වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




මේ පොළව කෙතරම් සුන්දර ද මගෙ දූත් තනියම සිනාසෙයි

මේ පොළව කෙතරම් සුන්දර ද මගෙ දූත් තනියම සිනාසෙයි

ගේය පද රචක ධර්මරත්න පෙරේරා

ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

මෙවර ‘මතක ගී පොත’ට සිය මතකය ගෙනහැර පාන්නේ ධර්මරත්න පෙරේරායි. ‘සමු ගන්නදෝ ආයේ වෙන් වන්නදෝ’, ‘ළිහිණින් රෑන පියා සලන්නේ’, ‘නුඹෙ සුවඳ රැදුණු පුංචි කාමරේ’, ‘කන්දෙ විහාරේ’, ‘මාල හතක් බැඳ’ ආදී ගීත මඟින් අසන්නන්ගේ හදවත වැළඳ ගත් ඔහු ගීත සාහිත්‍යයට පන්සියයකටත් වඩා වැඩි ගීත ප්‍රමාණයක් තිළිණ කර ඇත. පුවත්පත්කරුවෙක් ලෙස ඇරැඹි සිය ගමන් මඟේ ‘තනි තරුව, ‘තොටුපළ අද්දර’, ’දඟකාර කවිකාරි’ ආදී නවකතා කිහිපයත්, ‘අන්තිමදා රෑ’ කෙටි කතාවත්, ‘දාසියකගේ කඳුළු’ ‘නිල් වන ලන්දේ’ යන ගීත සංග්‍රහයත්, ‘වටවන්දනාවේ ගිය අපේ අම්මා’ කාව්‍ය සංග්‍රහයත් සංදිස්ථාන වෙයි.

කුඩාකල පටන්ම මා පුවත්පත් හා පතපොත කියවන්නට දැක් වූයේ දැඩි ආශාවකි. එය කෙතරම් දැඩිවී ද යත් කවි ලියන්නටත් අනෙක් නිර්මාණ කරන්නටත් මා පෙලඹූයේ ඒ පුරුද්දය. එසේ මා ලියූ නිර්මාණ ලියන මේසය මත ගොඩ ගැසෙද්දී ඉන් කිහිපයක් ‘යොවුන් ජනතා’ පුවත්පතට යවන්නට ද මම උත්සුක වීමි. ඒ අතර ‘වනිතා විත්ති’යටද ඉන් නිර්මාණ කිහිපයක්ම යැවූ බව මට මතකය. පුවත්පත පැමිණෙනතුරු දින කිහිපයක්ම ඇඟිලි ගැන්න මම යොවුන් ජනතා පුවත්පත මිලට ගන්නේ ඒ නිර්මාණ පළ වී ඇත්තේ ද යන වග දැන ගැනීමේ සුබ සිහින මවමිනි. වරෙක එසේ නොවූව ද ඉන් අධෛර්යමත් නොවූ මම යළි යළිත් මේ කාර්යයේම නිරත වූයේය. අහම්බයෙන් දිනෙක මගේ පැතුම ඉටු වී තිබුණේ නොසිතූ විරූ ලෙසය. ඒ යොවුන් ජනතා පුවත්පතේ කවි පිටුවේ මගේ කවියක් පළ වී තිබූ දිනයයි. මගේ ඉහේ මලක් පිපුණාක් බඳු විය. දිගින් දිගටම කවි පළ වන්නට වූ පසුව හදිසියේම මා සොයා පැමිණියේ තැපැල් පතකි.

‘මෙන්න පුංචි මහත්තයටත් තැපැල් පතක්’

මා තැපැල් පත විවෘත කළේ රටක් රාජ්ජයක් ලද්දෙකු සේය. එහි වූයේ මා කිසි දිනෙක බලාපොරොත්තු නොවූ යෝජනාවකි.

‘හිතවත් ධර්මේ, පැමිණ මා හමුවන්න’

මීට, ධර්මසිරි ගමගේ

ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ධර්මසිරි ගමගේගෙන් ලැබුණු ඒ ආරාධනය මට පනින රිලවුන්ට ඉනි මං බැන්දා හා සමාන වූයේය. මන්ද කෙදිනක හෝ පුවත්පත මගේ ජීවිතය කර ගැනීමට මා සිතා සිටි හෙයිනි. ඉන්පසු නියම කර ගත් දිනෙක මා බම්බලපිටියේ ෆොන්සේකා පාරේ පිහිටි ධර්මසිරි ගමගේ වියතාණන්ගේ නිවෙසට ගියේ කවි පිටුවට කවි තෝරා දීම සඳහාය. සීතා අක්කා ද මා පිළිගත්තේ බොහෝ ආදරයෙනි. මේ අතර පුවත්පතට ලිපි ලියන්නත්, සංකල්පනා ලියන්නටත් මම අමතක නොකළෙමි. ලියන්නට පමණක් නොව සිනමාව ද මට එදා ප්‍රිය විෂයයක් විය. ඒ නිසා මම සිනමාව පිළිබඳ ඉගෙන ගැනීමට ද විවිධ පන්ති කිහිපයකට ගිය වග මගේ මතකයට පිවිසේ. එහිදි හඳුනා ගත් තැනැත්තකු වූ විජය ධර්ම ශ්‍රී මට වඩාත් ළං වන්නේ මා ලියන ලද සිනමා විචාර කියැවීම හේතුකර ගෙනය. මේ නිසා අප දෙදෙනා කොතරම් හිතවත් වූයේ ද යත් ඔහු කරන්නට නියමිත චිත්‍රපටයක සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කිරීමට ද මට ආරාධනා ලැබිණි.

පසුව ඒ චිත්‍රපටය නොකෙරුණ ද පුවත්පත් කාර්යාලයකට පය තබන්නට මට වාසනාව ගෙනෙන්නේ ඒ ඇසුරය. එකල ජනප්‍රිය යොවුන් පුවත්පතක් වූ කුමරි පුවත්පතේ ආරම්භය සිදු වූ අතර එහි සම්මුඛ පරික්ෂණය සඳහා මම ද සහභාගි වීමි. ඒ විජය ධර්ම ශ්‍රී දුන් ලිපිය ද අතැතිවය. මා යොමු වූයේ වර්තමානයේ ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන බන්දුල පද්මකුමාරයන් අසලටය. මා ලියූ බොහෝ දේ පරීක්ෂාවට ලක් කළ ඔහු ඒ ආරම්භක යොවුන් පත්තරයේ ලේඛකයකු ලෙස මා එහි සේවයට බඳවා ගත්තේ සිනාමුසු මුහුණෙනි. මට එලෙස සිටින්නට සිදුවූයේ ටික කලකි. එනම් එහි ඇති වූ පුරප්පාඩුවක් වූ ‘සබ් එඩිටර්’ තනතුර සඳහා එහි පැමිණෙන්න යැයි බන්දුල පද්මකුමාරයන් ගෙන් මට තවත් ආරාධනාවක් ලැබුණේ කලක පටන් මගේ සිතේ තිබුණු සිහිනය ද සැබෑ කරමිනි.

මේ යොවුන් පුවත්පතට ගිය පළමු කාලයේ මා සමඟ මිතුරු වූයේ අපූරු යහළුවෙකි. හේ ප්‍රණීත් අභයසුන්දරය. ආනන්ද විද්‍යාලයට ගිය පාසල් සිසුවෙකු වූ ඔහු එදා මා සමඟ බැඳි මිතුදම අද ද එලෙසම යැයි කිවහොත් අන් කිසිවෙකු උරනු නොවනු නියතය. එකල නිතරම මා අසල වූයේ පොතකි. එහි වූයේ මා ලියූ කවි සංකල්පනායි. දිනක් හදිසියේම එය පෙරළා බැලූ කළණ මිතුරු ප්‍රණීත් පැවසුවේ පුදුම කතාවකි.

‘ධර්මේ මේ තියෙන්නේ ගීත’

එතැනින් නොනැවතුණු ඔහු මා රැගෙන ගියේ අනිල් මිහිරිපැන්න අසලටය. ගුවන් විදුලියේ භක්ති ගීත පටිගත කිරීමකට සූදානම්ව සිටි ඔහුට අඩු වී තිබුණු ගී පද මාලාව සම්පූර්ණ කිරීමට මගේ ගීතයට හැකි වූ අතර ඒ ගීතය ගයන ලද්දේ එඩ්වඩ් ජයකොඩිය. මෙලෙස ඇරැඹුණු ගමන අද දක්වා පැමිණීම සිදු වන්නේ ඔහුගේ ඇසුරත් සමඟය. ඔහු මා ගීත රචකයෙකු ලෙස එදා එලෙස හඳුන්වා නොදෙන්නට මෙලෙස මා ඉස්මතු නොවන බව ද කිව යුතුමය. ඔහු ලියූ මේ ගීතය අසන මට ඒ අතීතයත් අපගේ අපූරු මිතුදමත් සිහිපත් වෙයි.

තුංමං හන්දියෙ අද මා පමණයි
අපෙ පන්තියේ වෙන කවුරුත් නෑ
මගෙ නැති බැරිකම් අඩුවක් වී නම්
තරහ වුණත් මම තරහා නෑ

අහන්න කරදර කඳුලේ දියකර
මට ඔබ දුන් දුක වැඩියක් නෑ
බිඳ දා ගියමුත් අපෙ ළෙන්ගතුකම්
ඔබ ගැන අහිතක් හිතන්න බෑ

පෙරහැර ගිය පසු හිත හිත ඔබ ගැන
හැඬුවා හිස බිත්තියේ ගසා
සංසාරේ හැටි ඔහොමයි කියලා
කියන්නේ ඇයි මට හිනාවෙලා

ගේය පද – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

සංගීතය – මහාචාර්ය සනත් නන්දසිරි

ගායනය – මහාචාර්ය සනත් නන්දසිරි

මේ ගීතයට මහාචාර්ය සනත් නන්දසිරිගේ හැඟුම්බර ගායනයත්, නාද රටාවත් අපූරු ආලෝකයක් සපයන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සියලු දෙනාගේ ඇසුර මගේ ජීවිතයේ නව මාවතකට යොමු කළේය.

පුවත්පතට තිබූ මගේ ඇසුර වඩාත් වර්ධනය වූවා මිස අඩු නොවූයේය. පුවත්පත රැකියාව තෝරා ගැනීම ව්‍යාපාරිකයකු වූ මගේ පියාගේ කැමැත්තට එතරම් ගැළපුණේ නැත. එහෙත් ඔහු අප අතරෙන් හදිසියේම සමුගෙන ගියේය. ඉන් පසුව මම එකල ජනප්‍රිය වූ තවත් යොවුන් පුවත්පතක් වූ ‘යුවති’ හි කර්තෘත්වය දැරුවෙමි. කාලයක් එහි සිටි මට අපූරු යෝජනාවක් ඉදිරිපත් වූයේ දෛවයේ සරදමකට මෙනි. ඒ බන්දුල පද්මකුමාරයන් ඔහු සිටි පුවත්පතෙන් සුමති පුවත්පත් සමාගමට ගිය අවධියයි. ඔහුගෙන් අඩු වූ හිස්තැන පිරවීමට මේ ජනප්‍රිය යොවුන් පුවත්පතට මට කතා කළ අතර මා එය බාර ගත්තේ දෛවයේ අරුම පුදුම සෙල්ලම පිළිබඳ ද සිතමිනි.

එහි සිටි දිනෙක පැරැණි යහළුවකු මා සොයා පැමිණියෙන් මම පුදුමයට පත් වීමි. ඔහු අත තිබුණේ කවි පොතකි. ඒ පොත මා අත තැබූ ඔහු, ඔහුට උදව් කරන ලෙස ඉල්ලා සිටියේ මේ අතරය. කවි පොතේ පිටු පෙරළු මම ඉන් කවි කිහිපයක් කියැවීමි. මගේ සිහියට එක්වර නැඟණේ නැති වූ කවි පොතය. ඊට කාලයකට පෙර බස් රථයේ ගමන් කළ මම මා අත නිතරම ගැවසුණු ඒ පොත මේ යහළුවා අත තැබුවේ පසුව ගන්නා අදහස පෙරදැරිවය. එහෙත් ඔහු පැවසුවේ මට එය දුන් බවකි. මා ලියූ කවි මේ පොතේ තිබෙනු දැක්ක ද කිසිවක් නොපැවසූ මම ඔහුට ඉත සිතෙන් උදව් කළෙමි.

කරුණාරත්න දිවුල්ගනේ ගයන, රත්න ශ්‍රී ලියූ, රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මේ ගීතය මගේ සිත වඩාත් සංවේදිතාවට පත් කරයි.

මගේ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කෙතරම් සුන්දර ද
මගෙ දූත් තනියම සිනාසෙයි
ඝන කළුවරට අප පෙම් කළොත්

ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි

ගේය පද – රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය – රෝහණ වීරසිංහ

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

හාන්සි පුටුවේ දිගා වී සිටින මගේ නෙතට හසු වූයේ වහලේ පීල්ලෙන් තාලයට වැටෙන දිය බිඳු එකින් එක තාලයකට ගලා හැලෙන අන්දමය. වරින් වර කඩා හැලෙන වැස්ස මේ ගලා යන්නේ මගේ සිතේ තෙරපෙන ශෝකය ද රැගෙන යැයි වරෙක මට සිතෙයි. ඒ අතරෙන් මට ඇසෙන්නේ කිංකිණි දියණියගේ පා සටහන් පොළොව මත පතිත වන අයුරුය. ඈ කුමන හෝ කාර්යයකට නිවසේ එහා මෙහා සෙමෙන් සක්මන් කරන්නේ මගේ සිතුවිලි දැහනට බාධා නොකරන ලෙසින් යැයි මට හැඟේ. ඇගේ ඒ පා සටහන ඔස්සේ මම අතීතයට පිය මනිමි.

පුෂ්පා මට පළමුව මුණ ගැසෙන්නේ මගේ මාමා කෙනෙක්ගේ මාර්ගයෙනි. ඒ ඔහු මට රැගෙන ආ මංගල යෝජනාවක් මඟිනි. පළමුව ඊට අකැමැති වූ මම පසුව දුරකථන ඇමතුම්වලින් ඈ හා හාද වීමි. ඊට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ඈ මගේ නිර්මාණ රසවිඳි රසිකාවක් වීම ද වන්නට ඇත. කාලයාගේ ඇවෑමෙන් මම ඇයව අපේ නිවෙසට කැන්දන් ආවෙමි. පුතෙකු හා දියණියක දී මගේ ජීවිතය සම්පූර්ණ කළේ ඇයයි. කුඩාකල මා සුරතේම වෙළී එහා මෙහා ගිය දෝණිගේ සුරතල් ස්වරය මට මේ ඇසෙන්නා සේය. ඇයට අප කෙතරම් ආදරය කළේ ද යත් එකල සිදු වූ සිදුවීමක් මගේ මතකයේ නින්නාද වෙයි.

දියණිය පාසල් ගියේ ඥාති ළමයෙකු සමඟය. පාසල් සේවයේ ආ ගිය ඇය පිළිබඳ දිනක් මට සැල වූ පුවත එතරම් සුබදායක නොවීය.

‘මහත්තයා දුව ගෙදර ආවේ නැහැ. එයා ඉස්කෝලේ හිටියෙත් නැහැ කියලයි ඩ්‍රැයිවර් කියන්නේ’

කුමරි පුවත්පතේ කතුවරයාව සිටි මට ලැබුණු ඒ දුරකථන ඇමතුම උන්හිටි තැන් අමතක කළේය. දියණියේ නුඹ නොමැති බව ඇසූ පණිවුඩය මගේ සිතේ ඇති කළ ශෝකය කෙතරම් දැයි නුඹ දන්නේ නම්, මම හිටි තැනම ගල් ගැසුනෙමි. මා සමඟ ඔබ සෙවීමට යෑමට පත්තර කන්තෝරුවේ සිටි මිතුරෙක් ද පැමිණි වග මට මතකය. අපි දෙදෙනාම මුළු පාසලේම නුඹව සෙවීමු. එනමුදු නුඹ අපගේ දෘශ්‍ය පථයට මුණ නොගැසුණු කළ දැනුණු වේදනාව මේ දැනුදු දැනෙන තරම් යැයි මට සිතෙයි.

‘ධර්මේ මේ ඉන්නේ දුව’

මා මිතුරා කෑ ගැසුවේ දුව සොයා ගත් සතුටටය. නුඹ පඩියක වාඩි වී වැඩිමහල් සොයුරියන් ක්‍රීඩා කරන ආකාරය බලා සිටි අයුරු මගේ දෑසේ දැනුදු විද්‍යාමාන වෙයි. මගේ ගිනිගෙන දැවුණු සිතට සහනයක් දැනුණේ ඒ මොහොතේ බව මම ඔබට පවසමි. ඒ කුඩා නුඹ දැන් උස් මහත් වී සිටින වග සැබෑවකි. තවමත් ඒ නුඹ වෙනුවෙන් හදවතේ නැඟුණු සොඳුරු ආදරය එලෙසම යැයි මට හැඟෙයි. තව නොබෝ දිනකින් නුඹ අප හැරදා යන්නේ යැයි හැඟෙන විට දැනෙන සිතුවිල්ල නිසා ඇතිවන දුක්ඛදායක හැඟීම මා වාවා ගන්නේ මේ ගීතය සිහිපත් කරමිනි.

‘අනේ මේ වගේ ගීතයක් ලියන්න මට තවමත් බැරි වුණානේ’ යන හැඟීම එවිට මා සිත පෙළයි. ඒ හැඟීමෙන් මඳකට හෝ සිත සනසා ගන්නේ විවාහ වුව ද නුඹ මෙහිම පදිංචිට එන බව මා සිතට සිහිපත් කර දීමෙනි.