වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




තණ්හා රතී රඟා ඔබ නැරැඹිය යුතුම චිත්‍රපටයක්

තණ්හා රතී රඟා ඔබ නැරැඹිය යුතුම චිත්‍රපටයක්

ආචාර්ය උමා වන්ගාල් අවධාරණය කරයි

නිලේන්ද්‍ර දේශප්‍රියගේ "තණ්හා රති රඟා" මෙතෙක් කල් දමා තිබෙන්නට ඇති ප්‍රශ්න වෙත දැන්වත් නියැලෙන්නට, බලකෙරෙන අභ්‍යන්තර චාරිකාවට කෙනෙකුව ගෙනයන කාව්‍යමය වීදි සිනමා පටයකි. මේ සමකාලීන, එහෙත් අකාලික සිනමා පටය තුළ අසාමාන්‍ය තත්ත්වයක පැටලී සිටින සාමාන්‍ය මිනිසුන් තුන්දෙනෙකුගේ ජීවිත කතාවක අධ්‍යාත්මික අත්දැකීමක් අප ඉදිරියේ රූපාත්මකව ඉදිරිපත්කෙරේ. ත්‍රීවීලරයක් මතින් ඔවුන් යන ගමන අපේ ගමනක් බවට පත් වේ.

ඒ ගමන තුළ දිගහැරෙන්න අපගේ ගැඹුරුතම බිය සැක, සෙස්සන්ගේ පිළිගැනීමට ලක් වීම අප තුළ ඇති සැහැසි ආශාව අපේ නීරස ජීවිත තුළ විචිත්‍රාද්භූතයට ඇති කැමැත්ත සහ අවසානයේ ගැළවුමක් ලැබීමට අපේ ඇති වුවමානාවයි. ඒ සියල්ලටමත්වඩා එය අප අවට ලෝකය කෙරෙහිසොයාගෙන යන ගමනකි. උපමහද්වීපය හරහා මානව හිමිකම් උල්ලංඝනයන් ගැන උණුසුම් සංවාද මතුවන අතරේ දුර්වල මිනිස් ප්‍රාණීන් වශයෙන් අපේ තේරීම්වල ඇති පෞද්ගලික සහ පොදු ප්‍රතිවිපාක වල සංත්‍රාසයේ තේමාව මේ චිත්‍රපටය තුළ අපට මුණගැසීම කාලෝචිතය. චිත්‍රපටයේ එය කරන්නේ මිතුරන් තිදෙනකු වූහ. නන්දිකඩාල් මුහුදු වෙරළේ නෑමට ආශා කළ සාමාන්‍ය තරුණයන් තිදෙනෙකුගේ සරළ කතාවක් ඇසුරෙනි.

විමල් ආලය කිරීමට සහ ආලය ලැබීමට ආශා කරන එහෙත් වගවීමෙන් බැඳීමට අදිමදි කරන චරිතයකි. ඔහුගේ පවුලට යැපෙන්නට සිදුවන හනමිටිකාර අයහපත් මාමා කෙනෙකු ඔවුන්ගේ ජීවිත තවත් දුෂ්කර කරති. ආත්මගෞරවය සහ ජීවිතය ගැටගසා ගැනීමේ අරගලයට ඔහු මුහුණ දීම බොහෝ තරුණයන්ගේ දෛනික ජීවිතයේ පොදු අත්දැකීමකි. කාන්සා බරිත ශිෂ්‍යයකු වන සුරාජ් අසහනයට පත් සංවේදී චරිතයකි. ජගත් තලයේ මෙන්ම දේශීය වශයෙනුත් බොහෝ විට දැකිය හැකි සුරාජ් අනන්‍යතා අර්බුදයක ගැලෙන තරුණ ව්‍යාකූලත්වයේ නිරූපණයක් යැයි කිව හැකිය. ඔහු වාර්ගික කෝවටත් නොගැළපෙන ස්වකීය කාලකන්නි පැවැත්මෙන් එහා ශ්‍රේෂ්ඨ අදහස්, තරුණ ජවය සහ තරුණ අදහස් ආදියෙන් ලෝකයා කෙරෙහි යම් බලපෑමක් කිරීමටත් අපොහොසත් චරිතයකි.

අප තුළ ලෙහෙසියෙන්ම අනුකම්පාව දනවන්නේ සිරිතුංගය. කුඩා පවුලක පියෙකු වන ඔහු, ජීවිතය ගැටගසා ගැනීමට නොයෙක් සුළු රැකියා කරමින් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ සිහිනය සැබෑකරගන්නටයි. පිස්තෝලය විසිකරන මොහොතේ සිට, අනිත් දෙන්නාට වඩා බුද්ධිමත් මෙන්ම, අහිමිවීමට දේවල් ඇත්තෙන්ම ඇති තැනැත්තා ද, ඔහු බව අපට පසක් වෙයි. හිංසනය සහ භීතියේ පරිසරය තුළ ජීවත් වන සිංහල දෙමළ, බෞද්ධ කිතුනු , හින්දු සහ මුස්ලිම් වර්ගයා ගෙනයන කායික සහ අධ්‍යාත්මික අරගලයන්හි උද්වේගයන් විසිතුරු භූ දර්ශනයක් හරහා සෑම තණකොළ ගසක් අස්සේම සෑම සාරවත් කුඹුරක් මැද්දේම සහ හන්දියක් හන්දියක්ගානේම පෙන්වන අනතුර සැඟව ඇති වගය. කෙනෙකු සැමවිටම සිටින්නේ නිවැරදි මඟ තෝරා බේරාගත යුතු මංසන්දියකය. හරියට මේ චරිත තුන කරන්නා සේ , පිස්තෝලය තබාගත යුතුද, විසිකළ යුතුද, සාමයේ මාවත ගත යුතුද, හිංසනයේ මාවත ගත යුතුද, ජීවත්විය යුතුද, වැනසී යා යුතුද, අසීමිත උද්යෝගයෙන් ලාමක වන තරමටම තිදෙනා පටන් ගන්නේ වන්දනාවක් වැනි ගමනකි. අහිංසක පිවිතුරු සිතිවිලි සහිත උද්දාමයෙන් පටන්ගෙන අඳුරු අභියෝග මධ්‍යයේ තමන්ගේ මිතුරුකම රැකගනිමින් සිහින සාක්ෂාත්කරගැනීමේ අරගලයක නිරතවන්නට වීම ඇත්තෙන්ම අපූරුය.

විමල් තුළ ඇති ළමයෙකුගේ වන් චාම්බව කෙනෙකුගේ සිත් ගනී. බිරිඳ සහ දරුවන් කෙරෙහි නොමඳව සෙනෙහසපාන සිරිතුංගගේ ලොකු දත් වල සිනහව අපවත් සිනහාගන්වයි. මිතුරන්ට සේම තමාගේ ජාතියටත් දේශප්‍රේමය ප්‍රදර්ශනය කිරීමේ ලෝලයෙන් පෙළෙන අනාත දරුවකුවන් සුරාජ් අපේ අනුකම්පාව දිනාගනී. ඔවුන් හිතුවක්කාර සහ ආවේගීවන බවත් අවසානයේ ප්‍රශ්නවලට පැටලිය හැකිබවත් නන්දිකඩාල් වෙරළේදී තුවක්කුව හමුවීමත් සමඟ අපට හැඟවෙයි. ඉන්පසු ආපසු එන ගමනේදී පසුකර එන ඕනෑම මුර පොළකදී මෙය හසුවිය හැකි වේයැයි යන අවදානම නිරතුරු චකිතය දනවයි. තුවක්කුව වීසිකරන්න යැයි සිරිතුංග ඉල්ලා සිටියත් ඊට පටහැනිව ඔවුන් එය විසි නොකරන්නට තීන්දු කිරීම සහ තමාගේ දරුවාද අහිමිකරගැනීමේ මහ අබග්ගයට සිරිතුංගට මුහුණදීමට සිදුවීම සහ ඒ අහිමිවීම අස්සේ පොලීසියේ ප්‍රශ්න කිරීමට භාජනය වීමත් යන කරුණු ඔවුන් අතරේ සිටි වඩාත් සිහිකල්පනාවෙන් යුතු පුද්ගලයාත් ඔහුම වීමත් සමඟ එකට ගත්විට අපේ සිත් කම්පාවට පත් කරවයි.

සැබෑ චරිත රාශියක් විනිශ්චයකින් තොරව නිරූපණය කෙරෙන ආකාරය ඉතා සියුම්ය. සෑම ශ්‍රී ලාංකිකයකුගේම මෘදු ස්වභාවය නිරූපනය කරන සංගීතකරුවන් හමුදා නිළධාරීන් සහ තවමත් ඔවුන් තුළ පෙනෙන්නට තිබෙන බිය මුසු කෝපය සහ නොඉවසිල්ල මිතුරන් තිදෙනාට කෑම දී පෙන්වන ඔවුනගේ මානුෂික පැත්ත නොදැනුවත්කමින් බිම්බෝම්බයකට හසුවීමටයෑමේදී ඔවුන්ව බේරාගන්නා භටකණ්ඩායම ,භීතිය සහ වැඩවසම් චින්තනය මත පෝෂිත සමාජයක දූෂණය සහ දෙපිටකාට්ටුකම පෙන්වන පොලිස්කාරයා , තිදෙනා මුහුදු වෙරළේ විනෝද වීමට ගන්නා ප්‍රයත්නය , තරුණ කෙල්ල පස්සෙන් යන විමල් (පැහැදිලිවම මනිරත්නම් සහ ඔහුගේ චිත්‍රපට ගීත ප්‍රබල බලපෑමක් කරතැයි හැඟෙන) මෘදු සහ සිහිනමය ගීත සුරාජ් සිය පෙම්වතිය සමඟ ගෙවන සුන්දර මොහොත සහ සිරිතුංග කාලයට ඔහේ යන්නට දී බලාගෙන සිටීම ආදී කොටස් සැබෑ ජීවිතයේ රැදේ.

අනෙක් කොටස් ස්වප්නමය රූපමය තලයකට පිවිසෙන්නේ මේ කතාව සමඟ තමන් යායුත්තේ කොතනකටදැයි සිතා ගන්නට ප්‍රේක්ෂකයාට ඉඩ හැරීමෙනි. වාහනයේ ගමනත් මා අවකාශ ගත කරන්නේ එලෙසිනි. වංගු සහ හැලහැප්පිලිකාරී එම ගමන රූපාත්මික අධ්‍යාත්මික සංචාරයකට අපම හෙමිහිට කැඳවන අතර එහි වේගය අපේ ගැඹුරුතම ගුප්ත අගාදයන් දෙස බැලීමට සහ එදිනෙදා බිය සංකා හඳුනාගැනීමට අප පොළඹවන්නා වූ දර්ශණ වේ. රථය තුළත් නිවස තුළත් බුද්ධරූපය ස්ථායිව පවතී.විමල් සහ සුරාජ් ඔවුන්ගේ කෝපය සහ අසරණභාවය, අපේක්ෂා භංගත්වය ඉදිරියේ තුවක්කුව එළියට ගන්නා ආකාරය ලස්සනට රූපගත කොට ඇති පරෙවි කූඩුවේ දර්ශනය සමගත් එය විරාජමාන වේ.

අහිංසාව මුළුමනින්ම නොපෙනී ගොසිනි. කෝපය සහ ලේ හැලීම අපේ ජීවිත තුළ හැම අස්සක් මුල්ලක් නෑරම සිටි ගිනි අවි සමඟ කුඩා දරුවන්ගේ සෙල්ලම පෙන්වන සහ එවැනි සෙල්ලමක අවධානමට ඔවුන්ව විසංවාදී කරන ප්‍රචණ්ඩ දර්ශන එය නරඹද්දී උගුරේ ගුලියක් හිරවෙන ගතියක් මතු කරයි. තමාගේ ගමන නිරර්ථක බව දැන දැනත් සිරිතුංග මහ වැස්සේ කෝපයෙන් රථය පදවාගෙන යද්දී අපේ ඇස්වලට කඳුළු උනන බව හැඟේ . අප සියල්ලන්නට විඳගැනීමට සිදුව ඇති මහා විනාශය පිළිබඳ සාමූහික ශෝකයට ආදේශවීමට එම වැස්සට එමගින් ඉඩ හැරේ. රඟපෑම් සොබාවිකය.කිසිවිටෙක එය අසත්‍ය ප්‍රබන්ධයමය වස්තුවකයැයි අපට නොහැඟේ. අපි ඒවා චරිත වශයෙන් භාරගමු. ඒ අර්ථයෙන් නළුවර්නය පරිපූර්ණය. ධනුෂ්ක ගුණතිලකගේ කැමරාව දර්ශන තලවල ඇති සුන්දරත්වයසේම භයානක කමත් අගයට හසුකරගනී. බාහිර දර්ශනවල සෑම රූපරාමුවක්ම සෝබන වීම තුළ දර්ශනීය ශ්‍රී ලංකාව එය තවත් උද්දීපනය කරයි. ඒ අතර පවතින තත්ත්වයන්හි පවතින යථාව නාගරික දර්ශන හරහා එළියට පනී. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ තිර රචනය අපව ආත්ම සාක්ශාත්කරනයක් වෙතට කැඳවයි. කතාවේ හැගීම් බර පීඩාව

වෙතට අපගේ අවධානය යොමු කරවීමට මිස ගයත්‍රිගේ සහ අනුපමා කේමදාසගේ සංගීතය කිසිවිටෙක චිත්‍රපටය තුළට අනවසරයෙන් ඇතුළුවන්නේ නැත. රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණය මනා මානයක පිහිටයි. එය අනවශ්‍යසේ ඉස්මතු නොවන සේ චරිත සමඟ සැරිසැරීමට අපට ඉඩ හැරේ. චිත්‍රපටය සමස්තයක් වශයෙන් ගත්කළ අභ්‍යන්තරිත හා බාහිර ජීවන සංචාරයන් කෙරෙහි ආවර්ජනාවකට අපව කැන්දන දුක්මුසු කමනීය සහ උකටලී ගියක් වැන්න. අවුරුදු දහයකට පසු කිසිවක් වෙනස්ව නැති යථාර්ථයේ සෝචනීයත්වය විදහාපාන අවසාන රූපරාමුව තුළින් ගෙනෙන ස්ත්‍රී පුරුෂ පර්යාදර්ශය පරම්පරාවක් වශයෙන් අපට ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි.

ගැහැණිය වූ කලී ගැටුමේ හේතුව වෙනුවට ගැටුමේ බිල්ල නොවන්නීද?. සෙල්ලමට වුවත් සහෝදරයාගේ වෙඩිපහරට ලක්වන දැරිය භාව්‍යමය සහ මනෝමය කම්පනය සමඟ ඔට්ටුවීමට තල්ලුකෙරෙන සිරිතුංගගේ බිරිය මස්සිනා කෙනෙකුගේ අඩත්තේට්ටම් වලට මුහුණ දෙන විමල්ගේ මව යථාර්ථය සමඟ මුහුකුරා නොයන පෙම්වතුන් කෙරෙහි වන ආලය අතහැර දැමීමට සිදුවන අසරණ පෙම්වතියන් දෙන්නා සහ සිය පුතාගේ හුදු පැවැත්ම පවා ප්‍රතික්ෂේප කොට නිහඬව විඳවන සුරාජ්ගේ මව ආදී සියල්ලන් තම ජීවිතවල සිටින ඒ පිරිමින්ගේ නිෂ්ඵලත්වය සහ මුග්ධභාවය ගැන දැනුවත්ව සිටින සහ ප්‍රචණ්ඩත්වය හෝ කෝපය මැඩලීමට අසමත් අසරණුන්ය. මිනිස් පැවැත්මේ හුදු වියමනම ප්‍රශ්න කරන සිනමාකරුවා වගකීම් විරහිත මේ පිරිමින් තිදෙනාගේ කතාව හරහා අප සියල්ලන් තුළ නින්නාද දෙන යුද්ධය හා සාමයේ කතාන්තරයක් වියමන් කරයි. හාත්පස සරණ ගිජුළිහිණියන් සමඟ හොල්මන් කරන්නේ මරණයේ අවතාරයකි.ශාන්තව වෙරළට කඩාවඳීන රුදුරු දළ රළ වූ කලී අවශේෂ පරිසරයේ උගුල මගින් මෙන්ම තමන්ගේ හිතුමතේටත් පිරිමි තිදෙනා ඇතිකරගන්නා නොවැළැක්විය හැකි විනාශයක අගාධයට හෙමිහිට මුත් තිරසාරවම අප පල්ලම් බසින බව කල්තියා ඇඟවීමකි.

අපේ තීරණ සහ අපේ වරද සහායකත්වය සමඟ මර්දනීය පියවරයන් සම්බන්ධයෙන් සහ අපම තීරණයක් ගත යුතු අවස්ථාවේ නිශ්ශබ්දව සිටීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් වශයෙන් අපවම ප්‍රශ්න කරගැනීමට මේ මගින් අපට බලකෙරේ. සිනමා විද්වතියක සහ සිනමා ගුරුවරියක වශයෙන් ලෝකය පිළිබඳ මගේම දැක්ම දෙස ආපසු හැරීබැලීමට සහ මිනිස් වර්ගයා කෙරෙහි තැබූ බලාපොරොත්තු පුනරීක්ෂණය කිරීමට මේ චිත්‍රපටය හරහා මා තල්ලු කෙරුණි. මොහොතක් නතර වීමේ විරාමයක් එය අපට සපයයි.

මිනිස් සමාජයන් වශයෙන් අප යන්නේ කොයිබද , ස්ථාවරයක් ගැනීමට දැනටත් ප්‍රමාද වැඩිද? අවුරුදු දහයක ඇවෑමෙන් ඔවුන් හිරෙන් එන බව දකින විට සියල්ල අහිමිව නැති බව අපට වැටහේ. එහෙත් වෙනසක් ඇතිබවක්ද නොපෙනේ. ඒ වෙනස ඇත්තේ අප අතේය. අපේ ජීවිත වෙලා පවතින යථාව, සිහින , සැබෑව සහ බොරුව හසුකරගන්නා අනියම් ආකාරය අපව විශ්මයට පත් කරයි. අපව සබුද්ධික කිරීම ගැන අප තුළ හැඟීම් දැනවීම ගැන සහ සියල්ලටම වඩා අපව සිතන්නට පෙළඹවීම ගැන නිරේන්ද්‍ර දේශප්‍රිය ඔබට ස්තූතියි.

ඉන්දියාවේ ප්‍රසාද් සිනමා පාසලෙහි මාධ්‍ය සහ අධ්‍යක්ෂකවරුන් පුහුණු කිරීමේ ආචාර්ය උමා වන්ගාල් ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා විචාරිකාවක් වේ. තණ්හා රති රඟා චිත්‍රපටය පිළිබඳ ඇය විසින් ලියන ලද සිනමා විචාරයක සිංහල අනුවර්තනය අප මෙලෙස ගෙනඑනුයේ යහපත් චිත්‍රපටයකට ගෞරව කිරීම පිණිසය.