|
ගින්දරී තනද්දී උදයගේ ඔළුවට ගින්දර ගනී
ගින්දරී දර්ශන තලයේ රසමුසු, බියකරු තැන්
බොරැල්ල කනත්ත දෙසින් පැමිණි ටිකිරි විදුලි සංඥා පුවරුව අසල මඳක් නැවතී වටපිට බැළුවාය. රිය තදබදය තවමත් නිමාවක් නැත. සුරූපී බන්ටි කනත්ත දෙස දෙවරක් බැලුවේ විමසිල්ලෙනි. කෙටි සායකින් සහ අලංකාර කමිසයකින් හැඩව උන් ඇය පාර පනින්නට උත්සාහ කළාය. නමුදු රතු එළියෙන් මිදී වේගයෙන් ධාවනය වන රිය පෙරහැර ඊට ඉඩ නොදෙන පාටය. ටිකිරි දකුණුපසට වී බලා උන්නාය. ‘ඩෝං . . . පටස් . . . චරස් . . . ක්‍රීස් . . . හඬ පරිසරයේ නිහඬ ශාන්ත බව බිඳ දැම්මේය. ‘අප්පා හැපුණනේ වාහන හතරක් එකට. පාරේ එහා පස සිටි ඩොනල්ඩ් කෑගැසුවේ හැමෝටම ඇසෙන්නටය. මේ ටිකිරි - සුරූපී නිළි පබෝධා සංදීපනීය. පබෝධා ටිකිරි වූයේ මීට බොහෝ කලකට ඉහතදීය. ඒ උදයකාන්ත වර්ණසූරියගේ බහු බුතයෝටය. දැන් පබෝධා ටිකිරි වී තිබෙන්නේ බහු බූතයෝ 02 ගින්දරී සදහාය. පාර පනින ටිකිරි දෙස බලා සිටි වාහන හතරක් එක වර හැපුණේ දර්ශන තලයේ සියලු දෙනාම භීතියටත්, උපහාසාත්මක සිනහවකටත් ලක් කරමිනි. ‘මාර කේස් එක වුණේ. ඉස්සරහ වාහනේ ඩ්‍රයිවර් ගියේ පබෝ දිහා බලාගෙන. එකපාරටම ඉස්සරහ කාර් එකේ වැදුණා. ඒ කාර් එක අනෙකෙ වැදුණා. පිටි පස්සෙන්ම ආව වෑන් එක කාර් එකේ වැදුණා. ඩොනල්ඩ් ජයන්ත සිදුවීම විස්තර කරන්නේ ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස සජීවිවය. අප මේ ගොඩ වන්නේ බහු බුතයෝ 2 ගින්දරී දර්ශන තලයේ චමත්කාරය සොයාය. අනුරාධපුරය හා කොළඹ අවට රූගත කරන මේ සුන්දර චිත්‍රපටය මේ වන විට රූගත කිරීම්වල අවසනට පැමිණ තිබේ. උදය අයියා තවමත් අප දැක්කේ නැත. ඔහු තමාගේ කටයුත්තේය. කොළඹ ගලධාරි හෝටලයේ කොටසක පැවති රූගත කිරීම්වලට වෙන් වී අවසන්ය. නියමිත දර්ශනය රැගත් උදය අයියා අප දුටුවේ රාජකාරිය නිම කිරීමෙන් අනතුරුවය. ඔහු තමාගේ දර්ශනය නිමවන තුරු සිටින්නේ ඉහළ අවධානයකිනි. ආයුබෝවන් . . . උදය අයියා අප දර්ශන තලය වෙත පිළිගත්තේ ළෙන්ගතතු බැඳීමකිනි. ‘ඊයේ පෙරේදා කරදරයක් වුණා කියලත් ආරංචි වුණා’ මම දර්ශන තලයේ දින කිහිපයකට ප්‍රථම සිදු වූ ඇබැද්දිය හරිහැටි අසා දැනගන්නට සැරසුණෙමි. ඒක නං මාර විදහෙ වැඩක් . . . සම්මානනීය කැමරා අධ්යක්ෂ කේ. ඩී. දයානන්ද අප හා එක් වූයේ සිදුවීම විස්තර කිරීමටය. උදය හිටියේ ෂූට් එකේ. මේ ගින්දරී ගින්දරවලින් සෙල්ලම් දානවා. ඉතිං පොඩි සෙල්ලං ටිකක් දදා ඉන්දැද්දි එකපාරටම උදයගෙ ඔළුව ගිනි ගන්නවා මං දැක්කා. එක පාරටම ඒක උදයට තේරුණෙත් නැහැ. උදයත් තොප්පියක් දාලා හිටියේ. තොප්පියට ගිනි ඇවිලිලා. මං පැන්න ගමන් තොප්පිය අරන් වීසි කළා. එතකොට තමයි උදයට රස්නෙ තේරිලා ඔළුව ගිනි ගත්ත කියල දැනිල තිබුණේ. වාසනාවට එහෙම වුණේ . . . මගේ මුවින් ගිලිහුණේ ඉබේටමය. ඔව්. තව ඩිංගෙන් ඇඟට ඇවිලෙනවා නිවාගන්න බැරි තරමට. උදය පවසන්නේ ඒ සිදුවීම නැවත සිහිපත් කරමිනි. මේ චිත්‍රපටය රූගත කිරීම් බලන්න ගිහිං වාහන හප්ප ගත්ත තරමක් මං නං වෙන කිසිම චිත්‍රපටයක දැකල නැහැ. දිවා ආහාරයට එළවලු ව්‍යංජන පමණක් කන ඩොනල්ඩ් පවසන්නේ සිනහවෙනි. ඩොනල්ඩ් අද වන විට ලංකාවේ කාර්යය බහුලම සහය අධ්යක්ෂවරයා මෙන්ම ලඟදී තිරගතවීමට නියමිත ප්‍රවේගය චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. ‘ඇත්තටම මාර සුන්දර දවස් ගාණක් තමයි ගෙවුණේ. දවස් ගියා දැනුණේම නැහැ. වැඩෙත් ඉවරයි, හිතට වදේකුත් නැහැ. වේශ නිරූපණ ශිල්පී නලීන් ප්‍රේමතිලක සිටින්නේ හිත සතුටින් පුරවාගනිමිනි. ගෙවෙන හැම තත්ත්පරයක්ම විනෝදජනක ගින්දරී දර්ශන තලයේ කලබලයක් පෙනෙන මානයක නැත. උදයකාන්තගේ 19 වැනි සිනමා නිර්මාණය වන ගින්දරී කරලියට පැමිණෙන්නේ ‘බහු බූතයෝ’ ච්ත්‍රපටයේ තවත් දිගුවක් ලෙසටය. එදා බහු බූතයෝ හි හමු වූ බන්ටි සහ ලැන්ටි නම් පුවත්පත් කලාවේදීන් දෙදෙනා හා ටිකිරි නම් යක්ෂණිය වටා මෙවර ද කතාව දිවේ. බහු බූතයෝ හි ලැන්ටි හා බන්ටි නිවෙසින් පන්නා ගත් ටිකිරි යක්ෂණිය නැවතත් ඔවුන් දෙදෙනාගේ නිවෙසට පැමිණීමෙන් කතාව ඇරඹේ. මෙවර බන්ටි ලැන්ටි හා ටිකිරි අතරට ද ඇමැතිවරයකු ද සම්බන්ධ වේ. ලැන්ටි, බන්ටි, ටිකිරි හා ඇමති අතර වන සිද්ධිදාමය උදය මනාව ගොනු කරයි. මේ දර්ශන තලය රසයෙන් පිරුණු මනරම් වූ එකකි. මහේන්ද්‍ර, රොඩ්නි, පබෝධා, රිචර්ඩ් මෙන්ම චතුර, ජීවන් එක් වූ තැන රස සයුරකි. ඒ රස සයුරේ ගිලෙමින් තැනූ මේ මනරම් චිත්‍රපටය ඔබට ද ළඟදී හමුවේවි.
රංගන පිරිවර පබෝදා සංදීපනි (ටිකිරි), ලකී ඩයස්, මහේන්ද්‍ර පෙරේරා (ලැන්ටි), රොඩ්නි වර්ණකුල (බන්ටි), රිචඩ් මානමුදලි (චමින්ද) ශ්‍රියන්ත මෙන්ඩිස්, ලෝචනා ඉමාෂි, මැණිකේ අත්තනායක, රවීන්ද්‍ර යසස්, රත්නා සුමනපාල, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි චන්ද්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ්‍රීනාත්, ගාමිණී කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙරේරා, සමන් වීරසිරි, සමන් අල්මේදා, අසංක දේවමිත්ර, ශිරෝමිකා ප්‍රනාන්දු, රොෂාන් රණවන හා උදාරි වර්ණකුලසූරිය
කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය – උදයකාන්ත වර්ණසූරිය, කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද, සංස්කරණව හා ශබ්ද සැලසුම්කරණය – ප්‍රවින් ජයරත්න, සංගීතය – ආනන්ද පෙරේරා, ගීත රචනය – කැලුම් ශ්‍රීමාල්, වේශ නිරූපණය – නලින් ප්‍රේමතිලක, කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස්, සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න, ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය, නිශ්චල ඡායාරූප – මහේෂ් නිහාන්ත, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - තිලංක පෙරේරා (ඩීම්ස් ඇන්ඩ් මැජික් ආයතනය)
|