|
සිඳු ළඳ ගෙන දුන් මුතු කැටයක් සේ ඔබ මට තිළිණ වෙලා...
සිනමා ලෝකයේ සදාදරණීය පෙම් යුවළ රවී – ප්‍රීති යුග දිවියට හතළිස් වසරයි
‘දෑස නිසා’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඒ ආදරණීය දෑස් එකට හමු වුණේ එකම ඇසිල්ලකදී. හරියට සංසාරේ පතාගෙන ආවා වගේ. මාධව තවුසාගේ මනමාල බැල්මට වසඟ වුණු ඒ ගැමි තරුණිය වගේම අර හීන්දෑරි කඩවසම් යෞවනයාගේ ප්‍රේමාන්විත බැල්ම ඉදිරියේ ප්‍රීතිගේ යොවුන් සිතත් සසල වුණා.
‘ළා හිරු දහසක් . . . ළා සඳ දහසක් මිනිස් ඉතිහාසයේ තවත් සොඳුරු පෙම් පුවතක ඇරැඹුම සනිටුහන් වුණේ ඒ විදියට. ඒ ආදරය තමන්ගේ මුළු ජීවිතයම වේ යැයි එදා ඔහුට හෝ ඇයට සිතෙන්න නැතිව ඇති. ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරාට, ප්‍රීති ප්‍රමිලා සෙනෙවිරත්න ඒ අයුරින් මුණ ගැසුණේ දෛවයේ නියමයට අනුව. 1974 ඔක්තෝබර් 31. අලුත් ජීවිතයක, අලුත් ඇරැඹුමකට නියත විවරණ දෙමින් ඒ දිනය උදා වුණේ බොනීගේත්, ප්‍රීතිගෙත් ආදර ලෝකයට මංගල සීනු හඬවමින්. ඒ වෙන කොට බොනී, රවීන්ද්‍ර රන්දෙණිය ලෙස සිනමාවේ දිගු ගමනකට මුල පුරා අවසන්. ප්‍රීති සෙනෙවිරත්න, ප්‍රීති රන්දෙණිය බවට පත් වෙමින් සිය ආදරණීය සැමියාගේ රංගන දිවියට ආශිර්වාදය පුද කරන්නේ නිකම්ම නෙවෙයි, මහා පරිත්‍යාගයකුත් එක්ක. රවීත් එක්ක ආදරණීය යුග දිවියක් ගත කරන්නට ඕනෑ නිසාම ඇය රංගනයෙන් සමුගන්න තීරණය කළා දෙවරක් නොසිතාම . . .
ඈත කඳුයායේ . . . නීල වලාවේ ‘තරංගා’ චිත්‍රපටයේ යසවතී වූ ප්‍රීති එලෙස රිදී තිරය මත පොඳි බැඳි සුවහසක් ප්‍රාර්ථනාවන් රැගෙන යළි මහ පොළොව මත පා තැබූයේ සැබෑ ජීවිතයේ හමු වූ රන්හංස කුමරුවාණන්ට තමන්ගේ මුළු ජීවිතයම කැප කරන්න හිතාගෙන . . . නිළිකමට ඈ ඒ විදිහට සමු දෙද්දී ඈ තුළ එතෙක්කල් නිද්‍රාශීලීව හිටපු කිවිඳිය අවදි වෙන්න පටන් ගත්තේ ඇයටත් හොරාමයි.
‘පුංචි කාලේ මං කියවපු ඒ ප්‍රීතිගේ ‘කාන්සියට ලියැවුණු කවි’ කාව්‍ය සංග්‍රහයේ ‘පුංචි ආඩම්බරයක්’ නිසැදැස් කවිය හරහා රවීගේ ප්‍රතාපවත් රූපකාය ඈ දුටුව හැටි. අද වෙන කොට ප්‍රීති රන්දෙණිය ඊටත් වඩා අත්දැකීම්වලින් මුහුකුරා ගිය ප්‍රතිභාසම්පන්න කිවිඳියක්, නවකථාකාරියක්. මේ අස්සේ ඒ ගැනත් සඳහන් නොකරම බැහැ. හෙට, 2014 ඔක්තෝබර් 31. ඒ කියන්නේ රවීගෙයි, ප්‍රීතිගෙයි යුග දිවියට හතළිස් වසරක් සපිරෙන දවස. වසර හතළිහක් . . .? ඇත්තටම අපේ කලා ලෝකයේ ඒ තරම් දිගු කාලයක් එකට පවුල් කෑවා කියන්නෙත් කොච්චර ලොකු දෙයක්ද? එහෙම අය කීයෙන් කී දෙනා ද අපේ කලා ලෝකේ හිටියේ? අද ඉන්නේ . . .?
‘සීත අරණේ සුපුල් නාමල ‘ආරාධනා’ චිත්‍රපටයේ රවී අයියා, මාලිනී අක්කා එක්ක එහෙම ප්‍රේමයෙන් වෙළුණාට සැබෑ ජීවිතයේ ඒ ආදරයේ උණුසුම දැනුණේ ප්‍රීති අක්කගේ හදවතට. ඒ වෙනකොට ඇය ජීවිතය තේරුම් ගත්ත පරිණත ගැහැනියක් වෙලා ඉවරයි. ඒත් ‘දුහුළු මලක්’ චිත්‍රපටය රූගත කරන කාලේ නම් ඇගේ හිතේ තිබුණේ නෑ ඒ සන්සුන් බව.
‘බොඳ මීදුම් කඳුරැල්ලේ නිලූපා, රොහාන්ගේ ළය මඬලට තුරුළුව ඒ විදියට කියද්දී ඇගේ හිත රිදුණා හොඳටම. ඒ කියන්නේ ප්‍රීති අක්කාගේ. අසම්මත ප්‍රේමයක් වුණත් රොහාන්ගෙයි, නිලූපගෙයි ඒ ආදරණීය රංගනය ප්‍රේක්ෂක සිතේ අපුලක් ඇති කළේ නැහැ. ඒත් රොහාන්, නිලූපාගේ කනට කොඳුරා කළ මේ ප්‍රාර්ථනාව දිහා ඊර්ෂ්‍යාවෙන් බලාගෙන කඳුළු සලපු කෙනෙකුත් හිටියා.
‘සිහින නදී නල රැල්ලේ ඒ පෙම් ජවනිකා දැකලා සංවේදී කවි සිතක ඉපැදුණු සිතිවිලි කඳුළු බිඳු වී ඇගේ දෙනෙත් අඟින් රූරා වැටුණේ බොළඳකම නිසාම නෙවෙයි. රවීට ඇගේ හිතේ තිබුණු අසීමිත ළෙන්ගතුකම නිසාමයි. චිත්‍රපටයක ප්‍රේම ජවනිකාවක් වුණත් ඒ කාලේ මට ඒක දරා දරාගන්න බැරි වුණා. රවියි, නීටයි ඒ තරම් හොඳට ඒ ෆිල්ම් එකේ ඇක්ට් කළා. ඒ කාලේ මට නීටාව පෙන්නන්න බෑ. ඒ අපි බැඳපු අලුත. රවී පෙම් ජවනිකා රඟපානවා බලන් ඉන්න එක මගේ දෑහේ කටු අනිනවා වගේ. ඒත් පස්සේ පස්සේ ඒක මගහැරිලා ගියා. රවීගෙයි – ප්‍රීතිගෙයි සොඳුරු කැදැල්ල සතුටෙන් විකසිත වුණේ ඔවුන්ගේ දරුවන් නිසයි. ආදරණීය බිරියක මෙන්ම දයාබර මවක විදිහටත් ප්‍රීති අක්කා ඇගේ වගකීම් සහ යුතුකම් ඉටු කළේ සාර්ථක පවුල් ජීවිතයකට මාහැඟි ආදර්ශයක් වෙමින්. සචින්ද්‍ර නිර්මාල්, සමීර මානාබරණ පුතුන් සහ උමයංගනා ඉන්ද්‍රචාපා දියණිය හරියට රවිගෙයි, ප්‍රීතිගෙයි සෙනෙහස සවිමත්ව වෙලූ රැහැන් පටක් වගෙයි. රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ අපේ සිනමාවේ මහා රංගවේදියකු වුණත් ‘රවි අයියා’ කියා ඔහු අමතන්න අපට හැකියාව ලැබුණේ ඇත්තටම ඔහුගේ නිහතමානීකම නිසාමයි. මහා පුරුෂයකුට බිරිය වූ ප්‍රීති අක්කා ඒ අභිමානය වෙනුවෙන් කැප කළ දේ බොහෝයි. කලෙක තරුණියන්ගේ ප්‍රේම විජිතයේ සිහින කුමරා වූ රවීන්ද්‍ර රන්දෙණිය සිය ජීවන සහකරුවා කරගන්නට තරම් ඈ ධෛර්්‍යය සම්පන්න වුණේ ඒ ආදරය වෙනුවෙන් ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානමින්. රවීන්ද්‍ර රන්දෙණිය වගේ සුන්දර, සුකුමාර ප්‍රේමාන්විතයකු තමන් වෙතම රඳවා ගැනීමේ ගෞරවය වැඩියෙන් ලැබෙන්න ඕනෑ ප්‍රීති අක්කට. ඒ ගැන විවාදයක් නෑ. රවි පුංචි දේටත් ගොඩක් කෙන්ති යන කෙනෙක්. ඒ හැම වෙලාවෙම මම නිහඬව එයාට අවනත වෙලා හිටියා. හැබැයි ඒ කේන්තිය තියෙන්නේ පුංචි වෙලාවයි. ආයේ එයා නිවුණ මනුස්සයෙක්. දෑසින් දෑස හමු වූ මොහොතේ පටන් තත්පරයෙන් තත්පරය, මොහොතින් මොහොත ගෙවී ගිය කාලය දින, සති, මාස පසු කරමින් අවුරුදු හතළිහක් තරම් දුරක් ආවේ කොහොමද කියලා දැන් ආපසු හැරිලා බලද්දී රවීටත්, ප්‍රීතිටත් හිතාගන්න බැරිව ඇති. රෝස මල් ඇතිරූ මාවතක පිය නොගැටුවත්, හැළ හැප්පීම්, බාධක, පිරි රළු පරළු මාවතක ඔවුන් අත්වැල් බැඳ පියනැඟුවේ අපමණ සෙනෙහසකින්. ඒ ආ මඟ අභියෝගවලින් ගහන වූවක්. ඒත් නොසැළෙන ප්‍රේමයකට ඒ අභියෝග හමුවේ සසල වෙන්න, දුරස් වෙන්න අවකාශයක් තිබුණේ නැහැ. ප්‍රීතිගේ සංවේදී කවි හිතට වඩාත් ඇළුම් කළෙත්, පෙම් කළේත් රවී කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. බොහොමයක් ඇගේ කවිකාර සිතිවිලිවලට ප්‍රස්තුතය එහෙම නැතිනම් වස්තුබීජය වුණේ රවීම තමයි. ප්‍රීති ලියන දේවල් සරලයි. අව්‍යාජයි. මුල් කාලේ ඉඳලම මම දැනගෙන හිටියා ප්‍රීතිට සරලව භාෂාව භාවිත කරලා ලොකු දෙයක් කරන්න පුළුවන් බව. ඇය කවියෙන්, ගීතයෙන් වගේම නවකතාවෙන් ඒ බව තහවුරු කරලා තියෙනවා. ඒක මට ලොකු සතුටක්. ඒ රවි අයියා වරක් ප්‍රීති අක්කාගේ ලේඛන කලාව ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කළ විදිහ. ඒ වදන් ඇතුලේ තියෙන්නේ අසීමිත ගෞරවයක් වගේම පිවිතුරු ළෙන්ගතුකමක්. වසන්ති චතුරානිගේ ප්‍රේමය සොරා ගන්න රවි අයියා මාර සෙප්පඩ විජ්ජාවක් දැම්මා ‘ආදර හසුන’ චිත්‍රපටයේ. අන්තිමට මොකද වුණේ වසන්තිගේ සැමියා ඒ කියන්නේ ජෝ අබේවික්‍රම ඈව නිරපරාදේ සැක කරලා නිවසින් පටමං කරනවා. වසන්ති දන්නේ නෑ තමන්ගේ ප්‍රේමයට ලොබ බැඳි කෛරාටික තරුණයෙක් විසින් අටවපු උගුලක තමන් සිර වුණ වග. ඒත් අවසානයේ ඈ සියල්ල දැනගන්නවා. හැබැයි රිදී තිරයේ එහෙම වැඩ කළාට රවි අයියා සැබෑ ජීවිතයේ බොහොම ආදරණීය, ගෞරවණිය චරිතයක් හැටියට තමයි ලෝකයා හඳුනාගෙන ඉන්නේ. මට හිතෙන්නේ ‘ආදර හසුන’ චිත්‍රපටයේ මේ ගීතය වඩා හොඳින් ගැලපෙන්නේ රවීගේ සහ ප්‍රීතිගේ සැළමුතු සෙනෙහසට කියලයි. ඒ නිසාම එහි මුල් පද කිහිපය මං මෙහි සටහන් කරන්නේ ඒ ප්‍රේමයට උපහාරයක් විලසයි.
‘සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
|