වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු සිනමා කතාව 39

ඉන්දියානු සිනමා කතාව 39

රාජ් කපූර්

නාර්ගීස්

වාසන් දකුණු ඉන්දියාවේ දී අති දැවැන්ත වියදමක් දරමින් චන්ද්‍රලේඛා නිපද වද්දී එයට සමගාමීව එම වසරේම බොම්බායේ දී ඉතා අවම වියදමකින් අති සාර්ථක චිත්‍රපටයක් තැනිණ. ඒ එදවස විසි තුන් හැවිරිදි වියේ පසුවූ රාජ් කපූර් ගේ මුල්ම අධ්‍යක්ෂණය වන ආග් චිත්‍රපටයයි. ආග් චිත්‍රපටය නාට්‍ය නිර්මාණකරුවෙක් සහ ඔහුගේ ජීවිතය වටා යාවුණ ගැහැනුන් තිදෙනෙකු වටා ගෙතුනකි. කාමිණී කෞෂාල්, නාර්ගීස් සහ නිගර් සුල්තානා මේ කාන්තා චරිත නිරූපණය කළහ.

මේ කාන්තාවෝ ජීවිතයේ විවිධ අවස්ථාවන් හි දී ඔහු සමග සම්බන්ධ වෙති. ඉතා හැඟුම්බර චිත්‍රපටයක් වන මේ සිනමා කෘතිය බෙහෙවින් විචාරකයන්ගේ අවධානයට පාත්‍ර විය. ඔහු ගේ දෙවැනි සිනමා නිර්මාණය වන බර්සාත් (1950) බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළන්නට සමත් විය.

රාජ් කපූර් ගේ චිත්‍රපට අලංකාර කළ සගයන් පෙළ ඔහුට ප්‍රධාන වශයෙන් දායක වනුයේ බර්සාත් සමගය. සංගීතඥයන් වන ශංකර් සහ ජායිකිශන් ගී පද රචකයන් වන ශයිලේන්ද්‍ර සහ හස්රත් ජායිපූරි ගායනයෙන් ලතා මංගේෂ්කාර් සහ මුකේශ් ද නිළි නාර්ගීස් ද එතැන් පටන් රාජ් කපූර් ගේ ආර්.කේ.චිත්‍රාගාරයේ සංකේත බවට පත්වූහ. මේ බහුතරය රාජ් කපූර් ගේ පියානන් වූ ප්‍රිත්විරාජ් කපූර්ගේ නාට්‍ය කණ්ඩායම වන ප්‍රිත්වි තියටර්ස් මගින් සොයා ගත් පිරිසක් වීම විශේෂයකි.

එහෙත් ඔවුන් සිනමාවට ඇවැසි පරිදි සකසා ගැනීමේ ගෞරවය රාජ් කපූර්ට හිමි වෙයි. එහෙත් රාජ් කපූර් ගේ සිනමාව වඩාත් අවධානයට පත් වනුයේ ඔහුගේ අවාරා (1952) සමගය. එය චැප්ලින් ගේ සුප්‍රසිද්ධ පාදඩයා ඉන්දියානු සිනමාවට නැංවීමකැයි අර්ථ දැක්වුව ද ඔහු එමගින් ඉන්දියානු දේශපාලනය පිළිබඳ බරපතළ විග්‍රහයක් එමගින් කරන ලදී. ඔහු එතැන් පටන් චිත්‍රපට කිහිපයකටම සිය පාදඩයා ගෙනා වේය.

මෙහිදී ඔහුට වඩාත් සහායක් වූයේ සිය තිර නාටක රචකයා වන කේ.ඒ. අබ්බාස් ය. අවාරා චිත්‍රපටයට පාදක වනුයේ විනිසුරු වරයෙකුගේ බිරිය පැහැර ගෙන යෑමත් ඔහුගේ පුතු පැල්පතක හැදී වැඩීමත් අනතුරව පියා සහ පුතු අතර ඇතිවන ගැටුමත්ය. පුතුගේ පිහිටට එන්නේ නීතිඥවරියකි. රාජ් කපූර්ටම ආවේණික සංගීතය සහ හාස්‍යය පිරි සිනමා රටාව හරහා එහි දැවැන්ත සමාජ විවරණයක යෙදෙන්නට ඔහු සමත් වෙයි. මේ සිනමා රටාව වසඟයට පත් කර ගත්තේ ඉන්දියාව පමණක් නොවේ. එයින් බැහැරව යුරෝපය ද සෝවියට් රුසියාව ද අරාබි කරයද රාජ් කපූර්ගේ සිනමා ශෛලියට වසඟ විය.

ශංකර් සහ ජායිකිශන්

මේ කාලයේ බොහො සිනමාකරුවන් සිය සිනමාකරණය සඳහා තෝරා ගත්තේ ගම්බද කතාවන්ය. දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ වඩා යස ඉසුරු සොයමින් ගම්මානය අතහැර නගර ආශ්‍රයට වැටුණු බොහොමයක් සිය ගම්මාන පිළිබඳ සිහින දකිමින් පසුවූහ. නගරයේ එක් පසක ධනය තිබුණ ද අනෙක් පසින් දැක ගත හැකි වනුයේ අපරාධ සහ පැල්පත්ය. උදේ ශංකර් යටතේ නැටුම් කලාව හදාරමින් සිට සිනමාවට පිවිසි ගුරුදත් සිය මුල්ම චිත්‍රපටය වූ බාසි (1951) සඳහා පාදක කර ගත්තේ මේ කාසියේ දෙපැත්ත පිළිබද විග්‍රහයයි. අකල් මරණයකින් කෙළවර වුව ද ගුරු දත් යනු ඉතා විශිෂ්ට සිනමාවේදියකු විය.ඔහු සිය ජාල් චිත්‍රපටය සදහා පාදක කර ගන්නේ ඒ වනවිටත් පෘතුගීසි කොලනියක් වන ගෝවේය.

ඉන්දියානු සිනමාව වඩා ජනප්‍රිය වන්නට පටන් ගනිත්ම නිදහස් ඉන්දියාවේ රජය අදික බදු බරක් සිනමා කර්මාන්තයට පටවන්නට අමතක නොකළහ.ආන් චිත්‍රපටයේ අධි සාර්ථකත්වය පිළිබඳ මාධ්‍ය මගින් කළ උදම් ඇනීම එයට වඩාත් හේතු වූ බව පැවසෙයි. එහෙත් මේ සමයේ එක දිගට චිත්‍රපට ලබන අති සාර්ථකත්වය පිළිබඳ කිසිවකුගේ හෝ අවධානය යොමු නොවුයේ නම් එය පුදුමයකි. එහෙත් 1949 ජූනි 30 වැනි දින සමස්ත ඉන්දියානු සිනමා කර්මාන්තයම අලුතින් පැනවුණ අධික බදු බරට එරෙහිව එක් වූහ. එරට සියළු සිනමාහල් වසා දමා මේ සදහා විරොධය පළ කළහ.මේ අරගලයට ඉන්දියාවේ සියලු පුවත්පත් සහයෝගය ලබා දුන්නේ ස්වෙච්ඡාවෙනි.

මේ සම්බන්ධයෙන් 1949 ජූනි මාසයේ ද ට්‍රේඩ් ජර්නල් මගින් කදිම හෙළිදරව්වක යෙදෙයි. යුද්ධ සමයේ සියයට දොළහයි පහක් වන විනෝද බද්ද 1948 වසර වන විට මධ්‍ය පළාතේ සියයට පනහක් ද බිහාරයේ සියයට විසි පහක්ද කල්කටාවේ සියයට හැත්තෑ පහකින් ද ඉහළ දැමූ බව එමගින් පෙන්වා දෙයි. සමස්තයක් ලෙස රට පුරා සියයට තිස් තුනකින් විනොද බද්ද ඉහළ දමා ඇති වග ඔවුහු අනාවරණය කළහ. ඉන්දියානු සිනමා කර්මාන්තයේ මේ අර්බුදය සෙවීමට ව්‍යවස්ථාදායකයේ සභිකයකු වන එස්.කේ.පටිල් ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. සිනමා කර්මාන්තය නියෝජනය කරමින් එම කමිටුව ට රාජ් කමාල් කලා මන්දිර අධිපති සිනමාවේදී වී. ශාන්තරාම් ද නිව් තියටර්ස් අධිපති නිෂ්පාදක බී.එන්.ශ්‍රීකාර් ද ඒ සදහා පත් කරන ලදී. මෙම කමිටුව බදු,වාරණය, ප්‍රදර්ශණය, නිෂ්පාදනය ආයෝජන ගැටලු ඇතුළු සිනමාවේ සියලු කාරණා ගැන දැඩි විමසුමට ලක් කරන ලදී.

අවාරා

ඒ සඳහා වසර එකහමාරකටත් වැඩි කාලයක් කමිටුව ගත කරන ලදී. 1951 වසරේ මාර්තු මාසයේ එළි දක්වන මේ කමිටු වාර්තා මගින් සිනමා කර්මාන්තය පිළිබද කදිම විවිරණයක් කළේය. එම වාර්තාව අනුව ඒ වනවිට ඉන්දියාවේ සිනමාහල් සංඛ්‍යාව 3250 ක් වන අතර චිත්‍රාගාර සංඛ්‍යාව 60 ක් විය. වසරක සාමාන්‍ය චිත්‍රපට නිෂ්පාදනය දෙසිය පනහකි.

වාර්ෂිකව මිලියන තුන් සිය විස්සක් චිත්‍රපට කර්මාන්තය සදහා ආයෝජනය කරන අතර චිත්‍රපට නැරඹීම සදහා ඇදී එන වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 600 ක්බැවි කියා සිටී. චිත්‍රපට කර්මාන්තයේ ඉදිරි අනාගතය සදහා විධිමත් සිනමා පුහුණු ආයතනයක් සහ ආයෝජන සැලැස්මක් අවශ්‍ය බැව් එමගින් අවධාරණය කෙරිණ. එමෙන්ම කර්මාන්තය දියුණ කරන්නට නම් රජය අවධානය යොමු කළ යුතු බැව් එමගින් පෙන්වා දෙනු ලැබිණ.

විනෝද බද්ද මුළුමනින්ම සිනමා කර්මාන්තය සදහා ආයෝජනයක් ලෙස යෙදවිය යුතයැයි එමගින් මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ට නිර්දේශ කෙරිණ. ඒ අනුව ඉන්දියානු රජය මගින් චිත්‍රපට ආයෝජන සංස්ථාව (film finance corporation) පිහිටුවනු ලැබීය. එමෙන්ම සිනමා පාසලක් ද පිහිටුවීමට බල කෙරිණ. එහෙත් මේ කිසිදු යොජනාවක් අලුත් ඒවා නොවන බව ද අවධාරණය කෙරිණ. ඒ සියල්ලම 1927 -28 සිනමා කමිටු වාර්තාව මගින් ද පෙන්වා දුන් කරුණු බව ද එහි සදහන් විය. ඒ අනුව මුල් කමිටු වාර්තාවෙන් විසි වසරකට පසු අලුත් වාර්තාව මගින් හෙළි කළ කරුණු යථාර්ථයක් බවට පත්විණ.