වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




කැමැත්තෙන් කරන දෙයක්

කැමැත්තෙන් කරන දෙයක් එපා වෙන්නේ නෑනේ...

ටිකක් නපුරු, සරල ටෙක්ලා හෙවත් ටිකී සරසවිය සමඟ

එදා නිළියක් වෙන්න පෙරුම් පිරූ ටෙක්ලා කුමුදු කුමාරි අද නම් ආස නිවේදිකාවක විදිහට කටයුතු කරන්න. නමුත් ඉඩ ලැබෙන හැටියට රංගනයේ නියැලෙන්නත් ඇය පසුබට වන්නේ නැහැ. ටෙක්ලාව ගොඩ දෙනෙකු හඳුනන්නේ ටිකී කියන ඇගේ සුරතල් නාමයෙන්. ඒ නම ඇයගේම නිර්මාණයක්ලු.

මමත් ටිකී කියලම කතා කරන්නම්කො එහෙනම්?

හොඳා හොඳා . . .

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු එහෙම?

සුපුරුදු විදිහට කරගෙන යනවා. විශේෂයක් නැහැ.

සතියේ දින පහේම සවස මියුසික්ස් වැඩසටහන කරලම එපා වෙලා නැද්ද?

මෙහෙමයි, සමහර දවස්වල මගෙත් එක්ක ඉන්න දේව් විතරක් වැඩසටහන කරනවා. පහුගිය කාලේ සතියම එක දිගට මමම හිටපු අවස්ථා තිබුණා. මං බොහොම ආසාවෙන් මියුසික්ස් කරන්නේ. කැමැත්තෙන් කරන දෙයක් කවදාවත් එපා වෙන්නේ නැහැනෙ.

ඒත් ටිකී මියුසික්ස් බදාගෙන ඉන්නවා කියලා සමහරු කියනවා. වෙන කිසිම නිවේදිකාවකට ඔබ එන්න දෙන්නෙ නැතිලු?

ඕවා මඩ. ඉඳහිට තවත් නිවේදිකාවෝ කිහිප දෙනෙක් මෙය ඉදිරිපත් කළා. එබැවින් ඔය චෝදනා කොහොමත් පදනම් විරහිතයි.

ටිකී ක්ෂේත්‍රයට එන්නේ නිළියක් වෙන්න?

ඔව්.

ඒත් ඔබේ රුව අපට මුලින්ම දක්නට ලැබෙන්නේ නිවේදිකාවක විදිහට?

සිරස ආයතනයෙන් තමයි මට මුලින්ම ඒ අවස්ථාව ලැබුණේ. ඒ ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහන හරහා.

ඊට පසුව ඔබ දිගින් දිගටම නිවේදනයට පෙම් බඳිනවා?

මට එහෙම වෙන්න සිද්ධ වෙනවා. නමුත් අරුණ ජයවර්ධන මහත්මයාගේ ඇරයුමින් රජ කඩුව හාස්‍යෝත්පාදක නාට්‍යයට සම්බන්ධ වුණා. එතැනින් මගේ නිළි හීනය හැබෑ කර ගත්තා.

රජ කඩුව නාට්‍යයෙන් පසුව ඔබට ආයේ හාසේ‍යීත්පාදක නාට්‍යකට කතා කළේ නැත්තේ ඇයි?

ඒක නම් මම දන්නේ නැහැ. නමුත් නාට්‍ය හාස්‍යයෙන් පිරුණට මගේ චරිතය ටිකක් සීරියස්. ඒක නිසා මගෙන් හාස්‍ය රංගනයක් දකින්නට නැතුව ඇති අධ්‍යක්ෂවරුන්.

ටිකී කාලයක් තිස්සේ බොහෝ නාට්‍යවල හිටියා. නමුත් වර්තමානයේදී ඔබ තුළ සිටින නිළිය වැඩිය එළියට එන්නේ නැති තරම්?

ඒකට හේතුව මගේ වැඩසටහන.

මියුසික්ස් නිසා නාට්‍ය කීයක් විතර අත හැරියාද?

ගොඩක්.

අපරාදෙනෙ?

මොනව කරන්නද ඉතින්.

එච්චරට වැඩසටහනට ලෝබද?

ලෝබකමක් නෙවෙයි. හැබැයි මාව වැඩසටහනට එවීමේ පොරොන්දුව පිට නාට්‍යයකට කතා කළොත් යනවා.

මේ දවස්වල ඒවගේ නාට්‍යයක ෂූටිං නේද?

ඔව්. ඒකේ නම සඳ විනිවිද. අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු.

ටෙක්ලා වැඩිපුරම ඉදිරිපත් කළේ සජීවී වැඩසටහන්. ඒවා කරගෙන යන අතරතුරදී වෙච්ච හොඳ හොඳ අත්දැකීම් ඇති?

මගේ යාළුවා දේව් ඉන්නවා නේද. එයාට ලයිව් ප්‍රෝගෑම්වලදී දාන ඉයර් පීස් එක මුලදි ටිකක් නුහුරුයි. ඒක නිසා ප්‍රධාන පාලක මැදිරියේ අය ඒ හරහා කියන දේවල්වලට දේව් ලයිව් එකේදීම ඊට උත්තර දෙනවා. මට ඒවා දැකලා හිනා. පසුව ඔහුට ඉයර් පීස් එක හුරු වුණා.

ලැබුණු අවස්ථාවෙන් යාළුවාට ගැහැව්වා නේද මඩක්?

ඒක එයත් දන්නවා. දේව් මට මුකුත් කියන එකක් නැහැ මේක කිව්වට. තව මරු වැඩක් වුණා දවසක්.

කියන්නකෝ?

මං යාළුවකුගෙන් කොණ්ඩ කට්ටක් ඉල්ලගෙන ආවා වැඩ සටහනකදී පාවිච්චි කරන්න. ඒක අපේ අය දැනගෙන වෙන කෝලර් කෙනෙක්ව දම්මලා කතා කරවලා මාව බයිට් කළානේ. පුදුම විදිහට එදා මං අපහසුතාවයට පත් වුණා. ඇඬෙන්න වගේ. ප්‍රෝගෑම් එක ඉවර වෙච්ච ගමන් කාටවත් කියන්නේ නැතුව ගෙදර ආවේ හරිම තරහින්.

ටිකීට සිනමාවට ඇරැයුම් ලැබුණේ නැතිද තවම?

මං එකම එක චිත්‍රපටයකට දායක වුණා. බූඩි කීර්තිසේනගේ නිම්නයක හුදකලාවි.

ටිකීත් එක්ක නිතරම එහෙ මෙහෙ යන කෙනා ගැන කියන්න දැන් වෙලාව?

එයා රෝහණ ජයසිංහ. අපි දෙන්නා විවාහ ගිවිස ගෙන ඉන්නේ. රෝහණ ඉස්සර බෑන්ඩ් කිහිපයකම වාදකයකු විදිහට කටයුතු කළා. දැන් පුංචි ව්‍යාපාරයක් කරනවා.

මා දන්නා විදිහට ඔබටත් හොඳට සිංදු කියන්න පුළුවන්?

ඔව්, ඔව්. රෝහණත් එකක ඉස්සර ප්‍රසංගවලට සහභාගි වුණා.

ටිකීගේ ගම කොහේද?

කුරුණෑගල.

ඉගෙන ගත්තේ?

මාවතගම ජාතික පාසලෙන්.

උපන් දිනය?

මැයි 15.

කරපු ලෙකුම මෝඩ වැඩේ මොකක්ද?

ගොඩක් අයව විශ්වාස කිරීම.

කලාව එපා වෙලා තියෙනවාද?

ඔව්.

මොන වගේ අවස්ථාවන්වලදීද?

කලාව විනාශ වෙනවා කියලා ඇතැම් අවස්ථාවලදී පෙනෙනවා. අන්න ඒ වගේ වෙලාවන්වල බය හිතෙනවා.

ටිකී ගැන ටිකී කෙටියෙන් හඳුන්වා දෙන්න?

ටිකක් නපුරු, සරල වගේම කොටට ඇඳුම් අඳින්නේ නැති කෙනෙක්.