වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




කාජල්, රජිනි කාන්ත් ඉන්දියන් සිනමා උළෙල වර්ජනය කරති

කාජල්, රජිනි කාන්ත් ඉන්දියන් සිනමා උළෙල වර්ජනය කරති

44 වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල පසුගිය නොවැම්බර් 20 වැනි දින ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ අගනුවර වන පාන්ජිම් හිදී අති මහත් උත්සවශ්‍රීයෙන් ඇරඹිණ. රේඛා,රාණි මුඛර්ජි,ජැකී ශ්රොෆ්,මෙන්ම පසුගිය වසරේ හොඳම නිළිය ලෙස ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සඳහා සම්මාන දිනා ගත් අංජලී පටිල් මෙන්ම දකුණු ඉන්දියානු දෙමළ සිනමාවේ ප්‍රතිභාපූර්ණ නළු කමල්හසන් ආදින් මෙවර උළෙල ආරම්භය සදහා සහභාගි වීසිටියහ.පසුගිය වසර ගණනාව ඇතුළත ඉන්දියානු සිනමාවේ සුපිරි තරු ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලට සහභාගිවීම අඩුවක් ලෙස සිනමා විචාරකයන් සහ පේ‍්‍රක්ෂකයන් පෙන්වා දෙති. මෙවර ඉන්දියානු සිනමාවේ විශිෂ්ට නිළියක වන වහීඩා රෙහ්මාන් විශේෂ ගෞරවයකින් පුදනු ලැබුවාය.

උළෙල ආරම්භයේම සුප්‍රකට චෙක් ජාතික සිනමාකරු ජිරී මෙන්සිල් සිනමා කර්මාන්තය වෙනුවෙන් කළ මහඟු මෙහෙවර වෙනුවෙන් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.හැත්තෑ පස් හැවිරිදි මන්සිල් හැටේ දශකයේ පෙරළිකාර සිනමාකරුවකු වන අතර ඔහු තැනූ ක්ලෝස්ලි වොච් ද ට්‍රේන් නම් චිත්‍රපටය 1967 වසරේ දී හොදම විදේශ භාෂා චිත්‍රපටය උදෙසා ඇකඩමි සම්මානය දිනා ගත්තේය.ඒ අවදියේ සමාජවාදී රටක් වන චෙකොස්ලෝවැකියාවේ තැනුණ එම චිත්‍රපටයට අමෙරිකාවෙන් සම්මාන පිදීම ලොව මවිත කරවන සිදුවීමක් ලෙස සලකති.ඒ අවස්ථාවේ අමෙරිකාවේ පදිංචි වන්නට මෙන්සිල්ට ආරාධනා ලැබුව ද ඔහු තම රට හැර යාමට අකමැති විය.ඔහුගේ නවතම චිත්‍රපටය වන දොන් ජුවාන් මෙවර ඉන්දියානු සිනමා උළෙලේ ආරම්භක චිත්‍රපටය විය.ඔහු ට හිමි යාවජීව සම්මානය ඉන්දියානු චිත්‍රපට සංවර්ධන සංස්ථාවේ වර්තමාන සභාපති ෂෝලේ වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් නිර්මාණය කළ රාමේශ් සිප්පි අතින් පිරි නැමිණ. මෙන්සිල් මෙවර සහභාගි වූයේ රූමත් විසි අට හැවිරිදි වර්තමාන චෙක් පෙම්වතිය සමගය.

සිනමා උළෙල සදහා සහභාගි වූ වඩාත්ම කැපී පෙනන නිළිය වූයේ ඇකඩමි සම්මාන දිනූ හොලිවුඩ් නිළි සුසාන් සැරන්ඩන්ය.හන්ගර්,ඩෙඩ් මෑන් වෝකිං,ලොරෙන්ස් ඔයිල් වැනි චිත්‍රපට හරහා ඇය අපේ රටේ ප්‍රෙක්ෂකයන්ටත් අමතක නොවේ.සුසාන් ගේ සිනමා රංගනය පිළිබද අත්දැකීම් හෙළි කරන වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය.යුනෙස්කෝව වෙනුවෙන් සංස්කෘතික තානාපතිනියක් ලෙස ද කටයුතු කරන ඇය සිනමා රංගනයේ දී හඩක් නැති මිනිසුන්ගේ හඩක් වන්නට හඬක් ඇති මිනිසුන්කටයතු කළ යුතු බැව් කියා සිටියය. මෙවර ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල තරගකාරි අංශයේ ජූරි සාමාජිකයකු ලෙස ප්‍රසන්න විතානගේ කටයුතු කරයි.

සර්බියානු සිනමාකරු ගොරාන් පස්කල්ජවික්, ජූරියේ සභාපති පදවිය හොබවන අතර එහි සෙසු සාමාජිකයන් වනුයේ ඉන්දියානු නළු වික්ටර් බැනර්ජි පැරිසියේ වෙසෙන ඇෆ්ගනිස්ථාන සිනමාකරු අතික් රහිම්, සහ ප්‍රංශ සිනමාවේදිනී ක්ලෙයාර් ඩෙනිස් ය.ප්‍රසන්න මෙවර ඉන්දියාවට පැමිණියේ සිය බිරිය දමයන්ති ෆොන්සේකා සමගය. ප්‍රසන්න සහ දමයන්ති දෙදෙනාම එකට අන්තර්ජාතික සිනමා උළෙලකට සහභාගි වන මුල්ම අවස්ථාව බව දමයන්ති පැවසුවාය.දමයන්ති මුල් වරට ඉන්දියානු අන්තර්ජාතික උළෙලට සහභාගි වූයේ 1992 වසරේ ඇය රගපෑ උමයංගනා චිත්‍රපටය සමගය.

පසුගිය වසරේ සිනමා උළෙලේ ජූරි සාමාජිකත්වය හෙබවූයේ අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකාය.ඉන්දියානු සිනමා උළෙලේ අන්තර් ජාතික තරගකාරි අංශය සදහා චිත්‍රපට 15ක් තරග වැදීමට නියමිතය.තරගකාරී නොවන සෙසු අංග අතරින් ලෝක සිනමා අංශය සඳහා චිත්‍රපට 65 ක් ද විශිෂ්ට සිනමාකරුවන් ගේ චිත්‍රපට අංශයට චිත්‍රපට 12 ක් ද සිනමා උත්සව ප්‍රණාම අංශයට චිත්‍රපට 20 ක්ද ඇතුළත්ව ඇත. මෙවර උළෙලේ විශේෂ අවධානය යොමු වන රට යන අංශයන්ට ජපානය සහ ග්‍රීසිය ඇතුළත් අතර එයට චිත්‍රපට පිළිවෙළින් ජපානයෙන් චිත්‍රපට 12ක් ද ග්‍රීසියෙන් 7ක් ද තිර ගත වෙයි.සැකිලි රූ චිත්‍රපට අංශයට ලොව පුරා චිත්‍රපට 8 ක් ඇතුළත් ය. මෙවර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම ඇග්නස්කා හොලන්ඩ් ගේ සිනමාවට යොමු විය.ඉන්දියානු පැනෝරාමා, ආසියානු සිනමා විශේෂ අංශය,පසුගිය වසරේ කැසී ගිය ඉන්දියානු සහ ලෝක සිනමාවේ විශේෂිත පුද්ගල සිනමා ප්‍රණාම දැක්ම, සිය වසක ඉන්දියානු සිනමාවේ විශිෂ්ටතම සංගීත චිත්‍රපට ආදී වශයෙන් විවිධ අන්දමේ චිත්‍රපට දෙසිය පනහකටත් වඩා උළෙල හමුවේ ප්‍රදර්ශනය වන අතර ඒ සියල්ල අති සුඛෝපභෝගී අයිනොක්ස් සිනමා සංකීර්නයේ සහ කලාභවන් සිනමාහලේ දී තිර ගත වනු ඇත. උළෙලට සහභාගි වන රටවල් සංඛ්‍යාව 75 ඉක්මවයි.

මෙවර සිනමා උළෙලට ආරාධනා ලද රජිනි කාන්ත් එයට සහභාගිවීම ප්‍රතික්ෂේප කළ අතර එයටත් වඩා කැපී පෙනෙන සිදුවීම වනුයේ කාජල් විසින් උළෙල ප්‍රතික්ෂේප කිරීමයි. ඇය සිනමා උළෙලට සහභාගි වන්නේ නම් හොලිවුඩ් නිළි සුසාන් සැරන්ඩන්ට ලැබෙන සියලු දෑ ඇයට ද ලැබිය යුතු බවට කොන්දේසියක් පනවා තිබිණ. සුසාන් වෙනුවෙන් වෙන් කරන ලද අධි සුඛෝපභෝගී මෝටර් රථය මෙන්ම ව්‍යාපාරික පන්තියේ ගුවන්යානා ප්‍රවේශපත්‍රයක් ද ඇය ඉල්ලා සිටි වග වාර්තාවෙයි.එහෙත් කාජල් ගේ ඥාති සොහොයුරිය රාණි සිනමා උළෙලට සහභාගි විය.

ලොව පුරා කැපී පෙනන සිනමා කෘතීන් රුසක් මෙවර ද උළෙලට ඇතුළත් ව ඇතත් ඒ බොහෝ චිත්‍රපට තිර ගත වනුයේ කුඩා සිනමාහල් වල බැවින් බොහෝ පේ‍්‍රක්ෂකයන්ට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව මග හැරී ඇත.ආරම්භක උළෙල චමත්කාරජනක වුව ද උළෙලේ අසංවිධානාත්මක බව මෙවර බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත.

සරසවිය සම්මාන දිනා පසු කලක රහසේම අමෙරිකාවට පදිංචියට ගිය ලින්ටන් සේමගේ නිර්මාණය කළ නිල් නම් චිත්‍රපටය මෙවර සිනමා උළෙලේ ලෝක සිනමා අංශය වෙනුවෙන් තිර ගත විණ.දස වසරක් මුළුල්ලේ අමෙරිකාවේ පදිංචි ව සිටින ලින්ටන් මෙම සිනමා උළෙලට සහභාගි නොවිණ.මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටය ලෙස සඳහන්ව ඇත්තේ ලින්ටන් ගේ නිල් චිත්‍රපටයයි.සිනමාත්මක අතින් පොහොසත් නිර්මාණාත්මක වුවත් ලින්ටන් ගේ චිත්‍රපටය නැරඹීමට සිටියේ ඉතා අවම ප්‍රේක්ෂක සංඛ්‍යාවකි.එමෙන්ම එය නරඹන අතරවාරයේ බොහෝ දෙනා සිනමාහලින් නැගිට ගියහ.

මෙවර සිනමා උළෙල නැරඹිමට ලංකාවෙන් සහභාගිව සිටින චිත්‍රපට සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල සහ කලා අධ්‍යක්ෂ ලාල් හවීන්ද්‍ර නාත් දෙදෙනා අතරින් නොසිතූ විරූ අත්දැකීමකට ලාල් හවීන්ද්‍රනාත් මුහුණ දුන්නේය.ඒ ලාල් දායකව කටයුතු කළ චිත්‍රපටයක් සිනමා උළෙලේ තිර ගත වීමය. එනම් භූතාන අමෙරිකානු චිත්‍රපටයක් වරා අ බ්ලෙසිං චිත්‍රපටය සිනමා උළෙලේ තිර ගත වීමයි.එය අපේ රටේ රූ ගැන්වූ චිත්‍රපටයකි.මේ චිත්‍රපටය භූතානයේ බෞද්ධ භික්ෂුවක වන ක්‍යෙන්ට්සේ නෝබේ හිමි විසින් නිර්මාණය කරන ලද්දකි.එහෙත් චිත්‍රපට සදහා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම ලාල්ට නොහැකි වූ අතර සරසවිය කර්තෘ ට හිමි ව තිබූ ප්‍රවේශ පත්‍රය ඔහුට ලබා දුන්නෙන් ඔහු තම සිනමා කෘතිය තිර ගතවීමේ අවස්ථාව සදහා සහභාගි විය.

උළෙල තිස් වැනි දින නිමාවට පත් වනු ඇත.කෙසේ වෙතත් ඉන්දියාවේ සංචාරක පුරවරය වන ගෝවේ ප්‍රාන්තය මෙම සිනමා උළෙල නිසාවෙන් වාර්ෂිකව අති විශාල මුදලක් උපයන අතර ශ්‍රී ලංකාව වැනි රටක මෙබඳු උළෙලක් මෙයටත් වඩා සාර්ථකව සහ සංවිධානාත්මකව කළ හැකි බව සරසවිය පුවතපත මගින් යළි දු සිනමා නිලධාරින්ට සිහිපත් කරන්නට කැමැත්තෙමු.