වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




මං කරන්නේ මට ඕන දේ

මං කරන්නේ මට ඕන දේ

රොමේෂ් සුගතපාල සමඟ කලකට පසු කතාබහක්

රොමේෂ් සුගතපාල යනු නව පරපුර නියෝජනය කරන අතිශය ජනප්‍රිය ගායකයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. වසන්තයේ සිත සැලුනා ගීතයෙන් ඇරැඹි ඔහුගේ ගීත පෙළ දිගු දෑස, සිනාසෙන්න බැහැනේ ඇතුළු ජනප්‍රිය ගීත රැසකින් සමන්විතය. සංගීතය තම වෘත්තීය කොට ගත් අතලොස්සක් පිරිස අතරින් පෙරමුණේ සිටින රොමේෂ් කාලෙන් කලෙට අලුත් ගීත රසික රසිකාවන්ට දායාද කරන්න උපන් හපනෙකි. ඉතා දිගු කලකට පසු රොමේෂ් සරසවියට ගොඩ වැදුනා. ආගිය කතා එක්ක ඔහු තම අලුත් ගීතය ගැනත් කතා කළා. එහිදී ඇතැම් කරුණු ගැන රොමේෂ් කතා කළේ ටිකක් සැරට. අහලා බලමු රොමේෂ් මෙතැන් පටන් කියන්නේ මොනවද කියලා.

රොමේෂ්ගේ අලුත්ම ගීතය මේ දවස්වල හුඟක් ජනප්‍රියයි. මොකද හිතෙන්නේ?

ඒකෙ නම ‘හමු නොවනා’ මගෙන් රසිකයන්ට දායාද කළ පෙර ගීත මෙන්ම මෙය ද විරහ ගීතයක්. ගොඩක් අය රිඟිං ටෝන් සඳහා යොදාගෙන තියෙන්නේ මේ ගීතය. මං ගයන සැම ගීතයක්ම රසිකයෝ විසින් ජනප්‍රිය කරනවා. ඒක මා ලද පිනක්.

විරහ ගීත ගයන්නේ රසික රසිකාවන් වැඩිපුර ප්‍රමාණයක් තමා වටා රොක් කර ගන්නද?

එහෙමත් කියලම කියන්න අමාරුයි. මොකද මං මීට පෙර ගැයූ නිලුපුල් මැණිකා, නීල දෑසේ වැනි ගීත විරහා ගීත නෙවෙයිනේ. ඒත් ඒවා ජනප්‍රියයිනේ.

ඔබ ඒවා සඳහා හඬ මුසු කළේ ඒ දිනවල ඔබත් එක්ක හිටපු ලක්ෂාන් සමඟ. මං ඇහැව්වේ ලක්ෂාන් ඔබෙන් නික්ම ගිය පසු ඔබ ගැයූ ගීත ගැන. ඒවා තනිකරම විරහා ගීිතනෙ?

විරහ ගීත ජනප්‍රියවීමේ ප්‍රවණතාවය වැඩියි. මගේ හඬටත් ඒ වැනි ඒවා සෙට් වුණා.

සමහරු කියනවා ඔබ ගීත ගයනවා නෙවෙයි ගයමින් අඬනවාලු?

ඒක ඉතින් එක එක් කෙනාගේ බුද්ධි මට්ටම් අනුව සිදුවන දෙයක්නේ. ඔය ඔක්කෝටම පිළිතුරු සපයනවා මගේ ඊළඟ ගීතයෙන්.

ඒ කිව්වේ?

මං ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ගීතය විරහ ගීතයක් නෙවෙයි.

ඔබටත් දැන් හිතිලද තියෙන්නේ විරහ ගීත ගැයුවා ඇති කියලා?

නැහැ. විරහ ගීත කොපමණ එළිදැක්වුවත් එවා රසික රසිකාවන්ට එපා වෙන්නේ නැහැ. මොකද විරහව කියන්නේ පොදු මාතෘකාවක්. හැබයි වෙනසකටත් එක්කයි මේ ගීතය කරන්නේ. වීඩියෝවෙන් ද වෙනසක් වේවි.

රොමේෂ් විවාහ වුණායින් පසුවත් ඔබට ගැහැනු ළමයින්ගේ දැඩි ආකර්ෂණයක් තියෙනවා. මොකක්ද එහි රහස?

මං හිතන්නේ ඒකට හේතුව මගේ හඬ.

ඔබ ඔහොම කිව්වට ගායකයකු වන්න පෙර සිට පාසල් වියේ සිටියදීම ඔබට ගැහැනු ළමුන්ගේ ඇල්ම බැල්ම තිබූ බව මට ආරංචි වුණා?

කොහොමත් පාසල් යන කාලේ ඉඳලා මං සංගීත කටයුතුවල යෙදුනනෙ. එතකොට ඉතින් අනිත් අය අතරේ මං විශේෂ කෙනෙක්. ඒ නිසා ගැහැනු ළමයි බලන්න ඇති. නමුත් මං කාටවත් ළං වුණේ නැහැ මගේ බිරියට හැර.

මා දන්නා පරිදි රොමේෂ් ක්ෂේත්‍රයේ ගොඩක් නවකයින්ට අත හිතදුන් කෙනෙක්. හැබැයි ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඔබගේ නම කියන්නවත් කැමැති නැහැ?

ඔබේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. අද ක්ෂේත්‍රයේ ජනප්‍රිය පුද්ගලයින්ට මං ඉදිරියට යන්න පාර පෙන්නුවා. ඉන් අතැමෙකුට මං මගේ අතින් පවා වියදම් කරගෙන කන්න බොන්න පවා දීලයි ක්ෂේත්‍රයට ගෙනාවේ. මං කොහොමත් කාගෙන්වත් නම්බුනාම බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි. අනේ මාව මතක් කරන්න සිතෙත් නැහැ, ඒ අය අද කාල ඇඳල හොඳට ඉන්නවා නම් මට ඒ ඇති.

එම තත්ත්වයට ඔබ වගේම ඔබේ පියාත් මේ වන විට මුහුණ දෙමින් සිටිනවා?

හරියටම හරි. මගේ තාත්තා කඩුගන්නාවේ කේ. එම් සුගතපාල. සුගතපාල මාස්ටර් කිව්වාම තමයි වැඩි දෙනා දන්නේ. ඔහු සුප්‍රකට සංගීත ගුරුවරයෙක්. තාත්තාගෙන් ඉගෙන ගත්තු ඉතා ප්‍රවීණ ඉතාම ජනප්‍රිය සම්භාව්‍ය ගායකයෝ රැසක් අද ලංකාවේ ඉන්නවා. ඒ කිසි කෙනෙකුට මතක නැහැ ඒ අයට ස්වර සප්තයේ මුල ස්වරය ‘ස’ ඉගැන්නුවේ සුගතපාල මාස්ටර් කියලා.

සුගතපාල මාස්ටර් ඒ ගැන සංවේගයෙන් ද කතා කරන්නේ?

කොහෙත්ම නැහැ. තාත්තාගේ ගෝල බාලයින්ගේ පපුව දන්නවා ඇතිනෙ. ටියුලින් ජයරත්න මහත්මයා විතරයි තාත්තාට උපහාර උත්සවයක් පවත්වලා සම්මානයක් හරි දුන්නේ. මම කියන්නේ හැමෝටම එහෙම කරන්න නෙවෙයි. අඩුම ගානේ තාත්තා උන්නද මළා ද කියලාවත් එතුමාගේ ගෝලයෝ දන්නේ නැතුව ඇති. තාත්තට එහෙම නම් පුතාට කොහොම වෙයි ද කියලා හිතාගන්න පුළුවන්නේ. මම නම් හිතන්නේ තාත්තාගෙන් බිහිවුණු හොඳම ගෝලයා මං කියලා. ඒ ගෝලයා තාත්තාව බලා ගන්නනවා හැමදාම.

තාත්තා සංගීතඥයෙක් නොවුණා නම් ඔබ ගායකයකු නොවේවිද?

ඒක ගැන නම් හරියටම කියන්න අමාරුයි. ඇතැම් විට දෛවය විසින් මාව ගායකයකු බවට පත් කරාවි.

රොමේෂ් ප්‍රසංග වෙදිකවෙත් මේ දවස්වල නැතුවම බැරි ගායකයකු වී හමාරයි. මොනවද කියන්න තියෙන්නේ?

හැමදාමත් මට ෂෝස් තියෙනවා. හැදාමත් මං ඒවාට සහභාගි වන්නේ සිංදු තුනක් කියලා වේදිකාවෙන් බහින්න. නමුත් ස්ටේජ් නැග්ගට පස්සේ ඒවාට අමතරව තවත් කිහිපයක්ම කියන්න වෙනවා.

ඒ දිනවල සංගීත කටයුතුවල නියැලුණු ලක්ෂාන් තවමත් විදෙස් ගතවෙලා ද ඉන්නේ?

ඔව්.

ඔහු ලංකාවට ආවොත් නැවතත් රොමේෂ් ලක්ෂාන් සුසංයෝගය නිර්මාණය වේවිද?

මම හිතන්නේ නැහැ ඔහු ආයෙත් ලංකාවට ඇවිත් සංගීත කටයුතු පටන් ගනියි කියලා. මේ වන විට මං රොමේෂ් සුගතපාල කියන මගේ අනන්‍යතාවය ගොඩ නඟාගෙන ඉවරයි. බොහෝ විට මින් ඉදිරියටත් එහෙම වේවි.

බිරියත් එක්ක යුග ගීතයක් ගැයුවේ ඇයි? ඇයවත් ගායිකාවක් ලෙස ඉදිරියට ගේන්නද හදන්නේ?

මට හිතුණා ඇයත් සමග ගීතයක් ගයන්න. එහෙම කළා. ඒක එතනින් ඉවරයි. ආයෙත් ගීත කියන්නේ නැහැ ඇයත් සමඟ. අහලා රස විඳින අය කියනවා ගීතය හොඳයි කියලා. මූණට නරක කියන අය අඩුයිනෙ ලංකාවේ.

ඔබේ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු එහෙම කොහොමද?

හොඳින් කරගෙන යනවා. ඒකේ නම රොමේෂ් විත් ටියුන්ස්. මගේ ටියුන්ස් ස්ටුඩියෝ එකේ ගීත නිර්මාණය කරනවා බොහෝ නවකයින් වෙනුවෙන්.

ප්‍රසංග වේදිකාවේදී ඔබ ගීත ගයනවාත් එක්ක ගීතය අලංකාර කර ගැනීමට ආලප් යොදනවා. අනෙක් ගායකයන් අතර ඔබට විශේෂ තැනක් ගන්න ද එහෙම කරන්නේ?

භාරතයේ සංගීත ශිල්ප ක්‍රමවල ආලප් තියෙනවා. ඒවා මට අයිත් දේවල් නොවේ. ඉතින් අනිත් ගායකයින්ටත් පුලුවන් තමන්ගේ ගීත මැදට ඒවා යොදන්න. වැඩේ කියන්නේ එහෙම කවුරුවත් නොකරන එක.

දිගු දෑස ගීතයේ රිඟින්ටෝන් ආදායමින් සුඛෝපභෝගී කාර් රථයක් ගත්තා කියන්නේ ඇත්තද?

මට ලැබෙන මුදල්වලින් කරන්නේ මට ඕනෑ දේනේ. අනික ඒවා අසාධාරණ විදිහට මං උපයන මුදල් නෙවෙයිනේ. ඒක හින්දා ඔය ප්‍රශ්නයට පිළිතුරු දෙන්න අමාරුයි.

රොමේෂ් ගොසිප්වලට බියක් දක්වන්නේ ඇයි?

ගොසිප්වල යන්නේ ඇත්ත නෙවෙයි. පුවත්පත්වල යන අපේ ආර්ටිකල් විකෘති කරලනේ ඒවයේ දාන්නේ. මගේ නමට හානි වෙනවට මං ආස නැහැ. ගොසිප් හැදෙන්නේ ජනප්‍රිය පුද්ගලයින්ට. නමුත් එමඟින් වෙන හානිය බරපතලයි.