වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ නිර්මාණ සඳහා තැනක් නැතැයි කියන්නම බැහැ

හොඳ නිර්මාණ සඳහා තැනක් නැතැයි කියන්නම බැහැ

‘තීර්ථ තරණය’ ගෙන එන චන්දන හේවාපතිරණ

අපේ කාලයේ වෙනස් වූ අලුත් නිර්මාණ ගෙන එන අය නම් දකින්නට හැක්කේ අතළොස්සක් පමණයි. චන්දන හේවාපතිරණ ඒ අතළොස්සක් අය අතුරෙන් අයෙක්. මේ කාලය තුළ ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයට ඔහු දායාද කළ කලාත්මක හරවත් නිර්මාණ බොහොමයි. අත්භූත ලාම්පුව, සිහින පහුරු, සුදු හංසයෝ, හිට් විකට්, ජීවිතය හොරු අරන්, කුණු දැමීම තහනම් වැනි වු නිර්මාණ සම්මාන සඳහා නිර්දේශ වෙමින් සම්මාන දිනමින් පසුගිය කාලය පුරාවට එය ඔප්පු කර පෙන්වූවා. මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් තීර්ථ තරණය ඔබ වෙත ගෙන එන චන්දන සමඟින් අපි ඒ ගැන කතා කරමු.

තීර්ථ තරණය වර්තමාන ටෙලි නිර්මාණ අතරේ වෙනස් වූ නිර්මාණයක්?

මම කවදත් වෙනස් නිර්මාණ කරන්න උත්සාහ කරන අධ්‍යක්ෂවරයෙක්. තීර්ථ තරණයත් ඒ ඔස්සේ නිර්මාණය වූ ටෙලි නිර්මාණයක්. මිය ගිය සොහොයුරාගේ පවුලේ බර දරන ගුරුවරයෙක් වටා තමයි මෙය ගොඩ නැඟිලා තියන්නේ. සිනහව කඳුල ආදී මේ හැම දෙයකම යථාර්ථය තේරුම් ගත් ඔහුගේ වෑයම තම සහෝදරයාගේ දියණියන් තිදෙනාගේ ඉදිරි ජීවිතය සාර්ථකත්වය උදා කරවීමයි.

තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු වූ කරුණක් තියෙනවා. මෙහි නිෂ්පාදනය කළේ ලාල් කුලරත්න විසින්. ඒ වුණත් මෙහි තිර රචකයා හා අධ්‍යක්ෂවරයා ලෙසට ඔහුගෙන් මට කිසිම බලපෑමක් එල්ල වුණේ නැහැ. නළු නිළියන් තෝරා ගැනීමට පවා සම්පූර්ණ නිදහස ලබා දුන්නා. ඒ පිළිබදව මම මගේ කෘතවේදිත්වය ඔහුට පුද කළ යුතුයි.

කලා ක්ෂේත්‍රයට පිවිසි ගමනේ අරම්භය යළි සිහිපත් කළොත්?

පාසල් ජීවිතයෙන් පසුව මම ටෙලි සිනේ ආයතනයට සම්බන්ධ වුණේ ක්ෂේත්‍රය වෙනුවෙන් වූ බැඳීම නිසාමයි. ඊට පසුව අධ්‍යක්ෂවරු රැසක් යටතේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කළා. ඒ ඔස්සේ මට ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයක් ලබා ගන්න අවස්ථාව ලැබුණා. මගේ මුල්ම අධ්‍යක්ෂණය වුණේ හිරුබට අහස නම් ටෙලි චිත්‍රපටයයි. ඊට පසුව අත්භූත ලාම්පුව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා. එදා සිට අද දක්වා පැමිණි මේ ගමනේදී තවත් හරවත් නිර්මාණ රැසක් ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කරන්න අවස්ථාව ලැබුණා.

නිර්මාණකරණයේදී ඔබ තෝරා ගන්නා වූ විශේෂ තේමාවන් තියෙනවාද?

මම කැමති හැමදාම විවිධ තේමා යටතේ නිර්මාණ එළිදක්වන්න. ඒ අතරේ ප්‍රහසන භාවාත්මක ආදි වගේම පොඩි දරුවන් වෙනුවෙන් සුරංගනා කතා ද නිර්මාණය කර තියෙනවා. ඒකාකාරී ආකාරයෙන් කතා ඉදිරිපත් කරන්න මට උවමනා නැහැ. මම අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය බොහොමයක් තිර රචනය කළෙත් මවිසින්මයි. නිර්මාණකරනයට එය විශාල පහසුවක්. මම කවුරුත් දකින්නේ නැති දේ හොයන කෙනෙක්. ඒ නිසා මා අතින් නිර්මාණය කෙරෙන්නේ එකිනෙකට වෙනස් නිර්මාණ.

නව ටෙලි නිර්මාණ කළත් විකාශනය කිරීමට ඇති වෙන අපහසුතා පිළිබඳ බොහෝ දෙනා චෝදනා නඟනවා. ඔබත් එය සමඟ එකඟද?

එවැනි ගැටළු නැතුවාම නෙවෙයි. ඒ වුණත් හොඳ නිර්මාණ සඳහා තැනක් නැහැ කියන්න බැහැ. හොඳ නිර්මාණයක් කළොත් සටන් කරලා හරි විකාශය කර ගන්න පුළුවන්.

මෙගා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ මතය මොන වගේ එකක්ද?

මෙගා එපා කියලා මම කියන්නේ නැහැ. මෙගා හොඳයි අපූරු නිර්මාණ කෙරෙනවා නම්. අද වැරැද්ද වෙලා තියන්නේ හැම මෙගා ටෙලි නාට්‍යයක්ම එක වගේ වීමයි. ධනවත් ගැහැනු ළමයෙක් දුප්පත් කොල්ලෙකුට ආදරය කිරීම, කුස්සියේ ජෝකර් වැනි දේ තමයි අද මෙගා ටෙලිවල තියෙන්නේ. වෙනස් ආකාරයේ නිර්මාණ අලුත් විදියට හිතන දේ තියෙනවා නම් මෙගා ටෙලි නාට්‍ය මීට වඩා හොඳ වේවි. ඒ වගේම විකාශය නොකිරීම ගැන චෝදනා නඟන්නත් ඕනෑ වෙන එකක් නැහැ.

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදියට වර්තමාන ටෙලි නාට්‍ය කලාව ඔබ දකින්නේ කොහොමද?

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහතා වරෙක පවසා තිබුණා අද ටෙලි නාට්‍ය කලාව වලපල්ලට ගිහින් කියලා. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. කලාව කියන්නේ අපූරු දෙයක්. අද බොහොමයක් නිර්මාණ වානිජ අරමුණු පසුපස යන ඒවා බවට පත් වෙලා. තරුණ පරපුරේ දක්ෂ නිර්මාණකරුවන් දකින්න ලැබෙනවා අඩුයි. දීර්ඝ ටෙලි නිර්මාණ හෝ වෙනත් කුමක් හෝ හේතුවක් මත සාර්ථක නිර්මාණ දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.

මේ දක්වා නිර්මාණ කළ කාල පරාසය තුළ නව පරපුරේ ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගනයන් දකින්නේ කුමන ආකරයෙන් ද?

මම මගේ නිර්මාණ සඳහා තෝරා ගන්නේ මට වැඩ කරන්න පුළුවන් අය විතරයි. ඒ වගේම ප්‍රවීණ හෝ නවක හෝ රංගන ශිල්පීන් අතරෙන් මගේ නිර්මාණ සඳහා තෝරා ගන්නේ නිර්මාණයට ආදරය කරන අයයි. වාණිජකරණය වූ සමාජයේ අද සියලු දේ සිදු වෙන්නේ මුදලට. එහෙත් නිර්මාණයේ වටිනාකම ගැන හිතලා රඟපාන අය අඩුයි. ඒ වගේම රඟපාන හැමෝම කලාකරුවන් වෙන්නෙත් නැහැ.

ටෙලි නාට්‍ය කලාවේ සම්මානනීය වූ ඔබ සිනමා ක්ෂේත්‍රයට පිවිසීමේ බලාපොරොත්තුවක් නැතිද?

සිනමා නිර්මාණයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ්ත් ඒ ගැන හදිසියක් නැහැ. ඒ වෙනුවෙන් නිර්මාණයක සූදානමක් තියෙනවා. දැනට එහි පිටපත රචනය කරලා තියෙන්නේ. ඒ වුණත් තවම නිදහස් නිෂ්පාදකවරයෙක් මට හමු වුණේ නැහැ.

ඊට අමතරව ජනවාරි මාසයේදී තවත් අලුත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කරන්නත් සූදානම් වෙමින් සිටිනවා.