වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




අත්ත නැත්නම් තිසුරිත් නෑ

අත්ත නැත්නම් තිසුරිත් නෑ

තිසුරි යුවනිකා අපේ කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පිනියක්. පසුගිය දා පැවති සුමති ටෙලි සම්මාන උළෙලේ දී ඇයට හොඳම නැගී එන නිළියට හිමි සම්මානයත් හිමි වුණා. තිසුරිගෙ නවතම රංගනය ඇතුළත් වන්නේ ‘මහිංසා’ ටෙලි සිත්තමේ. එහි මහිංසා ගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඇය. එහි එක දර්ශනයක ගඟක මිනියක් පාවෙනවා. මිනිය මහිංසාගේ.

මේ දර්ශනයට තිසුරිව ලෑල්ලක තියලා ගඟේ පා කළා. ටික දුරක් එහෙම යනකොට එකපාරටම වතුරපාර සැරවෙලා ලෑල්ල පෙරලිලා තිසුරි වතුරට වැටිලා ගහගෙන යන්න වුණා. එදා එතැන හිටිය තිසුරිගෙ තාත්තයි, තව කිහිප දෙනෙකුයි වතුරට පැන්නත් ඇයව අල්ල ගන්න නම් බැරි වුණා. ‘මාව බේර ගන්නෝ’ කියලා හයියෙන් කෑගැහුවත් මේ කාටවත් තිසුරි ළඟට යන්න බැරි වුණා.

කොහොම හරි වතුරේ ගහගෙන ආපු අත්තක් තිසුරිගේ ඇඟේ හැපිලා. ඇය ඒක හයියෙන් අල්ලගෙන. මේකෙ එල්ලිලා ටික දුරක් යනකොට ගල් දෙකක් අතරේ හිරවෙලා. ඊට පස්සේ කට්ටියම ඇවිත් තිසුරිව ගොඩට ගත්තා. තිසුරිගෙ වාසනාවට එදා ඒ අත්ත ආවෙ නැත්නම් අද අපට තිසුරි කෙනෙක් නෑ. මොකද තිසුරිට පීනන්න බෑ.