වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




එකළොස් වැනි සංයුක්ත තැටිය එළි දක්වන්න නලින් යළිත් මවු රටට

එකළොස් වැනි සංයුක්ත තැටිය එළි දක්වන්න නලින් යළිත් මවු රටට

නලින් ජයවර්ධන ඔස්ට්‍රේලියාවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. සිය මවු රටින් ඈත පදිංචි වී සිටියත් ඔහු තවමත් සිය මවු රටට දැඩි සේ ආදරය කරයි. ඒ නිසාම ඔහු සිය එකොළොස් වැනි සංයුක්ත තැටිය එළි දැක්වීම සඳහා මේ දිනවල සූදානම් වන්නේ බොහෝ කාර්යබහුලත්වය අතර වෙසෙමිනි. නලින් ජයවර්ධන සිය කලා ජීවිතය හා කරන්නට යන මේ කර්තව්‍යය පිළිබඳ සරසවිය හා පැවසුවේ මෙවැනි කතාවකි.

මම මේ දවස්වල බොහොම කාර්යබහුලයි. ඒ මගේ එකොළොස් වැනි සංයුක්ත තැටියේ වැඩ කටයුතු අවසන් කිරීමට මහන්සි වන නිසයි. ඒ නිෂ්පාදන කටයුතු කරන ගමන් එරංග පාලිතරත්න රචනා කළ අමිලා නදීෂානි සමඟ ගැයූ අලුත්ම ගීතයට රූප රචනා කිරීමටයි මේ දිනවල මවු රටට පැමිණියේ, මේ සංයුක්ත තැටියට ගී තනු නිර්මාණය සඳහා දායක කර ගත්තේ පසුගිය දිනවල නම රැන්ඳූ සංගීත ශිල්පීන්ගේ එකතුවක්.

ආචාර්ය රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, නිමල් මෙන්ඩිස්, සරත් ද අල්විස්, නවරත්න ගමගේ, අර්නස්ට් සොයිසා, භද්‍රජි මහින්ද, නවරත්න ගමගේ, ආනන්ද වෛ්‍යසේකර, සංගීත් වික්‍රමසිංහ ඇතුළු තවත් ශිල්පීන් කිහිප දෙනෙක් ඒ සඳහා දායක වුණා.

මේ සියලු කටයුතුවල ආරම්භය දිව යන්නේ 2000 වසර දක්වායි. ඊට මුල් වන්නේ අන්තර්ජාලයයි. ඇමෙරිකාවේ ජීවත් වූ ආචාර්ය විකුම්පිය මහතා දැන හඳුනා ගැනිමත්, ඔහු ආරම්භ කළ සිංහල ගී එකතුව එළි දැක් වූ අන්තර් ජාල අඩවියේ දායකයකු වීමට ආරාධනා ලැබීමත් පළමුව මතකයට නැඟිය යුතුයි.

පසුව ප්‍රථම සිංහල ගීත සංයුක්ත තැටිය අන්තර් ජාලයට මුදා හැරීම සිදු වන්නේ එතුමාගේ අදහසක් අනුවයි. ඒ අනුව සිංහල ගී රස විඳින ශ්‍රාවකයන්ට තුටු පඬුරක් ලෙස නොමිලයේ ගී රස විදින්නට හැකි අයුරින් අන්තර්ජාලය හරහා බාගත (ඩවුන් ලෝඩ්) කිරීමට හැකි වන ලෙස සකස් කරනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් මතයි.

කොහොම නමුත් ඉදිරියේ එළි දැක්වීමට නියමිත තවත් සංගත තැටි කිහිපයක්ම සඳහා යම් සූදානම් වීමක් දැන් ආරම්භ කර අවසන් බවත් කිව යුතුයි. ඒ සඳහා නවක හා තරුණ වියේ ශිල්පීන් සම්බන්ධ කර ගැනීමටයි අප අදහස් කරන්නේ. එහි පදමාලා සඳහා අප තෝරා ගත්තේ නවතම නිර්මාණකරුවන් පිරිසක්. ඔවුන් කළ ඒ පද රචනා හොඳ මට්ටමක පැවතුණා. ඒ නිසා ඒ සියල්ල හොඳින් නිර්මාණයට දායක කර ගැනීමට හැකියාව ලැබේවි.