වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




නල්ලච්චියෙන් වේදිකාවට නොන්සි පගා
ගිනි අවි සහ ගිනි කෙළි සිත්තම් සෝමේ

නල්ලච්චියෙන් වේදිකාවට නොන්සි පගා

ෂැගීට - අක්බාර්ට දෙබස් කැවූ අතුල ජයසිංහ

අනුරාධපුරයේ තඹුත්තේගමටත් එහා පිහිටි නල්ලච්චිය ග්‍රාමය බොහොම පුංචි එකක් බව ඇත්ත. ඈතට විහිදිලා තිබෙන වෙල් ඉපනැල්ලත්, ගමම පෝෂණය කරන වැවත් කිව්වේ නල්ලච්චියේ වසන ගැමියන්ගේ ජීවන රටාව. ඒ ජීවන රටාවේ සුන්දරත්වය වගේම අසුන්දරත්වය විඳිමින් හැඳුනු වැඩුණු අපූරු කොලුගැටයෙක් එහේ හිටියා. ඔහු අතුල ජයසිංහ. වෙල් ඉපනැල්ලේ දුවපැන නටපු වැවේ ඔට්ටුවට පීනපු අතුලගේ සිතේ කාලයක් පටන් තිබුණේ අපූරු හීනයක්. ඒ නාට්‍යකාරයෙක් වෙන්න. දවසෙන් දවස තමන්ගේ හීනයත් එක්ක හැඳී වැඩුණු මේ පුංචි කොලු ගැටයා දවසක් ඒ හීනේ හැබෑ කරගන්නයි කොළඹට එන්නේ. කොළොම්පුරවරයේ කරක් ගහලා, ඔට්ටු අල්ලලා තමයි අතුල තමන්ගේ සිහිනය සැබෑ කර ගන්නේ. ඔහු හක්කලං පාන්නේ වේදිකාවේ විතරක් නොවෙයි, පුංචි තිරයෙත්. ඒ ගැන මනා දැනුමකින් පෝෂණය වුණු ඔහු මේ දවස්වල පුංචි තිරයේ බොහෝදෙනා අතර ජනප්‍රිය ‘ගිනි අවි සහ ගිනි කෙළි’ කියන ටෙලි සිත්තමේ සෝමේ විදියට රඟපානවා.

ඉතිං සෝමේ “ගිනි අවි සහ ගිනි කෙළි” වලින්ම අපි කතාව පටන් ගනිමු.

මේ නිර්මාණය අනුර හොරේෂස් කියන පුවත්පත් කලාවේදියාගේ “ගිනි අවි සහ ගිනි කෙළි ” කියන කෘතියෙන් තමයි නිර්මාණය වෙන්නේ. එහි පිටපත් රචකයා වගේම අධ්‍යක්ෂකවරයා වන්නේ සාරංග මෙන්ඩිස් කියන තරුණ අධ්‍යක්ෂවරයා. ඔහු ප්‍රධාන කතා තේමාව ඇතුළේ සුළු චරිත, යම් සුළු සිද්ධි නිර්මාණාත්මක විදියට ටෙලි නිර්මාණයට යොදා ගන්න ආකාරය මා දැක්කා. ඒ සඳහා කර්‍ත¡ෘගෙන් අවසරය ඔහු ලබාගෙන තිබුණා. ඒ වගේම දඬුබස්නාමානය හැරුණු කොට මෑත කාලයේ ක්‍රියාදාම ටෙලි නාට්‍ය බිහිවීමේ අඩුබවක් මා දුටුවා. මේ අතර අංගම්පොර සටන් ආදිය ඇතුළත් කර ගනිමින් නිර්මාණ බිහි නොවුණා නොවෙයි. ඒත් ඒවා එක්තරා ප්‍රමාණයකට නිර්මාණයේ සීමා වී තිබුණා.

නමුත් මේ ටෙලි නිර්මාණය දෙස බලද්දී ඒ ක්‍රියාදාම ජවනිකා රැසක් දැකිය හැකි වෙනවා. වෙඩිතබා ගැනීම්, පැහැරගෙන යෑම්, මං කොල්ලකෑම් වගේ දේවල් සමඟ මේ ටෙලි නාට්‍යයේ ක්‍රියාදාම ස්වරූපය වැඩියි. ඒ නිසාදෝ වැඩි නරඹන්නන් පිරිසක් මේ වටා ඒකරාශී වී තිබෙන වගක් හැඟෙනවා. ඒ අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් කියන දෙයක් වෙන්නේ මේ ටෙලි නිර්මාණයේ සිනමා රූපයට ආසන්න හැඩයක් තියෙනවා කියන එකයි.

සෝමේ කියන්නේ පද්මෙට වඩා නපුරෙක්. හිතුණ හිතුණ දේ කරනා ඔහු වැනි පාතාල සාමාජිකයෙකුගේ චරිතයක් ඔබ ප්‍රතිනිර්මාණය කළේ කොහොමද?

සෝමේ තමයි අපි කියන මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන පාතාලයේ පළමු පුරුක වන්නේ. මානව හිතවාදී කියන වචනය නොගැළපුණු, මනුස්සකමක් නැති, තමන්ගේ එදිරිවාදියාව හිතුණා නම් එකපාරටම වෙඩි තියලා මරණ, එහෙමත් නැතිනම් බෙල්ල කපලා හරි මරණ පුද්ගලයෙක් තමයි සෝමේ කියන්නේ. ඔහුට මුදල් කියන දෙයයි මූලික වෙන්නේ.

ඒ වගේම ඔහු අතිශය මෝඩයෙක්. මොකද ඒ මොහොතේම ක්ෂණික තීරණ ගන්න, ඊළඟ මොහොතේ තමන් කරන මෝඩ ක්‍රියාවේ ප්‍රතිඵලය මොකක්ද කියලා අඳුන ගන්න බැරි චරිතයක්. මේ චරිතය රඟපෑමේදී ඔහුගේ හැසිරීම් රටාව , කතා විලාසය, අනෙක් චරිත සමඟ තිබෙන සම්බන්ධතාව ආදී කාරණා ගැන අධ්‍යයනයක් කරන්න මට සිදුවුණා. එහිදී පිටපත හා අධ්‍යක්ෂවරයා සමඟ කළ කතාබහත් මට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. මේ මත ගොඩනැඟුණු චරිතයයි මා මෙතෙක් ප්‍රතිනිර්මාණය කළේ.

අලුත්ම ප්‍රවණතාව වෙන්නේ චිත්‍රපටවලින් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමයි. නිර්මාණ මාධ්‍ය කිහිපයේම සැරිසරන නිර්මාණකරුවෙක් විදියට ඔබ මේ කාරණය දකින්නේ කොහොමද?

“ඕනෑම රටක එකම කතාව වස්තු විෂය කරගෙන නිර්මාණ කිහිපයක් බිහිවිය හැකියි. ටයිටැනික් කියන චිත්‍රපටය ගත්තොත් ඒකෙන් චිත්‍රපට ගණනාවක් හැදිලා තියෙනවා. සමහර නවකතාවලින් චිත්‍රපට හදලා තියෙනවා. ටෙලි නාට්‍ය හදලා තියෙනවා. ‘ගර්ල් විත් ද පර්ල් ඉයරින්ග්’ කියන්නේ චිත්‍රයක්. ඒ චිත්‍රයෙන් චිත්‍රපටයක් හැදුණා. ඒ නිසා විවිධ කලා මාධ්‍ය ඇතුළේ එකම වස්තු විෂය විවිධ විදියේ නිර්මාණවලට දායක කර ගන්න පුළුවන්. අත්හදා බලන්න පුළුවන්. ඒත් චිත්‍රපටයට අදාළ වුණු වෙනත් ලක්ෂණ කිහිපයක් වගේම රූපවාහිනියට අදාළ වුණු වෙනත් ලක්ෂණ කිහිපයකුත් තිබෙනවා. ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ කියන චිත්‍රපටයේදී පැයක් ඇතුළත ඒ තිබෙන මානව සබඳතා, සමාජයේ වටපිටාව, විපර්යාස සම්පින්ඩනය කරලා ඉදිරිපත් කළ යුතුයි. ටෙලි නාට්‍යයේදී ඒක වෙනස්.

ඒත් ප්‍රධාන කතා තේමාවට හානියක් වෙන්නේ නෑ. එය මූලික කර ගනිමින් තවත් බොහෝ දේ එකතු කර ගනිමින් තමයි ටෙලි නාට්‍යය නිර්මාණය වෙන්නේ. ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ නිර්මාණය ටෙලි නාට්‍යයට නැඟීමේදී එහි තිබෙන සිනමාත්මක බව රැක ගන්න සාරංග මෙන්ඩිස් කියන අධ්‍යක්ෂවරයා උත්සාහ ගන්න බවක් අපි දැක්කා. තරුණ අධ්‍යක්ෂවරයෙක් විදියට ඔහු ළඟ තිබුණු හොඳ ලක්ෂණයක් ලෙසයි මා එය දුටුවේ.

අවරගණයේ නිර්මාණ බිහි වෙනවා යැයි නැඟෙන ඒ චෝදනාව ගැන ඔබ කුමක්ද පවසන්නේ?

කලා ක්ෂේත්‍රයේ නියැළෙන අය විදියට අපට ඒ පිළිබඳ යම් වගකීමක් තිබෙනවා. ඒ නිසා අපි පළමුවෙන්ම කළ යුත්තේ ආට් එක රැක ගැනීමයි. කලාවේදී මුදල් හම්බ කර ගන්න එක ද්විතියික කාරණාවක් විය යුතුයි. ඒ වගේම නිර්මාණයකදි ශිල්පියෙක් මුදලක් බලාපොරොත්තු වීම නිසා සිදු වන්නේ ඔහු ඉදිරිපත් කරන චරිතය කරලා සල්ලි කීයක් හරි අතට ගැනීමයි. ඒක පළමු කාරණාව කර ගැනීමෙන් සිදු වන්නේ අපට ආට් ම්ස් වීමයි. මම නම් නිතරම උත්සාහ කරන්නේ ආට් කරන්නයි. මුදල් මා නිතරම සලකන්නේ ද්විතියික කාරණාවක් ලෙසයි.

හැම නිර්මාණකරුවකුටම නිර්මාණයක් ඇතුළේ නිර්මාණාත්මක කාර්ය සියයට සීයයක්ම නිවැරැදිව හා එකඟත්වයකින් යුතුව, ඔවුන්ට කරන්න පුළුවන් නම් එවිට මුදල් හම්බ කිරීම ද්විතියික කාරණයක් වන බවයි මා පවසන්නේ. ටෙලි, රේඩියෝ, ෆිල්ම් කියන්නේ ඉන්ඩ්‍රස්ටි එකක්. ඒක පවතින්න ඕන. මුදල් හම්බ කරන්න ඕන. ලාභ ලබන්න ඕන. ඒක ඇත්තයි. ඒත් ඒක ඇතුළේ කොහොමද ආට් එක රැක ගන්නේ කියන කාරණයේදී නිර්මාණකරුවන් ඇතුළු හැමෝටම මා යෝජනා කරන්නේ ඔබ පළමුව ආට් කරන්න උත්සාහ ගන්න කියලයි. ඊට පස්සේ ඒකට නියමිත මුදල ලැබේවි කියලත් මම කියනවා. එවිට ඔය අවරගණයේ ප්‍රශ්නයටත් පිළිතුරු ලැබේවි. ”

ඔය කියන කාරණය ප්‍රායෝගික යැයි ඔබ සිතනවාද?

මම කියන්නේ මේක ප්‍රායෝගික බවයි. දැන් උදාහරණයක් ගත්තොත් සාරංග මෙන්ඩිස්ට මේ තිබෙන බජට් එක ඇතුළේ මේක කරන්න බැහැ. හැබැයි ඔහු වැඩි මූලිකත්වය දෙන්නේ ඔහුගේ නිර්මාණයටයි. ඔහු ඒ බජට් එක ඇතුළේ සමහර වැඩ කර ගන්න දෙන ෆයිට් එක අපට පෙනෙනවා. එහෙම කරන්නේ හොඳ නිර්මාණයක් කර ගන්න ඔහුට තිබෙන අවශ්‍යතාව නිසා. අනෙක් නිර්මාණය තමයි ඇහැළ මහ නිකින්නිය. මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ සමීර කසුන් කියන තරුණ අධ්‍යක්ෂකවරයා. ඔහුටත් උවමනා වුණේ අපි මේ කිව්ව ආට් එක නිර්මාණයේ තියා ගන්නයි. මම ඒක ඔහුගේ නිර්මාණ ඇතුළේ දැක්ක නිසයි එහෙම කියන්නේ.

අපි නිර්මාණ කරන්න ගත්තොත් කියන එක තමයි තාක්ෂණය නැහැ, සල්ලි නැහැ කියන කාරණා. මම ඇහුවොත් ඉරාන චිත්‍රපට ඇතුළේ තියෙනවද ඔය කියන දේවල් කියලා, ඒ වගේම ඔවුන් කොහොමද එහෙනම් ඒ නිර්මාණ පෙන්නලා සම්මාන ගන්නේ කියලා මට ලැබෙන පිළිතුර මොකක්ද? ඔවුන් නිතරම තමන්ගේ නිර්මාණයට අවංක වෙලා. ඒ නිසා මිනිසුන්ට තාක්ෂණය පෙන්වන එක නෙමෙයි අප කළ යුත්තේ. කොහොම වුණත් කවුරු හරි අපෙන් ප්‍රශ්න කළොත් අපි මේ ප්‍රශ්නවලට දෙන්න සරලව හදාගත්ත පිළිතුරකුත් තියෙනවා. ඒ තමයි සමාජ ක්‍රමය වෙනස්වෙලා කියන එක. මේ ක්‍රමයේ පවතින්න නම් මේ යන ක්‍රමයටම යන්න ඕනෑ කියන එක. යම් එකඟතාවක් තියෙන්න ඕන. ඒත් කලාකරුවන්ට එහෙම වෙන්න බැහැ. නිර්මාණකරුවා සාමාන්‍ය ජන විඥානයට එහා ගිය කෙනෙක් විය යුතුයි. එහෙමනම් නිර්මාණකරුවන්ගෙන් නරඹන්නන්ට ලැබිය යුත්තේ ඔවුන්ගෙන් ජන විඥානය පුළුල් කරන දේයි.

අද තිබෙන නිර්මාණ දෙස බලද්දී ඔබ ඔය කියන ජන විඥානය තිබෙන නිර්මාණකරුවන් සිටිනවාද කියන ගැටලුව ඇතිවිය හැකියි?

අපට තිබෙන එකම ප්‍රශ්නය තමයි හැදෑරීමක් නැතිකම. උදාහරණයක් විදියට බලන්න මට හෙට වනවිට වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්ද කියලා. එහෙම වෙන්න බෑ. නමුත් මට නළුවෙක් වෙන්න පුළුවන්. ඒ මම මගේ මාමගේ චිත්‍රපටයක හරි නාට්‍යයක හරි පෙනී ඉඳලා. මේ නිසා අපට පෙනෙන්නේ නළුවෙක් වීමේ කිසිම ක්‍රමවේදයක් අපට නැති බවයි. ඒ වගේම යමෙක් ටෙලි නාට්‍යයක වැඩ කරන්න ගියාට පස්්සේ ඒ වෙන දේ බලාගෙන ඉදලා හිතනවා ඊළඟ මොහොතේ ටෙලි නාට්‍යයක් කරන්න පුළුවන් කියලා. අපට විෂයානුකූල දැනුම නැතුව ප්‍රායෝගිකව පොඩි අත්දැකීම් ටිකක් තිබුණු පලියට අපි හදනවා නිර්මාණකරුවෙක් වෙන්න. අපි හිතනවා නිර්මාණකරුවෙක් වෙන්න.

 ඒ නිසා මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් වෙන්නේ ලෝකේ සෑම විෂයකම තිබෙනවා ඇකඩමික් ඇන්ඩ් ප්‍රැක්ටිකල් කියන දෙයක්. එය සියයට පනහ පනහ සමබර වෙන්න ඕනෑ. ඒ කාරණය කලාවටත් පොදු කාරණයක්. ඒත් මෙහෙම වෙන්නේ ගැටලු ගොඩක් අපේ කලාව ඇතුළේ නිර්මාණය වී තිබෙන නිසයි. ඒ එක් කාරණයක් වන්නේ රංගනය සඳහා අපට රංගන පාසලක් නොතිබීමයි. අනෙක් කාරණය නම් මම අධ්‍යක්ෂකවරයෙක් නම් මා ළඟ තියෙන්න ඕන රංගනය පිළිබඳ ඥානයක්. අධ්‍යක්ෂණය පිළිබඳ ඥානයක්. අපි ඒ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. අපට වෙලා තිබෙන්නේ ඒ සෑම දෙයකටම ප්‍රමිතියක් නැති කමයි. මේ සියල්ලටම ප්‍රමිතියක තිබිය යුතු බවයි මා සිතන්නේ. එවිට ඔය ප්‍රශ්නය විසඳේවි.

මේ දවස්වල ඔබ වෙනස්ම චරිතයක් රඟපාන ඇහැළ මහනිකින්නියත් විකාශය වෙනවා.

මම සෝමේගේ චරිතයට හාත්පසෙන්ම වෙනස් චරිතයක් තමයි මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ. සෑම සෙනසුරාදාවකම හා ඉරිදාවකම ටී.එන්.එල්.රූපවාහිනියේ විකාශය වන එහි මා රඟපාන්නේ භික්ෂුවකගේ චරිතයයි. ගැමි සමාජයේ වෙසෙන ගැමියන්ගේ මානව සබඳතා, ඔවුන් මුහුණදෙන ආර්ථික සමාජීය, ආගමික ගැටලුවලට, තමා සොයාගෙන යන අධ්‍යත්මික කරුණක් එක් පසෙක තබාගෙන මැදිහත් වන්නේ කොහොමද කියන පරාසයක් ඇතුළෙයි ඒ තරුණ භික්ෂුවගේ චරිතය විදහා දැක්වෙන්නේ.

 ඒ වගේම ඒ චරිතය ගොඩනඟා ගන්න මට අපහසු වුණේ නැහැ. මොකද ඔවුන්ගේ මෙන් ගැමි විශ්වාස, ඇදහිලි තිබුණු පරිසරයකයි මා ජීවත් වුණේ. අපේ පන්සලේ හාමුදුරුවන්ගේ ක්‍රියාකාරකම් මා දුටුවා. ඊට අමතරව මීට පෙරත් මා භික්ෂුවකගේ චරිතය ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයක රඟපාලත් තිබෙනවා. මීට අමතරව හඬ කැවීම් කටයුතු කරනවා. ඒ ‘ජෝදා - අක්බාර්’ ටෙලි නාට්‍යයේ අක්බාර්ටත්, ‘මේ ආදරයයි’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයේ හොඳම යහළුවාටත්, දෙරණ රූපවාහිනියේ කාටුනයකටත්, එහිම ගුවන් විදුලියේ සේයා හා වීර දුටුගැමුණු රේඩියෝ නාට්‍යයවලටත්.

මේ අතර ඔබගේ “හොරුත් එක්ක බොරු” කියන වේදිකා නාට්‍යයත් වේදිකා ගත වෙනවා. මේ නාට්‍යය ඔබ වේදිකා ගතකළේ රැල්ලට යන නාට්‍යයක් විලසින්ද?

දාරියෝ ෆෝ කියන ඉතාලි ජාතික සම්මානනීය නාට්‍ය කරුවාගේ ‘නොන්සි පගා නොන්සි පගා’ කියන නිර්මාණය ඉතාලි භාෂාවෙන්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තිබුණේ ඩබ්ලිව් එස් . විජේසිංහ මහතායි. ඒ ‘වී කාන්ට් පේ වෝන්ට් පේ නමින්. ඒ නිසා මේක පූර්ණ අසම්පූර්ණ පරිවර්තනයක්. මේ නිර්මාණය මට ලැබුණාට පස්සෙයි ලංකාවට ගැළපෙන අයුරෙන් එය සංශෝධනය වෙන්නේ. එසේ සංශෝධනය වුණූ නිර්මාණයයි මා ‘හාරුත් එක්ක බොරු’ ලෙස වේදිකාවට රැගෙන එන්නේ.

මේ නාට්‍යය යෞවන සම්මාන උළෙලේ වගේම, රාජ්‍ය නාට්‍ය උළෙලේදීත් විවිධ සම්මානවලට පාත්‍ර වුණා. ඒක මට සතුටක්. ඉදිරියේදීත් දර්ශන කිහිපයක් වේදිකා ගතවීමට නියමිත මේ වේදිකා නාට්‍යයේදී මා මුහුණදුන් එකම ගැටලුව වුණේ සංවිධායවරු අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමයි. ඒ ඔවුන් නිතරම අහන්නේ ඔබගේ නාට්‍යයේ ඉන්න ටෙලිවිෂන් ආටිස්ට්ලා කවුද කියලයි. නැතිනම් කමඩි ආටිස්ට්ලා කවුද කියලයි. ඒත් මේ නාට්‍යය ඇතුළේ විකුණන්න පුළුවන් නළු නිළියෝ නොමැතිවීම ඔවුන්ට අද ප්‍රශ්නයක් වෙලා.