වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




කේමදාස කියන්නේ සංගීත පැක්ටරියක් නෙවෙයි

කේමදාස කියන්නේ සංගීත පැක්ටරියක් නෙවෙයි

අනූපා - ගයත්‍රි හෙළි කරයි

ගැහුවේ එකක්, ඇහුනේ තව එකක්

දේශීය සංගීත ක්ෂේත්‍රයේ ඒකාකාරීත්වය බිඳ දමා එහි වූ සීමාවන් පුළුල් කරමින් දේශීය සංගීතයට නව මාවතක් විවර කරමින් ඔහු කළ සේවය අනභිභවනීයයි. ‘රොඩී කෙල්ල’ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරමින් චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු ‘ගොළු හදවත’ චිත්‍රපටයෙන් සිංහළ සිනමා සංගීතයේ විශාල පෙරළියක් ඇති කළේය. මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා දැයෙන් සමුගෙන පසුගිය 24 වැනි දිනට සය වසරක් ගත වී අවසන්ය. එදා ඔහු විවර කළ නව මාවතේ අද ඉදිරියට යන්නේ ඊළඟ පරපුරයි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස නම් වූ ඒ මහා ගාන්ධර්වයා සංගීතයට දුන් දායාදය රැගෙන අද ඔහුගේ දියණියන් වූ අනූපා සහ ගයත්‍රි ගමනේ යෙදී සිටිති. මේ එහි එක් විරාමයක දී ඔවුන්ගේ හමුවීමයි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අප අතරින් සමුගෙන වසර හයකුත් ගත වෙලා?

ඔව්, තාත්තා අපෙන් සමුගත්තෙ 2008 ඔක්තෝබර් 24 වැනිදා. මෙවර තාත්තාගේ ගුණානුස්මරණය වෙනුවෙන් පසුගිය 25 වැනිදා කේමදාස පදනමේ ළමුන් සමඟින් ‘පිරිනිවන් මංචකය කැන්ටාටාව, නිධන් මංකොල්ලය ගී ගායනය’ ගංගාරාම සීමාමාලකයේ දී පැවැත්වූවා.

දියණියන් ලෙසින් ඔබ දෙදෙනා ඒ මහා සංගීතඥයා දකින්නේ කොහොමද?

අනූපා - අප පුංචි කාලයේ උදේට ඇහැරෙන්නෙ සංගීත හඬින්. තාත්තා පාන්දර තුනට නැගිටලා සංගීත නිර්මාණ කටයුතුවල නිරත වෙනවා. පාන්දර තුනේ සිට හය දක්වා කාලය නිර්මාණශීලී වෙලාව ලෙසයි තාත්තා හැඳින්වූයේ. ඔහු සංගීතයේ විශාල විප්ලවයක් සිදු කළ චරිතයක්. සංගීතය තාත්තාගේ ජීවිතයට කිට්ටුම දෙයක් වෙලා තිබුණේ. ඔහුගේ සංගීතය චිත්‍රපටයක නම් ඉස්මතුව පෙණුනා. එය මිනිස්සුන්ට තදින්ම දැණුනා.

තාත්තා සංගීත ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කළා. ඒ වගේම ඔහු හැමදාම හිතුවේ එතැනින් එහාට යන්න. ඒ වෙනුවෙන් ඔහු සතු වූ අසාමාන්‍ය සංගීත හැකියාව ශක්තියක් වුණා. තාත්තට වුවමනාව තිබුණා මේ දේවල් ඉදිරියට ගෙනියන්න. කේමදාස පදනම එයට හොඳම උදාහරණයයි. ඒ වුණත් කේමදාස කියන්නේ සංගීත ෆ්‍රැක්ට්‍රියක් නෙවෙයි. සංගීතය ඉදිරියට ගෙන යන්නයි ඔහුගේ එකම බලාපොරොත්තුව වුණේ.

ගයත්‍රි - තාත්තා අපිත් එක්ක ගොඩක් කාලය ගත කළා. මොන තරම් වැඩ අධික වුනත් අපි වෙනුවෙන් කාලය වෙනමම තියා ගන්න ලොකු කැප කිරීමක් කළා. අක්කවයි මාවයි පංතිවලට එක්කරගෙන ගියේ තාත්තා. පංතිය ඉවර වෙනකල් එතැන නැවතිලා ඉන්න තරම් ඔහු ඒ වෙනුවෙන් කැප වුණා. තාත්තාට ඔහුගේ පවුලෙන් ඒ විදියේ ආදරයක් රැකවරණයක් නොලැබුණත් ඔහු අප වෙනුවෙන් කළා වූ ඒ කැප කිරීම් ගැන කියන්න වචන නැහැ.

ඔහු බලාපොරොත්තු වුණාද ඔබ දෙදෙනාම මේ ගමන එනවා දකින්න?

අනූපා - ඔව්, තාත්තා සංගීතය යම් තැනකට ගෙන ආවා වගේම ඒ තැන ආරක්‍ෂා කරන්න තාත්තාට ලොකු වුවමනාවක් තිබුණා. ඒ වගේම තාත්තා දුටු ලෝකයට වඩා වැඩි දෙයක් අපිට පෙන්වන්න ඔහුට ලොකු උනන්දුවක් තිබුණා. ළඟින්ම තියාගෙන හදා වැඩුවත් පිටරට අධ්‍යාපනයට අප දෙදෙනා යොමු කළෙත් ඒ නිසාමයි. පුංචි කාලයේ පටන්ම තාත්තා සිය නිර්මාණවලට මාවයි නංගිවයි දායක කර ගත්තා. මට මතකයි මම තාත්තාගේ රෙකෝඩින්වලට මුලින්ම එක්කර ගෙන යනකොට මට වයස අවුරුදු 14 ක් විතර ඇති. චෙක් ජනරජයේ සහ කැනඩාවේ අධ්‍යාපනය ලැබූ මම වැඩියෙන්ම වාදනයට පෙළඹුණේ තාත්තගෙත් පි‍්‍රයතම වාදන භාණ්ඩය වූ චෙලෝව යි.

ගයත්‍රි - තාත්තට ඕන වුණේ අපට හොඳට උගන්වන්න. ඒ වෙනුවෙන් ඔහු අපව ලංකාවේ ඉන්න හොඳම ගුරුවරුන් ළඟට කැඳවාගෙන ගියා. අපේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාත්තා ලොකු කැප කිරීමක් කළා. මම වාදනයට තෝරා ගත්තේ පියානෝව. තාත්තත් පියානෝ වාදනයට බෙහෙවින් පි‍්‍රය කළා. ඒ වගේම අක්කා තාත්තගේ සංගීත කටයුතුවලට හවුල් වෙනවා මම බලාගෙන හිටියා. ඒ දිහා බලාගෙන මමත් එයට එකතු වුණා.

දැන් ඔබ දෙදෙනාගේ එකතුවෙන් චිත්‍රපටයකට අපූරු සංගීතයක් නිර්මාණය වෙලා?

අනූපා - නිලේන්ද්‍ර දේශපි‍්‍රය මහතාගේ ‘තන්හා රති රඟා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය කරන්න අපට ආරාධනා ලැබුණා. 2009 වසරේදී අපි පැවැත් වූ ප්‍රසංගයක් නැරඹීමෙන් පසුවයි. ඔහු අපට මේ ආරාධනාව කළේ. තාත්තාගේ හොඳම මිතුරකු වූ ටි. අර්ජුන් මහතා ඒ පණිවුඩය අපට ගෙන ආවා.

ඔබ දෙදෙනා එක්ව කළ මේ පළමු නිර්මාණය ගැන ඔබලා තෘප්තිමත් ද?

අනූපා - ඒ සඳහා මම සහභාගි වුණේ බොහොම ආසාවෙන්. මම එය පළමුවෙන් නැරඹුවේ මොන්ට්‍රියල්වලදී. එවිට මට ලොකු සතුටක් දැණුනා.

ගයත්‍රි - ඕනෑම නිර්මාණයක් කළාම එක වතාවක් බලලා තවත් වතාවක් බලනකොට යම් යම් වෙනස් කම් වුණානම් හොඳයි කියා හිතෙන එක සාමාන්‍ය දෙයක්. කාලය වගේම තමන්ගේ පරිණතභාවය සමඟ එය වෙනස් විය හැකියි. කෙසේ නමුත් තණ්හා රති රඟා සංගීත නිර්මාණය ගැන ගොඩක් සතුටුයි.

වර්තමාන සංගීත ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

අනූපා - විවිධ අලුත් නිර්මාණ ගොඩක් බිහි වෙලා තියෙනවා. හැබැයි බොහොමයක් නිර්මාණවල අර්ථාන්විත බවක් නම් දකින්න ලැබෙනවා අඩුයි. අපිත් වර්තමානයේදි සංගීත නිර්මාණවලට දායක වුණා. පසුගිය දා කූඩු කළ කිරිල්ලියන් ගයන පද (Caged Birds Sings) නමින් ප්‍රසංගයක් කළා. එහිදී තාත්තාගේ බිළින්දෝ ගීතයත් නංගිගේ පුලාන් දේවී ඔපෙරාවේ කොටසකුත් ඉදිරිපත් කළා. කුමාරි කුමාරගමගේ කිවිඳියගේ සහභාගීත්වයත් එහි දී සඳහන් කළ යුතුයි.

ගයත්‍රි - අලුත් නිර්මාණ කරනකොට එය වැඩි පිරිසකට දැනෙන පරිද්දෙන් කළ යුතු වෙනවා. ඒ වගේම අපි එක තැනකට සීමා නොවී නිර්මාණ කළ යුතුයි. වර්තමානයට අවශ්‍ය වෙන්නේ එයයි.

එදා කේමදාස මාස්ටර් ගෙන් සංගීතයට වූ සේවයේ ප්‍රතිඵල අද ඔබ දකිනවාද?

අනූපා - සහතිකවම දකිනවා. එදා රසික රසිකවන්ගේ පිළි ගැනීම තාත්තාට තිබුණා. තාත්තත් එයට හැමදාම ගරු කළා. සංගීතය ගැන දැනුමක් නොමැති අයටත් තාත්තාගේ සංගීත රසය දැනිලා තිබුණා. ඇල්ල ළඟ වළව්ව ටෙලි නාට්‍යයේ සංගීත නිර්මාණය කළේ තාත්තා. එහිදී තේමාවට වෙනස් වූ සංගීත රටාවක් තමයි ඔහු එයට ඇතුළත් කළේ. දවසක් පාරේ යනකොට රට ඉඳි විකුණන තරුණ ළමයි දෙදෙනෙක් කියනවලු ‘අර යන්නේ කවුද කියලා දන්නවද? එයා තමයි කේමදාස මාස්ටර්. ඇල්ල ළඟ වළව්ව ටෙලි නාට්‍යයේ සංගීතය කළේ එයා. ගහන්නේ එකක්. ඇහෙන්නේ එකක්’ කියලා. ඒ තමයි ඔහු හඳුනා ගත් ඔහුගේ නිර්මාණ හඳුනාගත් රසිකයන්. සංගීතය හදාරණ අයට පමණයි එය අවබෝධ කර ගන්න පුළුවන් කියලා සමහරු කිව්වට සංගීතඥානය නොමැති අයටත් එය තේරුම් ගත හැකියි. එදා සාමාන්‍ය මිනිස්සු තාත්තාගේ නිර්මාණ අවබෝධ කරගත්තා. එය තාත්තාටත් ලොකු සතුටක් වුණා.

තාත්තාගේ සංගීත නිර්මාණ අද වෙනත් පුද්ගලයන් විසින් භාවිතයට ගැනීම ගැන මොකද හිතෙන්නේ. ඒ පිළිබඳ යම් පියවර අරගෙන තියෙනවාද?

ගයත්‍රි - ඒක නම් හරිම අසාධාරණ දෙයක්. හරිම අමානුෂික අයුරින් අද වෙනකොට අපේ තාත්තාගෙ නිර්මාණ වෙනත් පුද්ගලයන් භාවිතයට අරගෙන තියෙනවා. කලාකරුවන් විසින්ම එය සිදු කිරීම කනගාටුවට කාරණයක්. තාත්තාගේ නිර්මාණ රිඟින් ටෝන්වලට පවා ඇතුළත් කරලා තියෙනවා. අපිත් ඒවා අපේ දුරකථනවලටත් ඇතුළත් කරගෙන හිටියා. ඒ වුණත් ඒවායෙන් කිසිම මුදලක් මේ දක්වා අපට ලැබිලා නැහැ. අම්මා ඒ ගැන ඇහුවාම ඔවුන් කියන්නේ තාත්තා හිටියා නම් එවැනි ප්‍රශ්න අහන්නේ නැති බවයි. මෙවැනි තත්ත්වයක් මත ඒ ගැන කතා කරන එකත් තේරුමක් නැහැ.

ඉදිරි සංගීත කටයුතු කොහොමද සැලසුම් කරලා තියෙන්නේ?

අනූපා - තව ටික දිනකින් මම යළිත් විදෙස් ගත වෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී යම් යම් කලා කටයුතු කිහිපයක් යෙදිලා තියෙනවා. ඒ හැරුණාම මමයි නංගියි දෙදෙනාම නිලේන්ද්‍ර දේශපි‍්‍රය මහතාගේ මීළඟ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය භාරගෙන තියෙනවා. ඒ වගේම තාත්තාගේ අග්නි ඔපෙරාව ප්‍රති නිර්මාණය කරන්නත් සූදානමක් තියෙනවා.

ගයත්‍රි - මම සංගීත අධ්‍යක්‍ෂණය කළ ‘දුවන මුවන්’ චිත්‍රපටයත් ළඟදීම තිරගත වේවි. ඊට අමතරව මගේ පුලාන් දේවි ඔපෙරාව ටොරෙන්ටෝ හිදී නිෂ්පාදනය කළා.

අවසන් වශයෙන් කේමදාස පදනමේ ක්‍රියාකාරිත්වය ගැනත් පැහැදිලි කිරීමක් කරමු?

අනූපා - නොමිලේ සංගීත අධ්‍යාපනය ලබා දෙන්නයි තාත්තා මේ පදනම පිහිටු වූයේ. පැරැණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟින් පසුගිය දා අපි ප්‍රසංගයක් කළා. ඉදිරියට අලුත් මුහුණු එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. විවිධ නිර්මාණ තුළින් ළමයින්ට නොමිලයේ දැනුම ලබා දීමේ ඒ වැඩ පිළිවෙළ අපි ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.