වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මං සංකරත් නැහැ සංවරත් නැහැ

මං සංකරත් නැහැ සංවරත් නැහැ

කලකට පසු යුරේනි ජීවිත අත්දැකීම් සමඟ

මාත් ආසයි පිළිවෙළක් වෙන්න මගේ යාඥා List එකේ 1st එකට තියෙන්නේ ඒක
දැනටත් ඉඳල හිටල නයිට් ක්ලබ් යනවා

යුරේනිත් එක්ක Chat එකක් දාන්න ඉඩක් ලැබුණේ කාලෙකින්. ටික කාලයක් ලංකාවෙන් බැහැර හිටිය යුරේනි ලංකාවට ඇවිත් තවත් කාර්යය බහුල වුණා. මෑතකදී යුරේනිව හම්බ වුණේ අහම්බෙන්. රඟපෑ චරිත ගණන අතළොස්සක් වුණත් යුරේනිගේ ජනප්‍රියත්වය තිබෙන්නේ ඉතා ඉහළ තැනක. පසුගියදා නිමාව දුටු සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය ලැයිස්තුවේ හතරවැනි තැන ඈ වැජඹෙමින් උන්නා. කිඳුරංගනා ටෙලි නාට්‍යයේ සංජු ලෙස ඉමහත් ප්‍රතිචාර ලැබූ යුරේනි මේ දිනවල සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ අයෝධ්‍යා වෙමින් අප හමු වෙනවා. එමෙන්ම අරෝරා හි ඇය ගුවන් සේවිකාවක් ලෙස චරිත මවනවා. විවිධ කාලවලදී විවිධ චරිත හරහා අපට සමීප වන ඈ දැන් ඉන්නේ මගේ සමීපයේ.

* යුරේනි කාලෙකින් නේද?

ඔව්. ගොඩක් කාලෙකින්.

* මේ දවස්වල මොකද කරන්නේ?

චාමර පීරිස්ගේ අරෝරා ටෙලි නාට්‍යයේ රඟපෑමට එක් වුණා. ඒ වගේම චන්දික විජේසේනගේ සිහින සිඬරෙල්ලා ටෙලි නාට්‍යයේ තමයි මේ දිනවල වැඩ කරන්නේ.

* සිහින සින්ඩරෙල්ලා හි අයෝධ්‍යා හොඳ ටර්නින්ග් පොයින්ට් එකක් නේද?

ඔව්. ඇත්තටම ලංකාවේ හැමෝම හිතන් ඉන්නේ යුරේනි නොෂිකා වෙස්ටර්න් චරිතවලට හොඳ කෙනෙක් කියලා. එත් මට ඕනෑම චරිතයකට ආරෝපණය වෙන්නට පුළුවන් කියලා අයෝධ්‍යා තුළින් මම ඔප්පු කර පෙන්නුවා. අයෝධ්‍යා කියන්නේ මුඩුක්කු ජීවිතයක් ගත කරන තරුණියක්. කතා විලාසය, හැසිරීම, ගමන් විලාසය පවා වෙනස්. හැකි උපරිම ශක්තියෙන් මම ඒ චරිතයට සාධාරණයක් ඉටු කරනවා.

* අපි ඉන්දයාවේ මතක අතරට යමු.

ඉන්දියාවේ මතක හරිම සුන්දරයි. එහෙදි මට දැවැන්ත චරිත කිහිපයක් මුණ ගැහුණා. ඉන්දියාවේ සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන ඩාබු රත්නානි මගේ ෆොටෝ ෂූට් එකක් කළා. ඒ වගේම ජෝන් ඒබ්‍රහම් සමඟ මම වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා. ඒ වගේම ප්‍රියංකා චොප්රා සමඟ වෙළෙඳ දැන්වීමකට තෝරා ගත්තත් ඊට සහභාගි වෙන්නට නොහැකි වුණා.

* ජෝන් ඒබ්‍රහම් කියන්නේ මොන වගේ කෙනෙක්ද?

ඉතාමත් හොඳ කෙනෙක්. ඔහු හරිම නිහතමානියි. දර්ශන තලවලදී හැමෝම ගැන ඔහු හොයනවා. කාල ද ඉන්නේ ගොඩක් වෙලාවට ඔහු මුලින්ම අහන වචනය ඒක. ඒ වගේම හරිම මිත්‍රශීලී වගකීම් සහිත චරිතයක්.

* තව කවුද ඉන්දියාවේදී මුණ ගැහුණේ?

රන්බීර් කපූර්, සල්මන් ඛාන්, අක්ෂේ කුමාර්, රවිනා හමු වුණා. මධුරි ඩික්සිත්ගේ කොණ්ඩා මෝස්තර ශිල්පියා තමයි මගේ කොණ්ඩය සැකසුවේ. මේ වගේ විවිධ අත්දැකීම් බෙදා ගන්න පුළුවන් අය හමු වුණා.

* ලංකාවේ නිළියන්ට ඉන්දියාවේ තියෙන්නේ මොන වගේ තැනක්ද?

ජැක්ලයින් ඒක හරියටම හදලයි තියෙන්නේ. ලංකාවේ කිව්වම ජැක්ලින්ට තියෙන ගෞරවය එක්ක තමයි පිළිගැනීම සිදු වෙන්නේ. ඔවුන් අපේ සිනමාව ගැන දන්නේ නැති වුණාට හොඳ පිළිගැනීමක් ලබා දෙනවා.

* ඉන්දියාවේදී චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ලැබුණා. නමුත් ඒවා ලොකු වැඩ නොවෙයි. යාෂ්රාජ් ගේ චිත්‍රපටයේ ගීතයකට කතා කළා. නමුත් ඒ මොහොතට සහභාගි වෙන්න නොහැකි වුණා.

* යුරේනි වැඩිය පේන්න ඉන්නේ නැති වුණාට මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය ලැයිස්තුවේ ඔබ හිටියේ හතරවැනි තැන?

ඒක මට දරාගන්න බැරි සන්තෝෂයට කරණාවක්. මට ඡන්ද 71000 තිබුණා. ඒ හැම ඡන්දයක්ම මගේ ප්‍රේක්ෂකයන් මට දක්වන ආදරේ. මේ මොහොතේ මම රසිකයන්ට ස්තුති කරනවා වගේම ඩිනක්ෂි නංගිට හදවතින්ම සුබ පතනවා.

* මුල් කාලේ යුරේනි කලහකාරි චරිතයක් විදියට ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණා නේද?

ඔව්. මං ඒ දවස්වල හරිම ආවේගශීලීයි. අසාධාරණයක් වෙන්නේ කොතනද මං ඒ වෙනුවෙන් කතා කළා. නළු නිළියන්ට කුලී කාරයන්ට වගේ සලකද්දී මං ඒවට විරුද්ධව නැඟී සිටියා. මගේ පිබිදීම හරහා හැමෝටම පහසුකම් ලැබුණා. නමුත් ඒ පහසුකම් ලබා ගත්ත අයම මං කොකුකාරියක් ලෙසට හංවඩු ගැහුවා. මේක තමයි ඇත්ත කතාව.

හැබැයි දැන් හිතෙනවා ඒ අවස්ථාවල මං ආවේගශීලී වුණා වැඩි ද කියලත්. මොකද මගේ සටන්වලින් ප්‍රයෝජන ගත්තේ වෙන අය. සාමාන්‍යයෙන් මං කලහකාරී නැහැ. ඒත් ඉස්සර මට අසාධාරණේ පෙන්නන්න බැහැ.

* එතකොට දැන්?

දැන් මං ටිකක් වෙනස්. ජීවිතේ පරිණත වෙද්දී හැම දේම වෙනස් වෙනවනේ. ඒ කාලේ ආවේගය පාලනය කරගන්න බැරි වුණාට දැන් ඒක පිට කළ යුත්තේ කොහොමද කියලා තේරෙනවා. මං වැරැදි වැරැදි ඉගෙන ගත්ත කෙනෙක්. වැරැදිවලින් තමයි කෙනෙක් හොඳ වෙන් කර ගන්නේ. යුරේනි කියන්නේ යකඩ ගැහැනියක්. මං ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න දැන් ශක්තිවන්තයි.

* යුරේනි ඉස්සර නයිට් ක්ලබ් ගියා නේද?

ඔව්. මං යාළුවො එක්ක හොඳට විනෝද වුණු කාලයක් තිබුණා. ඒත් මං කිව්ව වගෙ දැන් ටිකක් පරිණතයි. නයිට් ක්ලබ් කියන්නේ කොළඹ සමාජයට සරල සාමාන්‍ය දෙයක්. දැනටත් මං ඉඳල හිටලා ක්ලබ් යනවා. මං වැරැදි නැති කිසිම තැනක වැරැදි වෙන්නේ නැහැ. අනෙක ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. මම හැමදේම කරන්නේ තේරුමක් ඇතුව.

* අතුරු ප්‍රශ්නයක්. යුරේනිට ලංකාවේ සිනමාවේ තැනක් ලැබුණේ නෑ නේද?

ඔව්. ආරාධනා ලැබුණා. ඒත් හරි යන වැඩක් සෙට් වුණේ නැහැ. ඒ නිසා සිනමාව සමඟ සම්බන්ධ වෙන්න නොහැකි වුණා.

* යුරේනිම කියනවා දැන් පරිණතයි කියලා. විවාහයටත් හොඳම කාලේ නේද මේ?

ඇත්තටම ඔව්. මගේ යාඥා ලිස්ට් එකේ ෆස්ට් එකට තියෙන්නේ ඒක. මමත් ආසයි විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න. මමත් ආසයි දරු සුරතල් බලන්න. ඒත් තවම ඊට නිසි පාර්ශවකරුවකු ලැබුණේ නැහැ. හොද කෙනෙක් මටත් ලබේවි.

* යුරේනි හොඳ කියන්නේ මොනවාද?

මෙහෙමයි. මං සම්ප්‍රදායිකව හිතන කෙනෙක් නෙවෙයි. සියයට සියයක් හොඳ කවුරුවත් ලෝකේ නෑනේ. මං හොයන්නේ මාව තේරුම් ගත්ත, මට එයාව තේරුම් ගන්න පුළුවන් ජීවිතේ විඳින කෙනෙක්.

* ගොඩක් අය හිතන්නේ යුරේනි වෙස්ටර්න් කෙනෙක් කියලා?

නැහැ. මං අතිශය සරල සාමාන්‍ය කෙනෙක්. මං එහෙම ආඩම්බර සංකර කෙනෙක් නෙවෙයි. මම සංකරත් නැහැ සංවරත් නැහැ.

* මං දැක්කනෙ ෆේස් බුක් එකේ පිරිමි ළමයෙක් ගැන ලියලා තියෙනවා.

අම්මෝ ඒ මං නෙවෙයි. මගේ නමින් ෆේස් බුක් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ මං නෙවෙයි. ඒක නිසා කවුරුත් මං කියලා අහුවෙලා ඒ අයගේ උගුල්වල පැටලෙන්න එපා. ෆේස් බුක් එකේ මට තියෙන්නේ පිටුවක්. මං චැට් කරන්න නිතරම එන්නේ නැහැ. ඒ නිසා මං නොවෙන මගේ නම විකුණන අයට අහුවෙන්න එපා.

* යුරේනි කොහොමද ඉදිරිය?

හිතන විදියට හැමදේම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී නිර්මාණ ජීවිතේ වෙනස් චරිත සමඟ රසිකයන් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මං ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කළා. වෙනස්ම වර්ගයේ සෙරෙප්පු ව්‍යාපාරයක්. ඒ කටයුතු තවත් සාර්ථකව කරගෙන යන්න තමයි හිතං ඉන්නේ.