වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

සහභාගි නොවුණා නම් හොඳයි

සුරාජ් මාපා, ඔබ ඉතා දක්ෂ නර්තන ශිල්පියෙකි. මෑතක පැවැත් වූ රියැලිටි තරගයකින් ඔබ තෙවැනියා විය. එසේ නොවිය යුතු වුවත් එය එස්. එම්. එස්. මත රැෙඳන තරගයකි. ඔබ බුද්ධිමත්ව සිතා එම තරගයට සහභාගී නොවූවා නම් හොඳ යැයි සිතේ.

සුජාතා ගුණවර්ධන

කඩවත

ජෝති මැරීමක් නොවේ

ජෝතිපාල මහතාගේ සිංදු තරුණ පිරිස් විසින් ගායනා කිරීම ඉතා උතුම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ජෝතිගේ ගී ප්‍රචාරය වන්නේ කලාතුරකින් නිසා රසිකයන්ට එවා අසන්නට ලැබෙන්නේ ස්ටාර් තරගවලදී හෝ සජීවී ප්‍රසංගවලදී පමණි.

එහෙයින් ඉරිසියාකාරයින් මොනවා කීවත් ජෝති අනුකරණය කරන අය එම ගීත ගායනා කරන්න. එය ජෝති මැරීමක් යැයි කවුරු කීවත් එය ජෝති මැරීමක් නොවේ. ජෝතිගේ හඬට කිට්ටුවෙන් හෝ ගායනා කරන සුරේන්ද්‍ර වැනි ගායකයන් සිටීම අපේ වාසනාවකි.

රංජිත් නිමලචන්ද්‍ර

මාකොල

අපි ඔබට ආදරෙයි

බිගු බමා බමා ගීතයෙන් මුළු රටම වසග කළ දයාරත්න පෙරේරා නම් වූ ගායකයාණෙනි ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් තුළින් රසික අප අතරට එන්න. එදා මෙන් අදත් අපි ඔබට ආදරෙයි.

දයාරත්න ගනේගොඩ

කැලණිය

ප්‍රශංසාව

සීතා මං ආවා චිත්‍රපටය සිනමා ශාලාවලින් ඉවත් කළ හේතුවෙන් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුට එය නරඹන්නට නොහැකි විය. එහෙයින් ඩී. වී. ඩී. තැටියක් මඟින් එම චිත්‍රපටය අපට රස විඳීමට අවස්ථාව උදා කර දුන් ජයසේකර අපොන්සු මහතාට මාගේ හද පිරි ප්‍රශංසාව පුද කරමි.

පාලක සමන් පෙරේරා

හැඳල

හැමෝටම තුති

නිමාව දුටු පිපෙන මල් ටෙලි නාට්‍යයේ අවසානය අඩුපාඩු ඇති බවක් පෙනේ. කෙසේ නමුත් අපට රුචි කතාවක් ටෙලිවිෂනයට ගෙන එමින් නවමු මිහිරියාවක් දෙනයනට ළං කළ පිපෙන මල් කණ්ඩායමේ හැමෝටම තුති.

වසන්තා නාමල්

ගංගොඩගම

උතුම් වැඩකි

අද වන විට ලංකාවේ මාධ්‍යයන් තම ආයතනය අංක එකට ගෙන ඒමට විශාල තරගයක යෙදේ. ඒ අතර ඔවුන් බාල වර්ගයේ වැඩසටහන් ඉදිරිපත් කරයි. ඒ තමන්ගේ ස්ථානය රැක ගැනීම සඳහාය. මේ අතර ටී. වී. දෙරණ සහ එෆ්. එම් දෙරණ යන මාධ්‍ය ආයතන දෙකම එකතු වී ආරම්භ කළ අසරණ වකුගඩු රෝගීන් සඳහා වූ මනුසත් දෙරණ වැඩ පිළිවෙළ උතුම් ක්‍රියාවකි.

අද ලංකාවේ උග්‍ර රෝගී තත්ත්යක් වන වකුගඩු රෝගයෙන් විශාල ප්‍රමාණයක් පීඩා විඳීති. මෙම රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ඇරැඹි මනුසත් දෙරණ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද උතුම් කටයුත්තකි.

අජිත් ලක්මාල්

මීගමුව

සොහොයුරියන්ට

ඩිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි යන ප්‍රියසාද් පවුලේ තුන් සොහොයුරියන්ට,

පිය උරුමයෙන් දායාදය ලෙස ලැබිලා
රැඟුමෙන් මෙන්ම ගැයුමෙන් දස්කම් පාලා
හෙට සිනමාවේ දිදුලන තරු තුනක් වෙලා
එක මග යන්න ඔය වගෙ නිරහංකාර වෙලා

නීටා මාසලින්

වරාගොඩ

අගනා කලා කෘතියකි

ආචාර්ය ගාමිණී ෆොන්සේකා, ආචාර්ය මාලිනී ෆොන්සේකා සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එකතු කොට අශෝක සෙනරත් මුදලිගේ නිර්මාණය කළ ‘සිනෙරූ තරු’ ඩී වී ඩීය ඉතා අගනා කලා කෘතියකි.

සුමිත් සුදර්ශන

වතුරුගම.

 

දරා ගන්න බැහැ

පසුගිය එකොළොස් වැනිදා අසන්නට ලැබුණු දුක්බරම පුවත සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය සදහටම ජීවිතයෙන් සමුගත් බවය. හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආදරණීය බිරිඳ වූ සුමිත්‍රා ගැන අප තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. ලාංකේය සිනමාවේ විශිෂ්ටතම රංගවේදියා වීමට ගාමිණීට සහාය ලැබුණේ ඔහුගේ ආදරණීය බිරිය වූ සුමිත්‍රාගෙනි. ගාමිණීට යෝධ සෙවණැල්ලක් වෙමින් ඔහු පසුපසින් සිට අත්වැල සැපයුවේ ද ඇයයි. ජීවිතයේ විවිධ බාධක කම්කටුලු මැද වුව ද ඇය ආදරයේ නාමයට ගෞරව කළාය.

දිරිය මවක මෙන් තම දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කළ සුමිත්‍රා වැනි කාන්තාවක් බෞද්ධ කතුන් අතර ද විරළය. සදා ප්‍රණාමයට බඳුන් විය යුතු හොඳ ගුණ ධර්මවලින් පරිපූර්ණ කාන්තාවක ලෙස ද ගෞරවනීය මාතාවක ලෙස ද ඇය සිහිපත් කළ හැකිය.

 

ධර්මා ඒකනායක

මාතලේ

S.M.S.

දුර කඳුයාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි ගීතය ගැයූ උපාලි රන්තිලක නම් සුන්දර ගායකයා සංගීත ක්ෂේත්‍රයෙන් අයින් වෙලා වගෙයි. නියම ගායකයන් නොමැති මේ යුගයේ ඔබ වැනි විරළ හඬක් හිමි අය ක්ෂේත්‍රයෙන් ඈත්වීම බලවත් පාඩුවකි.

මංජුල

රදාවාන

රජිත හිරාන් චාමිකර හෙවත් අප ආදරය කරන පිංපොං හැම තිස්සෙම ඉන්නේ විකට චරිතවලටයි. අධ්‍යක්ෂවරුනි ඔහුට වෙනත් චරිතයක් දීලා බලන්නකෝ. ඔහු එය අපූරුවට නිරූපණය කරයි.

ලක්මාලි

වරකපොළ

සතිශ් පෙරේරා නැති අඩුව ප්‍රසංග වේදිකාවට තදින් දැනේ. පියාගේ ආරයට තමන්ගේ ගී ගැයු ඔහු වෙන් වූයේ අපට අවැසි මොහොතකය.

මුතු

මහනුවර

රන්තරු ටෙලි සිතුවම පුංචි තිරයට රන් තාරකාවකි. මා එහි එක් කොටසක් නෑරම නරඹන්නෙමි. රන්තරු නොබැලුවොත් නොකා සිටියා හා සමානය.

සුනිල් ද සිල්වා

මීගමුව

මා හිතන පරිදි ගාමනී තරම් රසවත් චිත්‍රපටයක් බිහි වුණේ නැහැ. එහි අධ්‍යක්ෂවරයාගෙන් මා ඉල්ලා සිටින්නේ තවත් එවැනිම වූ චිත්‍රපටයක් කරන ලෙසයි.

ප්‍රියන්ත වීරසිංහ

මතුගම

ඔබගේ රුව මාගේමයි, පුල්ලි ගොනා පුරුදුකාරයා, මංගලිකා මනාලිකා වැනි ගීත ගැයු වෝල්ටර් ප්‍රනාන්දු වයසට ගියත් වයසට නොයන කලාකරුවෙකි. එම්. එස්. මිය ගියායින් පසු අපේ බයිලා චක්‍රවර්ති ඔබයි.

විහඟ

මාදිවෙල

සෙන්ටිග්‍රේඩ්ස්ලාගෙන් වෙන්ව තනිව ගමනක් ඇරැඹූ උදය ශ්‍රි වික්‍රමසිංහ චිත්‍රපට කිහිපයකටම ගීත ගයා සංගීත අධ්‍යක්ෂණය කර ඇත. එමෙන්ම ඔබ ගැයූ තනිකම හුරු දෙනෙත පුරා ගීතය හුඟාක් ලස්සනයි. ඔබට වඩාත් ගැළපෙන්නේ විරහ ගීතයි.

රාජු

දංඕවිට

රන්ජන් අයියේ මගේ සිනමාවේ හීරෝ ඔයයි. ඒ වගේම ඔයාගේ මනුසත්කම්වලට මං ගොඩක් ගරු කරනවා. හෙළ සිනමාවෙ අවසන් තරුව වන ඔබට තව තවත් චිත්‍රපට ලැබේවා.

හර්ෂ

බණ්ඩාරගම

රුවන් හෙට්ආරච්චිගේ කටහඬ ගොඩක් ලස්සනයි. ‘සුරංගනාවි මගේ සඳක් වගේ පායලා’ වගේ ලස්සන ගීත අප වෙත තිළිණ කරන්න.

සචිනි සකුන්තලා

වඳුරඹ

චාතුර්යා ටෙලි නාට්‍යය නැවත නරඹන්න ආසයි. ඒ නාට්‍යය සදා මතකයේ තැන්පත්ව ඇත.

සජීවනී

කුණ්ඩසාලේ

අලුත් වුණු වයි එෆ් එම් එකේ වයි හිනාවයි, වයි හැන්දෑව නම් හොඳයි. ඒත් මියුසික් පැත්ත නම් වැඩක් නැති වෙලා. කලින් වගේ ඩී. ජේ. මියුසික් ප්ලේ කරන්න. අපි කැමැති ඩී. ජේ. මියුසික් ප්ලේ කරපු පරණ වයි එෆ්. එම් එකට.

සඳුනි

දියගහ

මාතර

පුබුදු චතුරංග සමනල සංධ්වනියේ නියමෙට රඟපානවා. ඔහු ඒ වෙනුවෙන් සම්මානයකට හිමිකම් කීමට සමත් වෙනවාමයි.

තිස්ස

දෙණියාය

සංගීත් අයින් වුණාට සනිධප සංගීත කණ්ඩායම වැටිලා නැහැ කියලා දැනුණේ ඔවුන්ගේ ෂෝ එකක් දැක්කට පස්සේ. නොයෙල්, ප්‍රසංග ඇතුළු සනිධප කණ්ඩායම බොහෝ දුරක් ගමන් කරනු ඇත.

නිෂාන්ත

දඹුල්ල

ගුවන් විදුලි නාළිකාවන්ට මුදල් ගෙවා ගීත ප්‍රචාරය කර ගැනීම ලැජ්ජා සහගත කටයුත්තකි. මෙමඟින් බාල, කිසිම හරයක් නැති ගීත සමාජ ගත වෙනවා. ඒක හරිම වැරැදි වැඩක්.

ආනන්ද

මිරිස්වත්ත

අප ආසාවෙන් නරඹපු නාට්‍යයක් තමයි පියවි. එහි ඩිනක්ෂි, උමයංගනා, එරංග, කාවිංග හොඳට රඟපෑවා. මම නම් හිතුවේ මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නාට්‍යය පියවි වෙයි කියලා.

චන්දන

පුත්තලම

පාන තියා බුදු සාදුට ගීතය ඇසෙද්දී නිරායාසයෙන්ම අඹ යාළුවෝ ටෙලි නාට්‍යය මතක් වේ. එවැනි ළමා ටෙලි නාට්‍යයකට අද කුමන නාළිකාවකින්වත් ඉඩක් නැත.

රෝහිණී

කිරිල්ලවල

ගිය වසරේ ජනප්‍රියම නිළිය වූ නදීෂා හේමමාලි කෝ. ඇයව දැන් ඉඳහිටවත් දකින්නට නැහැනේ.

මංජුලා

කටුනේරිය

සෝමතිලක ජයමහ නම් අපූර්වතම ගායන ශිල්පියාගේ පියමං කෙරුවෙමි ගීතය ඇහෙද්දී අප පාසල් කාලය මතක් වෙනවා. සමිතා මුදුන්කොටුව ද එහි යුග ගායනයෙන් එක් වී සිටිනවා. ඒ හඬ සංකලනය එකතු වී ගැයූ එම ගීතය දිව ඔසුවක් බඳුයි.

කුලතුංග

අවිස්සාවේල්ල

දින දින ඔබ අපට එවන ප්‍රතිචාර එකක් හෝ අහක නොදැමිය හැකි තරමට රසවත්ය. එනමුත් මේ ඉඩකඩ සීමාසහිත නිසා එවායින් වඩා සුන්දරම සිතැඟි මෙතැනට තෝරා ගන්නා ලදී.

ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 අංකයට එවිය හැකිය.

සටහන් හෝ තැපැල්පත් මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10

යන ලිපිනයට එවන්න.