වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් අයියා දෙවියෙක්

සුනිල් අයියා දෙවියෙක්

අනුර පළිහවඩන අලුත්ම කටයුත්තක

ඉස්සර මාවයි සුනිල් අයියවයි හරියට මිනිස්සුන්ට පැටලුණා. සමහර අය කිව්වට පිළිගත්තෙම නැහැ මම සුනිල් අයියා නෙවෙයි කියලා. ඒත් දැන් ඒ තතත්වය ටිකක් අඩුවෙලා. මොකද දැන් සුනිල් අයියගේ පෙනුම තියාගෙන මගේම අනන්‍යතාවයක් හදාගන්න උත්සාහ කරගෙන යනවා. ඒ හින්ද දැන් බොහෝ දෙනෙක් මගේ ඇත්ත නමින්ම මට අමතනවා.

එහෙම කතාව පටන් ගත්තේ අනුර පළිහවඩන. ස්වර්ණවාහිනියේ ෂැඩෝ ස්ටාර් හරහා ජිප්සීස් සුනිල් පෙරේරාව අනුකරණය කරමින් ඉදිරියට ආ ඔහු මේ වන විට ප්‍රසංග වේදිකාවේද නැතුවම බැරි චරිතයක් වෙලා අහවරයි.

අනුර මේ තකහනියෙම ඇවිත් තියෙන්නේ අලුත්ම ආරංචියක් අරගෙන.

ඒ ගැන කියන්න කලින් පොඩි දෙයක් පවසන්න ඕනේ. මේක දේව හාස්කමක් වගේ දෙයක්. මොකද එහෙම කියන්නේ මං වසර ගණනාවක් තිස්සේ හීන මවපු දෙයක් තමයි මේ කාර්යය. ඒත් මේ වසරේ දින ගණනක් ඇතුළත ඒ දේ ඉෂ්ට සිද්ධ වුණා.

* අනුර අගය කරන දේ ගැන අහගන්න මටත් ආස හිතුණා.

මං ගායකයකු විදිහට දැන් වසර ගණනාවක් ගයනවා. නමුත් මගේම කියලා සංයුක්ත තැටයක් නිකුත් කරන්නට බැරි වුණා. ඇත්තම කිව්වොත් මේ කාලයේ සී. ඩී. එකක් කරනවා කියන්නේ අති විශාල මුදලක් වැය වෙන වැඩක්. ඒ හීනය මගේ සිත තුළ තියාගෙන කාලාන්තරයක් හිටියා. ඔන්න දවසක් මං ටී. එන්. එල්. පැදුරු පාටියකට සහභාගි වුණා. එතැනට ඇවිත් හිටියා සිංහල ගී ගයන නෝර්වේ ජාතික කාන්තාවක්. ඇගේ සැමියා ලංකාවේ. එදා අපි දැන හඳුන ගත්තා. තියඩෝර් ජයසුන්දර සහ ඇනා කර්රීව් තමයි ඒ යුවළ. ඔවුන් ඊට දින කිහිපයකට පසුව විදෙස් ගත වෙලා තිබුණා. ටික කාලෙකින් ඔවුන් මට නැවත හමුවෙලා විස්තර කතා කළා. මගෙන් සී. ඩී. එකක් කළේ නැද්ද ඇහැව්වා. මං ඉතින් ඇත්ත විස්තරේ කිව්වා. එවලේ ඔවුන් දෙන්නම ක්ෂණිකව එකඟ වුණානේ මගේ සී. ඩී. එකට වියදම් කරන්න. හැකිතාක් ඉක්මනින් වැඩ පටන් ගන්න කිව්වා.

* ඊට පස්සේ?

මට පුදුමෙනුත් පුදුමයි. ඊළඟට මම කල්පනා කළේ සී. ඩී. එකකට සිංදු දොළහක්වත් තියෙන්න ඕනනෙ. ඒ නිසා සිංදු ටිකක් කොහොමද හොයා ගන්නේ කියලා. මගේම කියලා සිංදු දෙක තුනකුත් තියෙනවානේ. එහෙම හිතලා කෝකටත් මං ගියා සුනිල් අයියව හමුවෙන්න.

* මට ඊළඟට අහන්න හිතුණේ සුනිල් අයියා මොකද කිව්වෙ කියන එක?

ලිද ළඟ සංගමය, කුරුමිට්ටෝ, හිනා හිනා, සයිමා කට් වෙලා ඇතුළු සිංදු දොළහක් ඔහු ලෝස් නැතුව මට දුන්නෙ සී. ඩී එකට. දැන් මගේ සතුට දෙගුªණ තෙගුණ වෙලා. එදා ඉඳලම මං මගේ කුලුඳුල් සී. ඩී. එකේ වැඩ පටන් ගත්තා.

* කවදා විතරද ඒ සංයුක්ත තැටිය සංගීත ලෝලීන් අතට පත් වෙන්නේ?

මේ දෙසැම්බර්වලදී එළිදක්වනවා. මෙහිදී තවත් අදහසක් මට කියන්න ඕනේ. මට මේ වාසනාව පාදලා දුන්නු තියොඩාර් හා ඇනා ඉන්නවනේ. මං ඔවුන් දෙපොළවම මීට සම්බන්ධ කර ගත්තා.

* ඒ කොහොමද?

නෝනෙ මගේ සුදු නෝනේ සිංදුවේ මාත් එක්ක සිං කරන්නෙ ඇනා. ඒත් එක්කම සයිමා කට් වෙලා ගීතය තියෝඩොරුයි මමයි කියන්නේ. අන්න ඔහොම තමයි මම ඔවුනට කෘතගුණ සැලකුවේ.

* මේ වෙලාවේ සුනිල් පෙරේරා ගැනත් වචනයක් කතා කරමුද?

අම්මෝ එතුමා ගැන නම් කතා කරන්නම ඕනේ. සුනිල් අයියා ආත්මයක් ආත්මයක් පාසා අපේම සුනිල් අයියා වෙලා මේ රටේම ඉපදෙන්න ඕනේ. ඔහුගේ ගතිගුණ නම් හරිම විශිෂ්ටයි. සුනිල් අයියා මට ගීත ටික දීලා විතරක් නෙවෙයි. ඒවා නව පරපුරේ අයට ඔබින විදිහට මියුසික් ඇරේන්ජ්මන්ට් කරගන්න ජිප්සීස් බෑන්ඩ් එකේ කීබෝඩ් ගහන දුෂාන් ජයතිලකවත් දුන්නා. බලන්න ඔහුගේ නිහතමානීකම.

* අවසන් කොට මං විමසුවේ මේ කුමන ගීතයකට හෝ වීඩියෝවක් කරන්නේ නැති ද යන්න?

මං ඕකත් සුනිල් අයියගෙන් ඇහැව්වා. ඔයා ඕන දෙයක් කරගන්න කිව්වා. ඉතින් මං ඔයා මිස් ද මිසිස් ද ගීතයට වීඩියෝවක් කරනවා. ඒකටත් වියදම් කරන්නේ තියොඩෝර් සහ ඇනා.