහකට පසුව ඉදිරිපත් කළ ප්‍රසංගයේ සංගීතය බාර දුන්නේ මට. එය මගේ සංගීත දිවියේ විශාල පරිවර්තනයක්. ඔබ ඇසුවා සේ මට ගෘහස්ත ප්‍රසංග සඳහා නිතර ඇරැයුම් ලැබෙනවා. ඒවා ඉතාම උසස් මට්ටමකින් ඉදිරිපත් කරන්නට මම විශාල පරිශ්‍රමයක් දරනවා. වෙනත් ප්‍රසංගයකදී වාද්‍ය ශිල්පියකුට ගෙවන මුදල වගේ තුන් ගුණයක් මම ඔවුන්ට ගෙවනවා. වෙනම පුහුණුවීම් තියෙනවා. මගේ ප්‍රසංගයකදී මම වාදක මණ්ඩලයට පරණ නොටේෂන් එක දෙන්නේ නෑ. ඒ ඉඩධඹ එකේ කොන්සෙප්ට් එක අනුව අලුත් මුහුණුවරක් දෙනවා.

* ඔබේ වාද්‍ය වෘන්දය සඳහා ඔබ නිතරම තෝරා ගන්නේ එකම පිරිසක්. ඒ කියන්නේ එකම කල්ලියක් එක්ක ඔබ වැඩ කරන්නේ. ඇයි ඒ?

ඔය කල්ලියේ වෙනස් වෙන දෙතුන් දෙනෙකුත් ඉන්නවා. ඒ කරන වැඩේ අනුව. මම තෝරා ගත් පිරිස එක්ක ඕනෑ වැඩක් කරන්න පුළුවන් කියලා මම දන්නවා. අනෙක ඒ අය ඕනෑ තරම් මහන්සි වෙන්න කැමැති අය. සමහර විට මගේ රිහසල් තියෙන්නේ උදේ 8.00 ට. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ 10.00 ට 11.00 ට රිහසල් පටන් ගන්නනේ. මගේ ක්‍රමය වෙනස්. ඉතින් ඒ වගේ කැප කිරීමක් කරන්න පුළුවන් අය තමයි මගෙත් එක්ක ඉන්නේ. ඒ අය ගොඩක් වෙලාවට මගේ සම වයසේ හා මට වඩා බාල අය.

* ඇයි ඒ?

ඇත්තටම මම ගොඩක් ප්‍රවීණයෝ එක්ක වැඩ කළා. රෝහණ වීරසිංහ, ස්ටැන්ලි පීරිස්, මහින්ද බණ්ඩාර ඇතුළු ප්‍රවීණයන් එක්ක. ඔවුන්ගෙන් මට ගොඩක් ගුරු හරුකම් ලැබුණා. මේක ඉදිරියට පවත්වාගෙන යන්න නම් අලුත් පරම්පරාවටත් ඒ පළපුරුද්ද අවශ්‍යයි. තව අවුරුදු දහයකින් මම එක පාරටම අලුත් පරම්පරව එළියට ඇදලා ගත්තොතින් මට ඒ අයගෙන් වැඩක් ගන්න බෑ. ඉතින් දැන් ඉඳලම මම ඒ අය පුහුණු කරගෙන යනවා මේකට මුහුණ දෙන්න.

* ඒ කියන්නේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් ඔබේ ප්‍රසංගවලට දායක කර නොගන්නවා කියන එක නෙවෙයිනේ?

ප්‍රවීණයෝ එක්ක මම වැඩ කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ සහාය අවශ්‍ය තැනදී මම ලබා ගන්නවා. දැන් මගේ පහුගිය කොන්සර්ට් එකේදී කලණි පෙරේරා, සනත් සතිස්චන්ද්‍ර මට දායක වුණ. එයාලා මට වඩා වයසින් වැඩි ප්‍රවීණයෝ. එහෙම ප්‍රවීණයෝ මගේ වැඩවලට ගන්න අකැමැතියි කියා නෙවෙයි මම කිව්වෙ. ඒත් මම කැමැතියි තවත් අලුත් පිරිසක් එක්ක මේ ගමන යන්න. මොකද මම අද මෙතන ඉන්නේ එදා ප්‍රවීණයෝ එක්ක සම්බන්ධ වූ නිසයි. මහින්ද බණ්ඩාර තමයි මාව එදා එහෙම හොයලා ගත්තේ.

* ඔබ මධුර තනු නිර්මාපකයෙක්. ඒත් ඔබ ඒ සඳහා වැඩි නැඹුරුවක් නොදක්වන බවකුයි පේන්නේ?

නිරෝෂා විරාජිනී ගයන ‘දේදුන්නේ සත් පාට හංගලා’, අමරසිරි පීරිස් ගයන ‘ආලවන්ත වීදියේ’ වගේ ජනප්‍රිය ගීත සංඛ්‍යාවක් මගේ තියෙනවා. ඒත් මම එහෙම එක දෙයක්ම ෆෝකස් කරගෙන යන කෙනෙක් නෙවෙයි. මට ශබ්ද පරිපාලනය පිළිබඳ දැනුම, අවබෝධය තියෙනවා. මගේම ශබ්දාගාරයේ ගීත පටිගත කිරීමට මම ඒ දැනුම යොදා ගන්නවා. එතකොට සංගීත සංයෝජනය, තනු නිර්මාණය මේ සියල්ල එකට කරගෙන යන්නේ පොදු විදිහකට. ඒකට තමයි මම කැමැති.

ඔය සිව් අංශයෙන්ම මට වැඩ එනවා. මේ ඊයේ පෙරේදත් මම එහෙම තනු කිහිපයක් නිර්මාණය කළා.

* අපේ සංගීතඥයන්ට පොදුවේ නැෙඟන චෝදනාවක් තමයි මේ ගීතය නමැති කුඩා රාමුව තුළ සැමදාම සිර වී සිටියාය කියන එක. නමුත් කේමදාස වැනි ශිල්පියකු එතනින් ඔබ්බට අපේ සංගීතය ඔසවා තබන්නට වෑයම් කළා. එවැනි දිශාතනියකට යන්න ඔබේ අදහසක් නැද්ද?

අපේ හොඳ සංගීතඥයන් විසින් නිර්මාණය කළ හොඳ ගී තියෙනවා නියමිත ප්‍රමිතියෙන් තොරව පටිගත වී එළියට ආපු. තාක්ෂණික දුර්වලකම් සහ ගායනයේ අඩුපාඩු සහිතව. එහෙම ජනප්‍රිය වුණ ගීත තියෙනවා අපේ ප්‍රවීණ ශිල්පීන් ගායනා කරපු. එතකොට මගේ ශබ්දාගාරයෙන් පිටවන ගීතවලදී මම වග කියනවා හැම වෙලාවෙදිම ඒ ප්‍රමිතිය රැක දෙන බවට. වෙන රටක ගීතයක් පොඩි සෙටප් එකක ඇහුවත් කොලිටියක් තියෙනවානේ. නමුත් අපේ රටේ ඒ තත්ත්වය නෑ. සමහර සෙටප්වලදී හඬ ඇහෙන්නේ නෑ. ට්‍රැක්ස් ටික විතරයි. මේ වැරැදි සිදු වෙන්නේ ශබ්දාගාරවලදියි.

* ඔබ උත්සාහ කරන්නේ ඒ දුර්වලතා ජය ගනිමින් හොඳ ගීත නිර්මාණ රසිකයාට තිළිණ කරන්න?

ඇත්තටම හොඳ කොලිටි ගීත අපේ රසිකයන්ට ලබා දෙන්නයි මගේ අරමුණ. මෙතනදි මම විශේෂ උත්සාහයක් දරන්නේ ගායකයාගේ හඬ ඒ නියමාකාරයෙන්ම ඉස්මතු කරන්න. සමහර ශබ්දාගාරවල අනවශ්‍ය ඉෆෙක්ට්ස් දාන්න ගිහින් අර ගායකයාගේ හඬ විකෘති කරනවා. ඒ හඬ මරනවා. මම බොහෝ වෙලාවට පවතින තත්ත්වය වඩාත් නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා හැර ආර්ටිෆිෂල් දේවල් කරන්න යන්නේ නැහැ.

* සංගීත කරළියේ වික්‍රමයන් පාන අවධියේ තවත් පැත්තකින් ඔබ කතාබහට ලක් වූ පුද්ගලයකු වුණා?

ඒ කිව්වේ?

* කටකතා, චෝදනා මේ ක්ෂෙත්‍රයේ නුහුරු දේවල් නෙවෙයිනේ. ඔබටත් ඒ දේවල්වලට මුහුණ පාන්නට සිදු වුණා?

සාමාන්‍යයෙන් මට එහෙම කටකතා හැදුණා අඩුයි. හැබැයි එහෙම වෙලා නෑ කියලා මම කියන්නේ නෑ. එක්කෝ මට කවුරුත් ඒවා කෙළින් කියන්නේ නැද්ද දන්නේ නෑ. මම දැනගන්නවා අඩුයි.

* ඒත් නිරෝෂා විරාජිනී හා ඔබේ නම ඈඳී නොයෙක් කතාන්දර පටබැඳුණා ඒ කාලේ?

ඇත්තම කිව්වොත් එහෙම කිසි සම්බන්ධයක් අපේ තිබුණේ නැහැ. හැබැයි නිරෝෂයි මායි ගොඩක් එකට වැඩ කළා. ඇයයි, මමයි සම වයසේ. මේ කලාව ඇතුළේ අපේ තිබුණ සමීපතාව නිසා වෙන්න පුළුවන් එවැනි කටකතා හැදුණේ. ඇත්තම කිව්වොත් අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා. නිරෝෂා අදටත් මගේ එක්ක සුහදව වැඩ කරනවා. ඇය සනත් ගුණතිලකගේ චිත්‍රපටයේදී මාත් එක්ක සංගීත නිර්මාණයට දායක වෙන බවත් ඔබට මුලින්ම මා කිව්වේ ඒ නිසයි.

* ඔබ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන කලාකරුවෙක්?

මම ඉතා සාර්ථක පවුල් ජීවිතයත් ගත කරන්නේ. මට දියණියන් තිදෙනෙක් සිටනවා. මගේ බිරිය මගේ සංගීත වැඩ කටයුතුවලට ගොඩක් උදව් කරනවා. ඇත්තෙන්ම නිවසේ බොහෝ කටයුතු සොයා බලන්නේ ඇය. ක්ෂේත්‍රයේ අය ගොඩක් හිතවත් ඇය එක්ක. මේ තරම් දුරක් මට සංගීත ක්ෂේත්‍රයේ පිය නඟන්න හැකි වුණේ ඇය දුන් දිරිය, ශක්තිය නිසා. මම හොඳ සැමියෙක්, හොඳ පියෙක් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ඉදිරියේදීත් ඔය වගේ කතා හැදෙන්න පුළුවන්. මොකද වැඩිපුරම මගෙන් ගීත හදාගන්නේ ගායිකාවෝ නිසා.

* එළැඹෙන වසරේ ඔබ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන විදෙස් ප්‍රසංග කිහිපයක්ම පැවැත්වෙනවා විවිධ රටවල. ඒ ගැනත් සිහිපත් කරමු?

2014 අප්‍රේල් මාසයේ වික්ටර් රත්නායක සහ නිරෝෂා විරාජිනී සමඟ කැනඩා සංචාරයක් තියෙනවා. අපේ‍්‍රල් අන්තිමට වික්ටර් සහ නන්දා මාලිනී සමඟ අමෙරිකානු සංචාරයකටත් නියමිතයි. ජූනි මාසෙදී රූකාන්ත – චන්ද්‍ර ලේඛා යුවළ සමඟ ඉතාලි, පැරිස් හා ලන්ඩන්වල ප්‍රසංග කිහිපයකට සහභාගි වෙනවා. නැවත ජූලි මාසයේ නන්දා මාලිනී සමඟ ඕස්ටේලියානු සංචාරයක නිරත වෙනවා.