වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




බජට් එකට වැඩිය හිට් වැඩක් කරන එක වටිනවා

බජට් එකට වැඩිය හිට් වැඩක් කරන එක වටිනවා

‘ඉහිරුණු කිරි’ පුංචි තිරයට ගෙනෙන සංජය ගුණවර්ධන

මොනව හරි කරලා හම්බ කරන්න මට බැහැ

සංජය ගුණවර්ධන. නමින් ඔබ නොදන්නවා වන්නට පුළුවන. රුවින් ද හෙතෙම කරළියේ හමුවන්නේ ඉතා කලාතුරකිනි. නමුදු ඔහුගේ නිර්මාණ අවංකවම රස විඳී සියලුම දෙනා ඔහු හොඳීන්ම හඳුනති. කතා කිරීමට සමත් රූප භාවිතයට සමතකු වන සංජය තමාගේ නිර්මාණ භාවිතය හරහා ප්‍රේක්ෂකයන්ට ඉහළ රසාස්වාදයක් ගෙන ඒමට වෙහෙසෙන අධ්‍යක්ෂවරයෙකි. එසේම හෙතෙම තමන්ගේ රූපවලට වගකියනු ලබන අධ්‍යක්ෂවරයෙකි. මතක මං පෙත, අමායා, ඉසිරභවය, ලාභයි ඇපල් වැනි සදා නොමැකෙන ටෙලි සිතුවම් අපට තිළිණ කළ සංජය මේ දිනවල කතාබහට ලක්වන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වන ඉහිරුණු කිරි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ලෙසටය.

ඒකාකාරී මෙගා පාරේ ඇවිද හෙම්බත් වූ රස හඳුනන ප්‍රේක්ෂකයාට සදාහරිත වන වදුලක සිහිල මෙන්ම මිහිර ද ලබා දුන් ‘ඉහිරුණු කිරි’ පිළිබඳ බොහෝ දෙනා අවධානයෙන් සිටින මොහොතකි මේ. වෙනස්ම ආරක්ගත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරමින් ඒ අවධානම ගත් සංජය පිළිබඳව ද දැන් රටම අවධානයෙනි. මේ සරසවිය සහ සංජය එක් වූ මොහොතක ප්‍රතිඵලයකි.

මම - සංජය කාලෙකින් හම්බ වුණේ?

සංජය – ඔව්, ගොඩ කාලෙකින්.

මම - කොහොමද ඉහිරුණු කිරි නිසා සංජයගේ ජීවිතේට කිරි ඉතිරුණා වාගෙයි?

සංජය – අධ්‍යක්ෂවරයකුගේ ආත්ම තෘප්තිය තියෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත. ඉහිරුණු කිරි මේ දවස්වල හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබනවා. ඒ නිසා ජීවිතේ සතුටින් පිරිලයි තියෙන්නේ.

මම - මොකකද ඉහිරුණු කිරි වගේ වැඩක් තියෙන වැඩක් කරන්න හිතුණේ?

සංජය – හැම තැනම තියෙන බලන්න බැරි ටෙලි නාට්‍යය අතරට බලාගෙන විඳීන්න පුළුවන් ටෙලි නාට්‍යයක් කරන්න තමයි හිතට ආවේ. ඒ නිසා ඉහිරුණු කිරි වගේ රස වින්දනයට මුල් තැන දීපු නිර්මාණයකට යොමු වුණා.

මම – හැමෝටම තියෙන බජට් ප්‍රශ්නෙ සංජයට අවේ නැද්ද?

සංජය – බජට් ප්‍රශ්න නැති ටෙලි නාට්‍ය නැහැනේ. ඒත් කොච්චර වියදම් වුණත් අවශ්‍ය නළුවා, ලොකේෂන් ටික අත්‍යවශ්‍යයි. නිර්මාණය විසින් ඉල්ලා සිටින මූලික කරුණුත් සපුරා ගන්නේ නැතුව කොහොමද රස වින්දනය ගැන කතා කරන්නේ. අනෙක අපි බජට්වලට වැඩිය හිතුවේ හිට් වැඩක් කරන්න.

අද හැම දේම වැඩි වෙනවා. උපකරණවලට ගෙවන මිල අධික වෙනවා. නළු නිළියන්ගේ මුදල් ඉහළ යනවා. ඒත් කොටසකට ගෙවන ගණන දිනෙන් දින යන්නේ පහළට. ඒ නිසා බජට් ප්‍රශ්නෙ හැමෝටම තියෙනවා.

මම – දුර පළාත්වල රූගත කරපු ඉහිරුණු කිරි සදහා සංජය යොදා ගන්නේ හොඳම නළු නිළි කණ්ඩායමක්?

සංජය – ඔව්. අද දැකල හෙට රඟපාන්න එන්න කියලා නාට්‍ය හදන්න බැහැ. ඒ නිසා මං හැම චරිතයකටම ගත්තේ ගැළපෙන උදවිය. පිටපතක් කියවගෙන යන කොට පිටපත මඟින් චරිත සඳහා විවිධ හැඩ මැවෙනවා. ඒ හැඩය ගැන මිසක් මිල ගැන මං එතැනදි හිතුවේ නැහැ. සුදුසුම තැනට සුදුසුම කෙනා තමයි මං යොදා ගත්තේ. ඒ නිසා වෙන්නට ඇති ඉහිරුණු කිරි මෙතරම් ඉක්මනට ජනතාව අතරට ගියේ.

මම – ඉහිරුණු කිරි කොටස් කීයද?

සංජය – හතළිහයි.

මම – චැනල් එක වැඩි කරන්න කිව්වොත් ඒක කරන්න පුළුවන්ද ?

සංජය – බැහැ. මේ නාට්‍යය ඉතාමත් සැලසුම් සහගතව කළ එකක්. පටන් ගැනීම වගේම අවසානයත් දැන් රූගත කරලා ඉවරයි. කිසිම හේතුවක් මත ඒක වෙනස් වෙන්නේ නැහැ.

මම - මේ කාලය, ශ්‍රමය සහ මුදල යොදවලා හොඳ මෙගා එකක් කරන්න තිබුණනේ?

සංජය – මං මෙගාවලට විරුද්ධයි. කොටස් 500 – 600 යන නාට්‍යය හදන්න කතා කොහෙද තියෙන්නේ. ඒව රෝල්, වෙන්නේ එකම තැන. මොනව හරි පෙන්නලා සල්ලි කඩාගන්න තමයි ගොඩ දෙනෙක් උත්සාහ කරන්නේ. මෙගා වුණත් හරියට කරන්න පුළුවන්. දැන් කොටස් 100 ට සීමා වෙලා තියෙනවා. මොනවත්ම නැති එකේ ඒ සීමාව පනවපු එකත් හොඳයි.

මම – මීළඟට මොකද වෙන්නේ?

සංජය – මගේ ඊළඟ ටෙලි නාට්‍යය වෙනුවෙන් දර්ශන තල සොයමිනුයි මේ දිනවල ඉන්නේ. ඊළඟට කතා කරන්නේ ධීවර ගම්මානයක් ගැන. තුෂාරි අබේසේකර තමයි පිටපත ලියුවේ. ඒ නිර්මාණේ ඇතුළේ කතාබහට ලක්වෙන්නේ වෙනස්ම තාලයේ කතාන්දරයක්.

මම – ඒක මෙගා එකක් නේද?

සංජය – කොටස් 100 යි.

මම – ඒ කියන්නේ මෙගා?

සංජය – නැහැ. ඒක සැලසුම් සහගතව ඇරඹෙන සහ අවසන් වන නාට්‍යයක්. දැන් එහි සියලු කටයුතු සැලසුම් කරලයි තියෙන්නේ.

මම – මේකට බජට් ප්‍රශ්න ඇතිවෙන එකක් නැද්ද?

සංජය – කොච්චර ප්‍රශ්න ආවත් අධ්‍යක්ෂවරයා නිර්මාණයට අවංක වීම ඉතාමත් වැදගත්. ඒ නිසා ඉදිරි පියවර රූගත කිරීම් සිදු වන්නේ කොළඹින් බැහැරව. මොනවා හරි කරලා සල්ලි ගොඩක් හොයනවාට වඩා හොඳ දෙයක් දීලා හම්බ කරගන්න පොඩි මුදල වටිනවා.

මම – ඉහිරුණු කිරිවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සංජය – ඉතාමත් හොඳයි. බහුතරය කියන්නේ කාලෙකට පස්සේ බලන්න පුළුවන් ටෙලි නාට්‍යයක් ආවා කියලා. ඒක සතුට ජනනය කරන කරුණක්. මොකද අපේ රටේ රසඥතාවය තියෙන පිරිසක් ඉන්නවා කියලා මේ වැඩ කළහම දැනෙනවා. ඒ වගේම රුප පෙට්ටියට ඈතින් හිටපු අය ආයේ සාලෙට ගන්න අපට හැකියාව ලැබුණා. ඒක වටිනවා කියලා මට හිතෙනවා.

මම - ගෙදරයි ඉඩමයි බේර ගත්තද සංජය?

සංජය - (සිනාසෙමින්) ඔව්, යාන්තං ඉන්න හිටින්න තැන බේර ගත්ත. මේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළේ මමයි, පුන්සිසි වන්නිආරච්චියි, කුමාර වඳුරැස්සයි. මේක කරලා දැන් සෑහෙන කල් වෙනවා. ගෙදරත්, ඉඩමත් තියලා තමයි සල්ලි ගත්තේ. අන්තිමට ඒවා සින්න වෙන්න ගියා.

මම - සංජයට පුළුවන්නේ මෙගා එකක් කරලා අතට ගාණක් ගන්න?

සංජය – මට ඒකට හිත දෙන්නේ නැහැ. මොකද මේක මගේ ජීවිතේ මිසක් ඩීල් එකක් නෙවෙයි.

මම - ෆිල්ම් එකක් කරන්න අදහසක් නැද්ද?

සංජය – තියෙනවා. ඒක ලොකු හීනයක්. හොඳ පිටපතක් ලැබුණු ගමන්ම වැඩේ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ලබන අවුරුද්දේ චිත්‍රපටයක් හදන්න හැකි වේවි.

මම - මේ ටෙලි නාට්‍ය අර්බුදයට මොකක්ද විසඳුම?

සංජය –හොඳ ප්‍රතිපත්තියක් හදන එක තමයි. ඒත් කෝ අද ප්‍රතිපත්ති. කොහේද ප්‍රතිපත්ති තියෙන්නේ. හරි පිරිසක් එකතු වෙලා ස්ථිරසාර ප්‍රතිපත්ති මාලාවක් නොගෙනාවොත් මේ අර්බුදය තවත් වැඩි වේවි.

මම – මේ ගමන ගැන සංජය තෘප්තිමත්ද?

සංජය – ඔව්. මිනිස්සු මගේ නිර්මාණ බලනවා. හොඳ කියනවා. ඒවා විඳීනවා. නිර්මාණකරුවෙක් වීම ගැන මං තෘප්තිමත්. ඒත් මේ යන ක්‍රමය ගැන කලකිරිමකිනුයි ඉන්නේ.

මම – දැන් නළු නිළියෝ වැඩ කරන්නේ දවසේ පඩියට. අධ්‍යක්ෂවරු හරියට වත්තේ කංකානමගේ වෘත්තීය කරනවා වගේ වැඩ ගන්නවා. මේ තත්ත්වය ද ඔබටත් තියෙන්නේ?

සංජය – නැහැ. කවදාවත් මගේ නිර්මාණවල මිනිස්සු මරවලා වැඩ ගන්නේ නැහැ. කොහොමද එහෙම නිර්මාණ කරන්නේ. ඇතැම් නිර්මාණ ආරම්භ කරන්නේ උදේ තුනට. ඉවර වෙන්නේ රෑ දෙකට. නළුවා හෝ නිළිය කියන දේ කරලා ඩේ පේමන්ට් එක අරන් ගෙදර යනවා. ඒත් මං කරන්නේ නිර්මාණයක් මිසක් කුලී වැඩක් නෙවෙයි.

මම – චැනල් එකකින් මෙගා එකකට කතා කලොත් යනවද?

සංජය – මෙගාවලට මං විරුද්ධයි. අගක් මුලක් චරිත දන්නේ නැතුව කොහොමද නාට්‍ය කරන්නේ. හොඳ වැඩකට කතා කලොත් මං නොපැකිලී භාර ගන්නවා. හැබැයි අග මුල මැද තියෙන්න ඕනේ.

මම – ඊළඟ ටෙලි නාට්‍යයටත් ණයක් ගන්නවද?

සංජය – මොන දේ වුණත් හොඳ දෙයක් නොකර ඉන්න අමාරුයි නේ (සිනාසෙයි).