වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




සිනාවෙන්නද හඬන්නද?

සිනාවෙන්නද හඬන්නද?

පසුගිය සතිය මෙරට සිනමාව පිළිබඳ යළිත් වතාවක් සිතා බලන්නට මා පෙළඹ වූයේය. එයින් එක් කාරණයක් නම් "හිරු සිනමා සම්මාන උළෙල" විසින් ඇති කරන ලද ප්‍රබෝධයයි. එහෙත් මා ඉලක්ක කරනුයේ ඒ පිළිබඳව ලියන්නට නොවේ. පසුගිය සිකුරාදා සැන්දෑවරුව මට ගෙවී ගියේ මොරටුවේ වේල්ස් කුමරි විදුහලේ "සිඳු ලක" නම් ප්‍රසංගය සමඟය. එම ප්‍රසංගය පාදක කොට තිබුණේ දේශීය සිනමාවය. එදා වේල්ස් කුමරියන් එහි වේදිකාව සිංහල සිනමාවේ විවිධ අවස්ථා වලින් ප්‍රතිනිර්මාණය කරන ලද්දේ එහි ආරාධිතයන් වූ ආචාර්ය සෝමරත්න දිසානායක, රංගවේදී පාලිත සිල්වා ද ඇතුළුආරාධිතයන් විශ්මයට පත් කරවමිනි. ඔවුන් එය ආරම්භ කරන ලද්දේ "සත්සමුදුර "චිත්‍රපටයේ එන "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතයට විශිෂ්ට නර්තන වින්‍යාසයක් මුසු කරමිනි. අනතුරුව ඔවුහු චංචල රේඛා චිත්‍රපටය රූප ගත කරවන අයුරු ප්‍රතිනිර්මාණය කළහ.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාද, නදීකා ගුණසේකරද, බන්දු සමරසිංහද, චිත්‍රපටය නිර්මාණය කළ සේන සමරසිංහ ද කැමරා ශිල්පී ඩැනී ඩබ්ලිව් පතිරණද වේල්ස් කුමරියන් වේදිකාවේ අනුකරණය කළහ. පිරිමි චරිත පවා මේ දැරියන් මනා පෞරුෂයකින් යුතුව වේදිකාවේ ඉස්මතු කරන ලද බව මෙහි ලා සඳහන් කළ යුතුය. සිංහල චිත්‍රපට ගීතයේ යුග ගණනක හරස්කඩක් එකිනෙකට වෙනස් නර්තනාංගයෙන් යුතුව එහි ප්‍රතිනිර්මාණය කරන ලද අයුරු අතිශය පැසසිය යුතුය. එයින් මන්මත් වූ අචාර්ය දිසානායකයන් පවසා සිටින ලද්දේ මේ ප්‍රසංගය වේල්ස් කුමරි විදුහලේ කුඩා ශාලාවේ නොව නෙළුම් පොකුණ වැනි සුවිසල් ශාලාවක යළි දැක ගත යුතු බවය. සැබැවින්ම එහි ආ නර්තන විලාශ මෑත කාලයේ ඇට්ටකුණා වෙමින් පවතින සිනමා ගීත ප්‍රසංගවලට මහත් අභියෝගයක් වූයේය. ඒකාකාරී බවින් සහමුලින්ම මිදුනක් විය.

මේ උළෙලේ ආ එකම කම්මැලි අවස්ථාව වනුයේ මවිසින් පවත්වන ලද මුඛ්‍ය දේශනය බැව් වටහාගත් මම දෙසුමට පෙරාතුවම සභාගැබෙන් ඒ සම්බන්ධව සමාව අයැද සිටියෙමි. එහෙත් මේ උත්සවය පුරා මා දුටුවේ මෙයට පෙරද "එඩිටර් කට්" ලිපි මාලාව හරහා මා කියන්නට වෙර දරන තරුණ පරපුරේ ඇති සිනමාව පිළිබඳ අධික උනන්දුවයි. මෙයට දශක දෙකකට තුනකට පෙර ටෙලිවිෂනය සහ සිනමාව යනු එකිනෙකට විරුද්ධ මාධ්‍ය දෙකකි. එහෙත් අද මේ වන විට සිනමාවේ දළ සේයාපට හෝ ටෙලිවිෂනයේ මැග්නට් පට ලෙස මාධ්‍ය දෙකක් එයට නැත. මේ මාධ්‍ය දෙකම පොදුවේ කතා කළ යුත්තේ ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍යයක් ලෙස පමණි. අද චිත්‍රපට නරඹන ශාලාව කරා ඇදෙන ප්‍රේක්ෂකයන්ගේද බරපතළ අඩුවක් ඇති බව පසුගිය සතියේ මට ලැබුණු වාර්තාවකින් පැහැදිලි වේ. මේ වාර්තාව මට ලැබුණේ "තණ්හා රතී රඟා" චිත්‍රපටයේ පුවත්පත් සාකච්ඡාවක් අතරතුරය.

මා එය ලබාගත්තේ එහි අධ්‍යක්ෂක නිරේන්ද්‍ර දේශප්‍රියගෙනි. ඔහු එය ලබාගෙන තිබුණේ ජාතික චිත්‍රපට සංස්ථාවෙනි. එම පිටපතේ අනුව තවමත් සිනමාශාලාවල වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා ඇත්තේ "සූරිය අරණ" චිත්‍රපටය ය. එය සිනමාශාලා විසිහතරක තිරගත කොට නරඹන ලද ප්‍රේක්ෂක සංඛ්‍යාව තිස්තුන් ලක්ෂ තිස්තුන්දහස් නවසිය විසිතුනකි (3 333 923). එහි දෙවැනි තැනට පත්වන "සිරිපැරකුම්" සිනමා කෘතිය නරඹා ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාව විසිහත් ලක්ෂ දහසය දහස් නවසිය තිස් අටකි (2 716 938). සිනමා ශාලා සංඛ්‍යා පනස් හතකි. ඒ අනුව සූරිය අරණ එක් සිනමා ශාලාවක නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව දළ වශයෙන් එක්ලක්ෂ තිස් අටදහස් නවසිය දහතුනක් (138 913)පමණ වේ.

 සිරිපැරකුම් එක් සිනමාහලක නැරඹූ සංඛ්‍යාව හතළිස් හත්දහස් හයසිය හැටපහකි(47 665). සංඛ්‍යා ලේඛන පිළිබඳ මා අසා ඇති පූරුම කියමන කියා තිබෙන්නේ ඇමරිකානු ලේඛක "මාර්ක් ට්වේන්" විසිනි. මාර්ක් ට්වේන්ගේ "ටොම් සෝයර්" කෘතිය තරම් මගේ සිත් ගත් වෙනත් නවකතාවක් නැති තරම්ය. ලෝක අන්ඩපාලයකු වූ ටොම් සෝයර් ට්වේන්ගේම ජීවිත කතාවේ කොටසක් යැයි කියනු ලැබේ. වරක් මාර්ක් ට්වේන් කියා තිබුණේ ලෝකයේ ?මුසාවන් තුන්වර්ගයක් ඇති වගය. ඉන් පළමුවැන්න ලොකු බොරුය. දෙවැන්න පොඩි බොරුය. තුන්වැන්න සංඛ්‍යා ලේඛන බවය. ඉහත අපේ සිනමාවේ සංඛ්‍යා දත්ත පිරික්සන්නෙකුට මාර්ක් ට්වේන් විසින් සංඛ්‍යා ලේඛන පිළිබඳව පවසන ලද මතය ඇත්තක් යැයි පැවසිය හැක. එහෙත් සංඛ්‍යා ලේඛන යනු හැම විටම ඇත්තද . මේ වාර්තා ඇත්ත නම් අපේ සිනමාව පිළිබඳ ඇත්තේ යහපත් සලකුණක් නොවේ. එහි තුන්වැනි තැන අත්පත් කර ඇත්තේ සිනමා ශාලා තිස් අටක තිරගත කරවන ලද "අබා "චිත්‍රපටයයි. එය නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව විසිඑක්ලක්ෂ හාරදහස් හත්සිය විසි හතකි(214 727). සිව්වන ස්ථානය ගන්නා "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය සිනමාශාලා හතළිස් පහක තිරගත කරවන ලද අතර, නරඹන ලද ප්‍රේක්ෂක සංඛ්‍යාව දාහත් ලක්ෂ තිස් හය දාස් පන්සිය දොළහකි.

 "මහින්දාගමනය", "බිංදු", "කුසපබා", "පාර්ලිමන්ට් ජෝක්ස්", "සමනළතටු", "පුංචි සුරංගනාවි", "විජය කුවේනි", "අංජලිකා", "දළදාගමනය", "සිරිරජසිරි", "ආදරණීය වස්සානය" සහ "උත්පලවණ්ණා" අනතුරුව එහි පිළිවෙළින් අවරෝහණ ප්‍රේක්ෂක සංඛ්‍යාව සඳහන් කරයි. මේ සිනමාශාලා අතර අවම සිනමාශාලා ගණනක තිරගත කොට ඇත්තේ "ආදරණීය වස්සානය" යි. එය තිරගත කොට ඇත්තේ සිනමාශාලා දහසයක පමණි.එය එක සිනමාහලක නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව දළ වශයෙන් තිස්හත්දහස් පන්සිය විසි පහ (37 525)කි . උත්පලවණ්ණා සිනමාශාලා දහඅටක තිරගත කර නැරඹූ සංඛ්‍යාව එක් සිනමාහලකට දළ වශයෙන් විසිඅටදහස් හාරසිය හතලිහකි (28 440). අලුත්ම ජනගහන සංඛ්‍යා ලේඛන අනුව බස්නාහිර පළාතේ පමණක් ජන සංඛ්‍යාව පනස් අටලක්ෂ තිස්හත්දහස් දෙසිය අනු හතරකි(5 837 294). එහෙත් රටපුරා පළාත් නවයක චිත්‍රපට තිරගත කළ ද සිනමාශාලාවලට ගොඩවදින ප්‍රේක්ෂක සංඛ්‍යාව සමස්ත ජනගහන අනුපාතය අනුව කෙතරම් අවම අගයක් ගනීදැයි අපේ අවධානයට පාත්‍රවිය යුතුය. මේ සඳහා උපයෝගී කොට ගත් සිංහල චිත්‍රපට සංඛ්‍යාව මෙරට වැඩිම ප්‍රේක්ෂකයන් නැරඹූ සිංහල චිත්‍රපට ගොන්න ලෙස සැලකේ. එහිදී සංඛ්‍යා ලේඛන සකසන්නේ සිනමාශාලාවක දිනපතා ප්‍රේක්ෂක සංඛ්‍යාව ගණනය කිරීමෙනි. එහෙත් පසුගිය වසර කීපය තුළ මෙරට චිත්‍රපට ආදායම් වාර්තා පිට වාර්තා පිහිටවූයේ යැයි නිති පතා සංඛ්‍යා ලේඛන එළි දැක්විණ. එහෙත් මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳ කිසිවෙකුට සැක සංකා ඇතිවීම වැළැක්විය නොහැක්කේ ඉහත ගෙනහැර පෑ ප්‍රේක්ෂක සංඛ්‍යාවේ අවවර්ධනය සලකා බැලීමේදීය. එසේ නම් මෙම සංඛ්‍යා දත්ත සියයට සීයයක් නිවැරදි ද නැතිනම් චිත්‍රපට ආදායම් වර්තා පිළිබඳ පසුගිය කාලයේ ඇතැම් ප්‍රදර්ශකයන් සහ නිෂ්පාදකයන් ගෙනහැර පෑ දත්ත ව්‍යාජ ඒවාද?. මා අනුමාන කරන අන්දමට පසුගිය වසර ගණනාව මුළුල්ලේම මෙරට සැබෑ ප්‍රේක්ෂක සංඛ්‍යාවන් කවර හේතුවක් නිසා හෝ නිසි ලෙස සැලකීමට පත් වී නොමැති බවය.

බැලූ බැල්මටම "සූරිය අරණ" සහ "සිරිපැරකුම්" අතර යන චිත්‍රපට සැසඳීමේදී එය කිසි?සේත් නොසලකා හැරිය නොහැක. එහෙත් බොහෝ විට දෛනික වාර්තාවලට නැතහොත් සිනමාහල් භාෂාවෙන් කියන්නේ නම් ඩීආර් කලෙක්ෂන් එකට එකතු කරනුයේ දිනපතා නියමිත චිත්‍රපට ප්‍රදර්ශන වාර පමණි. ඒ හැරෙන්නට අතිරේක ව ප්‍රදර්ශනය කරනු ලබන පාසල් දර්ශන හෝ වෙනත් චිත්‍රපට දර්ශනයන් ලබන ආදායම මේ සංඛ්‍යා ලේඛනවලට එකතු කොට නොමැත. කොයිහැටි වෙතත් මේ දත්ත සත්‍ය නම් අපේ සිනමාව ආදායම් උපදවා තිබෙන්නේ සෘජු ආදායමක් නොව වක්‍ර ආදායමක් ඔස්සේය. සිනමා ශාලාවල ප්‍රවේශපත්‍රවල මිල ඉහළයාම හරහා චිත්‍රපට ආදායම ලැබීම වැඩිවිය හැකි නමුත්, එයට සාපේක්ෂව ප්‍රේක්ෂකයා අඩුවන්නේ නම් එය ඉතා භයානක සලකුණකි. වර්තමානයේ චිත්‍රපට නැරඹීම සඳහා විකල්ප ක්‍රම ඕනෑ තරම් ඇත්තේය. එහෙත් ඉන් බහුතරය චිත්‍රපට නිෂ්පාදකවරයාගේ ආදායම් ඉහළ දමන ක්‍රම නොවේ.වෙනදාටවඩා වැඩි මිලකට නිෂ්පාදකයන්ගෙන් ඩීවීඩී අයිතිය ලබා ගැනීමට අද වීඩියෝ වෙළෙන්දන් උත්සුක වුවත් එමගින් තවමත් නිෂ්පාදකවරයාට ලබාගත හැකි මිල සාපේක්ෂව සැලකිය යුතු යැයි මට සිතෙන්නේ නැත.

අනෙත් අතට බොහෝ චිත්‍රපට තිරගත කොට මාස තුනක් පමණ කෙටිකලක් තුළ ටෙලි විෂනයේදී එය නැරඹිය හැකිනම් සිනමාශාලාවකට ගොඩවීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුට ඇතිවන්නේ නැත. එහෙත් සිනමාශාලා ඉතා හොඳීන් පවත්වාගෙන යන්නට නම් වඩා ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරගත හැකි දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සඳහා ඉක්මන් අවශ්‍යතාවය ඉහත සංඛ්‍යා ලේඛන ගෙනහැරපාන වග නොරහසකි. ඒ සඳහා අපේ සිනමාවේ ඇත්තන් කවර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේදැයි දැන ගන්නට කැමැත්තෙමු. මා සිනාසුණේ වේල්ස් කුමරියන්ගේ රැඟුම් දැකීමෙන් අපේ අනාගත සිනමාවේ මුහුණුවර ඔවුන් වැන්නන් ඉදිරියට ගෙනයනු ඇතැයි සිතුණ නිසාය. හැඬුම් ආවේ සංඛ්‍යා ලේඛන අධීක්ෂණය කරන ගමන් කැල්කියුලේටරය පාවිච්චි කළ විට ලැබුණු පිළිතුරු නිසාය.