වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




අපි දෙන්නට මොකුත් නොකියා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වුණා

අපි දෙන්නට මොකුත් නොකියා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වුණා

ස්වර්ණවාහිනියේ නයෝමි ප්‍රනාන්දු

රූපවාහිනියේ අප දකින ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම පිටුපස ඇත්තේ දැවැන්ත කටයුත්තකි. එහි වූ වගකීම ද සුළුපටු නොවන්නකි. ප්‍රවෘත්ති නිවේදකයා සතුව ඉන් වැඩිම වගකීමක් පැවරෙයි. නිවේදකයකු හෝ නිවේදිකාවක් ලෙසත් ලබන අත්දැකීම් අතර අමතකම නොවන සිදුවීම් ද මේ අතර බොහෝය. එවැනි සජීවි ලෙසින් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමේදී ජීවිතයේ බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන් නිවේදිකාවක අපට හමු වූයේ ස්වර්ණවාහිනියේ මැදිරියෙනි. ඇය ප්‍රවෘත්ති නිවේදිකා නයෝමී ප්‍රනාන්දු.

නයෝමී අපි ඔබව ස්වර්ණවාහිනියේ නිරතුරුවම දකින රුවක්. දක්ෂ නිවේදිකාවක් වූ ඔබ නිවේදන දිවියේ අමතක නොවන බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන් නිවේදිකාවක්. මේ ගැන බොහෝ දෙනකු දන්නේ නැහැ. ඔබ ගැන කතා කරන්නට පෙර ඒ අමතක නොවන සිදුවීම ගැන ආවර්ජනය කළොත්?

එය අවුරුදු එක හමාරකට විතර පෙර වූ සිද්ධියක්. එක දවසක් හදිස්සියේම අපේ ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති මැදිරියේ ගින්නක් කියලා ප්‍රවෘත්තියක් ගියා. එදා ඒ මැදිරියේ ප්‍රවෘත්ති කිව්වේ මමයි, නදීක අයියයි. නදීක අයියා නිවුස් එකක් කිව්වාට පස්සේ මම නිවුස් එකක් කිව්වා. අපේ පාලක මැදිරියේ විශාල ශබ්දයක් ඇහෙනවා. එක පාරටම අපි දෙන්නට මොකුත් නොකියාම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. අපට මොකුත්ම මැදිරියෙන් කිව්වේ නැහැ. ඊට පස්සේ අපේ නිෂ්පාදක ලක්මල් අයියා දුවගෙන ඇවිත් කිව්වා පොඩි ප්‍රශ්නයක් වෙලා පාලක මැදිරියේ මැෂින් ගිනි අරගෙන තියෙනවා.

ඒ නිසා පාලක මැදිරිය යථා තත්ත්වයට පත් වුණු ගමන් හදිසි දෝෂය ගැන කියලා ප්‍රේක්ෂකයන්ගෙන් සමාව අරගෙන නැවත ප්‍රවෘත්ති කියන්න කියලා. අපි නැවත යථා තත්ත්වයට පත් වෙනකම් බලා හිටියා. . . හිටියා . . . ඒත් කිසිම දෙයක් පාලක මැදිරියෙන් ලැබුණේ නැහැ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපටත් හරිම කුතුහලයක්. අන්තිමට අපි කිසිම දෙයක් කියන්නේ නැතුව ප්‍රවෘත්ති කීම නිකම්ම අවසන් කළා. එදා ඒ ගින්න ඇති වෙලා තියෙන්නේ පාලක මැදිරයේ මැෂින් රත්වීමක් නිසා. එම සිදුවීම ඇත්තටම මගේ ජීවිතයේ අමතකම නොවන දෙයක්.

එතකොට නයෝමී ඔයා කොහොමද මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වුණේ?

එයත් තරමක අහඹු සිද්ධියක්. මම නිවේදිකාවක් වෙන්න කොළඹ ආවේ මහනුවරින්. පාසල් ගියේ පේරාදෙනියේ මධ්‍ය මහා විදුහලට. පාසල් කාලේ පටන්ම මම නිවේදන කලාවට ඇළුම්කමක් දැක්වූවා. ඒ වගේම කලාවට, ක්‍රීඩාවටත් යොමු වුණා. මේ ක්ෂේත්‍රයට තිබුණු ආසාව නිසාම මම උසස් පෙළ අවසන් වුණාට පස්සේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ පාඨමාලාවක් හැදෑරුවා. එතන දි ඉගෙන ගත් දෙයින් ලැබුණු දැනුමත් එක්ක මාධ්‍ය ජීවිතය ගැන මූලික අවබෝධයක් මට ලැබුණා. පාසලෙන් ලැබුණු පන්නරය, පාඨමාලාවෙන් ලබපු දැනුමත් එක්ක මොකක් හෝ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්න කොට තමයි ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් බඳවා ගැනීමේ පරික්ෂණයක් තිබුණේ.

ඇත්තටම මට ඒ පරික්ෂණයෙන් සමත් වෙන්න හැකි වෙයි කියලා හිතුණේ නැහැ. ඒ තරමට පරීක්ෂණයට ඉදිරිපත් වෙලා තිබුණා. මම පරීක්ෂණ හයකින් සමත් වෙලා තමයි අවසාන වටයට සමත් වුණේ. මාව තෝරා ගත්තේ හරේන්ද්‍ර ජයලාල් අයියා. එදා පටන් මම අවුරුදු තුනක් ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් කටයුතු කරනවා.

ඔබේ මාධ්‍ය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් අමතක නොවන සංවේදී සිද්ධි ඇතිනේ. ඒ ගැන මතක් කළොත්?

අපේ තාත්තා සේවය කළේ හමුදාවේ. මම O/L කරලා පාස් වෙලා රිසල්ට් එන්න කිට්ටුව තමයි තාත්තා හදිසි හෘදයාබාධයකින් මිය ගියේ. මගේ රිසාල්ට් කියන්නත් පෙර තාත්තා මිය ගිහින්. ඒ එක්කම මට පාසල්වලට යන්න ඉන්ටවීව් ආවා. ඒත් හොඳ පාසලකට යන්න බැරි වුණා. ඇත්තටම ජීවිතයේ විශාල කඩා වැටීමක් වුණා කියන්න බැහැ. ඒත් ඒ සිද්ධිය මතක් වෙන වාරයක් පාසා මට දුකක් දැනෙනවා.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු කුමක්ද?

දැනට මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාව හදාරා අවසන් කළා. තව මම කොළඹ විශ්ව විද්‍යාලයේ පරිපාලනය පිළිබඳ උපාධියක් කරන්න අපේක්ෂාවෙන් සිටිනවා. ඒ අංශයෙන් ඉදිරියට යන්න අපේක්ෂාව තිබෙන්නේ පරිපාලන අංශයටයි.

ඔබ නිවේදිකාවක් ලෙස මේ ක්ෂේත්‍රයට එක්වන අයට දෙන්න පුළුවන් පණිවුඩය කුමක්ද?

අපි කරන මේ වෘත්තියත් සමඟ කාලින තොරතුරු ගැන දැනුමක් තිබීම ඉතාම වැදගත්. ඒ වගේම පොත පත කියවිය යුතුමයි. ඒ වගේම ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරමින් වැඩ කළ යුතුයි කියන තැන මම සිටිනවා. ඒ දේ පොඩි කාලේ සිටම මගේ තිබුණු පුරුද්දක්.

ඔබ දක්ෂ නිවේදිකාවක් ලෙස මැදිරියට කොටුවීම ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

ඇත්තටම එක අතකින් එය අපට අවාසියක්. සමහර විට නිවේදිකාවක් ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට වඩා දක්ෂ ලෙස මැදිරියෙන් බැහැරව වැඩසටහනක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන්න පුළුවන්. එවිට ඒ අවස්ථාව මග හැරී යාම තරමක පාඩුවක්.

නයෝමී ඔබ සම්බන්ධ කර ගැනීම සඳහා ඔබේ email ලිපිනය කියන්න.

[email protected]