වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




තරුමිහිරට සිනා අරන් පිං පොං ආවා සතුටින්

තරුමිහිරට සිනා අරන් පිං පොං ආවා සතුටින්

පිනි කැට විසිරෙන හිමිදිරියේ කොළඹ බලා දුම්රියෙන් එන ප්‍රමිලාගේ සිතේ දහසක් බලාපොරොත්තු පිරී තිබේ. ප්‍රමිලාගේ කොළඹ ගමනෙහි ආරම්භය කුරුණෑගල දුම්රියපොළෙනි. අම්බලන්ගොඩ සිට කොළඹ බලා එන මහේෂ් ගේ සිතෙහි සිහින පැතුම් පොදියකි. බත්තරමුල්ලෙන් 190 බස් රථයට ගොඩ වූ ජගත්ගේ සිතෙහි උපන් ආශාව ද අති මහත්. පානදුරේ සිට කොළඹ බලා එන සජිත්ගේ ද සිතිවිල්ල සක්මන් කරන්නේ බලාපොරොත්තු සහගතවයි. මේ සිවු දෙනාගේම අරමුණ එකකි. ඒ සරසවිය තරු මිහිරයි.

ලංකාවේ විවිධ පළාත්වල සිට සරසවිය කර්තෘ මණ්ඩල ඡායාරූපගාරයට පැමිණි මේ සියල්ලන්ගේම කතාව අද තරු මිහිර සරසන කලා තරුව ගැනයි.

වේලාව නවය පසු වී විනාඩි තිහයි. වෙනදා තරු මිහිර ආරම්භ කරන්නේ පෙ. ව. දහයටයි. අද අපේ රංගන තරුව පැය භාගයක් කලින් ඇවිත්. මේ බව පාඨක හිතවතුන්ට නම් රහසක්. දැන් දැන් මේ පිරිසගේ සිතේ තෙරපෙන්නේ අපේ තරුව ප්‍රමාද ඇයි යන ගැටලුවයි.

මොහොතෙන් මොහොත ගත වී ගියත් තරුව තාමත් පැමිණ නැත. ඒ පාඨක හිතවතුන්ගේ සිතිවිල්ලයි. සරසවිය කර්තෘ මණ්ඩලයේ සිතිවිල්ල අනිකකි. ඒ දැනටමත් මේ තරුව පැමිණ සිටින නිසායි. පාඨක හිතුවතුන්ගේ තෙරපෙන සිතිවිලිවලට විරාමයක් දී සරසවිය ඡායාරූපාගාරයේ සැඟව සිටි අද තරු මිහිර සරසන කලා ලොවේ සිනහා තරුව පෙනී සිටියා.

රජිත හිරාන් චාමිකර, එහෙමත් නැත්නම් කලා ලොවේ ආදරණීය පිංපොං. ඒ අපේ අද තරු මිහිර හැඩකරන තරුවයි.

‘මට රජිත ළඟින්ම ඉඳගන්න ඕනෑ’ කියූ ප්‍රමිලා රජිත ළඟින්ම වාඩි වුණා. සජිත වම් පසින් වාඩි වුණා. ජගත් සහ මහේෂ් ප්‍රමිලාට හා සජිත්ට දෙපසින් වාඩි වුණා.

‘කෝ තව එක්කෙනෙක් අඩුයිනේ’ රජිත ඇසූ විට කටකාර ප්‍රමිලා ‘එයා චන්දිමා සමන්මලී අද අසනීප නිසා එන්න විදියක් නැතිලු’ යැයි පැවසුවා.

ඔයාගේ පළමු නාට්‍ය මොකක්ද?’ ප්‍රථම පැනය සජිත්ගෙන්.

තට්ටු ගෙවල් නාට්‍යයනේ. ඒකෙන් තමයි මාව පිංපොං චරිතයට තෝර ගත්තේ.

ඒ තෝර ගත්ත විදිහ කියන්නකෝ’ ඇවිටිල්ලක ස්වරූපයෙන් පිංපොංගෙන් ප්‍රශ්නය ඇසුවේ ප්‍රමිලායි.

තට්ටු ගෙවල් නාට්‍යයේ පිටපත අනුරුද්ධ ජයසිංහ මහත්තයා මට දුන්නා. ඔය වෙන කොට මම රඟපෑමේ උපරිම පිස්සුවෙන් හිටයේ. පිටපත අතට ලැබුණාම මම ඒක කියවලා හරිම සතුටින් අපේ මාමගේ ෆුට් සයිකලෙත් ඉල්ලන් ගියා කමියුනිකේෂන් එකකට. ඒ දවස්වල දැන් වගේ මොබයිල් ෆෝන් තිබුණේ නැහැ. මම අනුරුද්ධ අයියට කෝල් එකක් අරන් කිව්වේ ‘මම මේ පිංපොං’ කතා කරන්නේ කියලා. ඒ කිව්ව ටෝන් එක නිසාම අනුරුද්ධ අයියා කිව්වා හරි මල්ලි උඹ වැඩේට සෙට්. ෂූටිං එන්න කියලා. මට ඇතිවුණ සන්තෝෂයට බයිසිකලේ කඩේ ළඟ දාලා ගෙදර ගියා. බයිසිලකලේ නැතිව ආපු මාව දැකලා මාමා ඇහුවා කෝ බයිසිකලේ කියලා. එතකොටයි මට මතක් වුණේ මම කඩේ ළඟ බයිසිකලේ දාලා ආවේ කියලා. අදටත් මට බොහෝ අය කතා කරන්නේ පිංපොං කියලා තමයි

ඔයා පිංපොං විදියට දෙබස් කිව්වේ පිටපතේ තියෙන විදියටමද? ඒ ප්‍රශ්නය ජගත්ගෙන්.

‘ඔව් මගේ මුල්ම ටෙලි නාට්‍යයනේ. මුලින්ම හරිම චකිතයක් දැනුණා. අනෙක තට්ටු ගෙවල් පිටපත කපිල කුමාර කාලිංග මහත්මයාගෙන්. හැබැයි පසු කාලේදී ‘ෆුල් හින්දුස්ථානි’ වගේ වචන දැම්මා. අනික තමයි මට ඇක්ට් කරන්න තිබ්බේ ප්‍රවීණ නළුවො නිළියොත් එක්ක.

රඟපෑමෙ ආශාව ඇති වුණේ කොහොමද? මෙතෙක් වෙලා නිහඬව සිටි මහේෂ් විමසුවා.

මම පොඩි කාලේ ඉඳන් මගේ හීරෝ රන්ජන් රාමනායක. රන්ජන් අයියා සෙලියුට් කරන විදියට පොඩි කාලේ මම සෙලියුට් කරනවා. අනෙක තමයි මගේ මාමා හේමසිරි සෙල්ලප්පෙරුම. එයා මාර්ගයෙන් දවසක් රන්ජන් අයියා මට මුණ ගැසුණා. ඒ දවස්වල මට ෂාරුක් ඛාන්ගේ පිස්සුවකුත් තිබුණා. මේ බව රන්ජන් අයියා කොහොම හරි දැනගෙන ඒ වෙලාවෙ රන්ජන් අයියා මට ළංවෙලා කිව්වා මල්ලි ඔයා ෂාරුක් ඛාන් වගේ කියාලා. මට ඉතින් ෆුල් හැපි. ඊට පස්සේ දවසක මම රන්ජන්ට කෝල් කළා. රන්ජන් අයියා හෙලෝ කියන කොටම මම කිව්වා ආ . . . රන්ජන් මම වලානේ ෂාරුක් කතා කරන්නේ කියලා. අද රන්ජන් අයියා මගේ හොද යාළුවෙක්. ඒ වුණාට එයා එක්ක රඟපාන්න ලැබිලා තියෙන්නේ නිර්මාණ තුනක විතරයි.

මොකක්ද අර්ජුන් එක්ක තියෙන දැඩි මිත්‍රකම? සජිත්ගේ පැනයක්.

අර්ජුනයි මමයි එකම ඉස්කෝලේ. ඒ වේල්ස් කුමාර විද්‍යාලය. මම හය වසරෙ ඉන්න කොට එයා අපේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. විජය කුමාරතුංගගේ හැඩරුව තියෙන නිසා ඒ කාලේ නළුවා කියලා තමා ඉස්කෝලේ අය කියන්නේ. දවසක් මම අර්ජුන් ළඟින් යනකොට ‘ආ නළුවා’ කියලා දිව්වා. ඇයි හැමෝම නළුවා කියනවානේ. එදා ඉස්කෝලේ පුරාම මට දුවන්න වුණා. ඊට පස්සේ ඇති වුණ මිතුරුකම තමා මේ අද දක්වාම තියෙන්නේ.

මොකක්ද අර ටෙනිසන් කුරේගේ නාට්‍යයක ටෙනී අයින් කළා කියන්නේ? ඒ ප්‍රමිලාගේ පැනයක්.

දවසක් ටෙනී අයියා රඟපාන ‘තොත්ත බබාලා’ වේදිකා නාට්‍යය පානදුරේ පෙන්නුවා. සෙනඟ අස්සෙන් රිංගලා මමත් එක බැලුවා. බලලා හෙමිහිට හොරෙන්ම ගෙදර ඇවිත් නිදාගත්තා. ටෙනී ඇක්ට් කරපු විදිය මම හොඳට හිතට ගත්තා. ඒ අනූ හත අවුරුද්දේ. ඊට පස්සේ මම පිංපොං චරිතේ නිසා ටිකක් ජනප්‍රිය වෙලා ඉන්න කාලේ සුනිල් ශ්‍රී මට කතා කළා. ටෙනී කරපු ‘තොත්ත බබාලා’ නාට්‍යයේ ටෙනී වෙනුවට රඟපාන්න. මරදානේ එල්ෆින්ස්ටන් එකේ මම මුලින්ම ‘තොත්ත බබාලා’ නාට්‍යයේ ටෙනී කරපු චරිතේ රඟපාන කොට ටෙනී ඉස්සරහා පේළියට වෙලා ඒක නරඹනවා. මට චකිතයකුත් දැනුණා. ඒ වගේම සතුටකුත් දැනුණා. ඒ නිසා අදත් මම පාරෙ යනකොට හරි කොතනක හරි කවුරු හරි කතා කරනවා නම් මම ඒ අයට හොඳට හිනා වෙලා කතා කරනවා. මොකද ඒ කොතනක හරි අපේ ඊළඟ පරම්පරාවේ නළුවෙක් ඉන්න පුළුවන්.

සිනමාවට පිවිසුනේ කොහොමද? නැවත ජගත්ගෙන් ප්‍රශ්නයක්.

මම පිංපොං විදියට රඟපානවා දැකලා රෝයි ද සිල්වා මහත්තයා චිත්‍රපටයකට කතා කළා. එතන ඉඳන් අද වෙන කොට චිත්‍රපට පනහක විතර රඟපාලා තියෙනවා.

ගැහැනු ළමයි කීයකට විතර ආදරය කරලා තියෙනවාද? ඒ පැනය ප්‍රමිලාගෙන්.

පාසල් යන කාලේ මම හරි කෙට්ටුයි, කොටයි. ඉතින් ඒ වගේම මහා වාචාලයි. මම ගැහැනු ළමයි 104 දෙනෙකුට ආදරය කළා. හැබැයි ඒ එක් කෙනෙක්වත් දන්නේ නැහැ මම එයාලට ලව් කියලා. ඔක්කොම ඒක පාර්ශවීයව තමා. ඔය අතරේ අපේ ගම් පැත්තේ පොඩි ලස්සන ළමයෙක් හිටියා. එයාටත් මම ලව්. හැබැයි මම පිංපොං වෙනකන් එයාට මගේ ආදරේ ප්‍රකාශ කළේ නැහැ. හැබැයි පිංපොං විදියට ජනප්‍රිය වුණාට පස්සේ පෙම් හසුන් දහස් ගණන් ආවා. ඒ පිංපොංට මිසක් මට නෙමේ. ඒ නිසා අර හිතේ හිටිය ලස්සන කෙල්ලට මම ආදරේ ප්‍රකාශ කළා. එයා තමා දැන් මගේ බිරිඳ.

මොකක් ද අර ඇඟ ගැන ප්‍රශ්නේ? ඒ මහේෂ්ගේ පැනය.

මම කෙට්ටුවට ඉන්න කාලේ මිනිස්සු අහනවා ඇයි ඔච්චර කෙට්ටු මොනවා හරි නරක දෙයක්වත් පාවිච්චි කරනවද? නැත්නම් දියවැඩියාව ද කියලා. මහත් වුණාම අහනවා මහත වැඩියි ටිකක් අවුල් නේද කියලා. ටිකක් ගානට ෂේප් එකේ ඉන්න කොට අහනවා අර මහතට ඉන්න කොට ලස්සනට චබී වගේ හිටියා. ඇයි ප්‍රශ්න වැඩි ද කියලා. ඒක තමා ඉතින් ලෝක ස්වභාවය කියලා මම හිතා ගත්තා.

සුන්දරව රසබර කලා තොරතුරු තරු මිහිරේ ගලාගෙන යද්දී රසම රස බිස්කට් සමඟ සරසවියේ අය මේ පිරිසට සංග්‍රහ කළා.

අපේ සරසවියේ පිරිස එකවරම රජිතට බිස්කට් කවන්නත් උත්සුක වුණා. මේ අතරතුර රසබර ගීත රැසක් පිංපොංගේ හඬින් ගැයෙද්දී ප්‍රමිලා, ජගත්, මහේෂ්, සජිත් එකිනෙකා පරදවමින් නටන්නටත් අමතක කළේ නැහැ.

සියල්ල සතුටින් ගලාගෙන යද්දී හිටි හැටියේ දුරකථන ඇමතුමක් ද ලැබුණා.ඒ අන් කවරෙකුවත් නොව සරසවිය ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න ඉන්දියාවේ ගෝවේ සිට තරු මිහිර වගතුග සොයා බැලුව මොහොත. ඔහුගේ සුබපැතුම් සමඟින් නියෝජ්‍ය කර්තෘ තිස්ස ධම්මික අතින් රජිතට ලබා දුන් ලක් සළුසල තෑගි වවුචර් අපේ පාඨක පිරිසට ලබා දුන්නේ සළුසලට යන ගමන් මාර්ගය ද පැහැදිලි කරමින්.

සතුටින් ගෙවුන හෝරා දෙක අවසානය කෙමෙන් උදා විය. මෙවර තරු මිහිරට රසයක් ගෙනා රජිත හිරාන් අපේ පාඨක පිරිස සමඟ තවත් වේලාවක් රැඳී සිට ඔවුනට සමු දුන්නේ නැවතත් හමුවන පොරොන්දුව ද ලබා දෙමින්.